ක්වින්ටස් එන්නියස්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:55, 19 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ක්‍රි.පූ. 239-170). ලතින් කිවියෙකි. ඔහු ඇති කළ නව සම්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.පූ. 239-170). ලතින් කිවියෙකි. ඔහු ඇති කළ නව සම්ප්‍රදායයන් ලතින් කාව්‍යයේ විකාසයෙහි ලා ඉතා වැදගත් වූ හෙයින් රෝමවරුන් විසින් හේ ලතින් කාව්‍යයේ පියා වශයෙන් සලකන ලදි. පුරාණ ඉතාලියේ කලාබ්‍රියා ප්‍රදේශයෙහි (වර්තමාන අපූලියා පළාතේ දකුණු කොටසෙහි) උපන් එන්නියස් දෙවන පියුනික් යුද්ධයේ දී ජ්‍යෙෂ්ඨ කේටෝ යටතේ සේනාධිපතියකු ලෙස සාඩිනියාවෙහි යුද සේවයේ යෙදුණේය. ක්‍රි.පූ. 204 දී හේ කේටෝ හා සමඟ රෝමයට පැමිණ එහි පදිංචි වී ලිවීම හා ඉගැන්වීම ජීවනෝපාය කරගත්තේය. ඔහුගේ කෘතීන් එකල රෝමයේ සිටි උසස් ප්‍රභූන්ගේ ප්‍රසාදයට ලක් වීම නිසා ක්‍රි.පූ. 184 දී ඔහුට රෝම රාජ්‍යයේ පුරවැසිබව ලැබුණේය.

එන්නියස් දක්ෂ ශෝකාන්ත නාටක රචකයෙක් විය. ඔහු සුඛාන්ත නාටක කිහිපයක් ද ලිවූ නමුත් ඒවා එතරම් වැදගත් සේ සැලැකුණේ නැත. ඔහුගේ ශෝකාන්ත නාටක ලියන ලද්දේ යුරිපිඩීස්ගේ ( බ.) ග්‍රීක ශෝකාන්ත නාටක අනුකරණය කිරීමෙනි. ඔහු විසින් ප්‍රකීර්ණ කාව්‍ය රාශියක් ද ලියන ලදි. එහෙත් මෙකී කෘතීන්ගෙන් දැනට ශේෂව ඇත්තේ ඛණ්ඩ කිහිපයක් පමණි. එන්නියස්ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වශයෙන් සලකනු ලබන්නේ මුල සිට තම කාලය දක්වා රෝම ඉතිහාස කථාව විස්තර කෙරෙන ‘අන්නාලේස්’ නමැති කාව්‍යයයි. රෝමවරුන්ගේ මුල් ම ජාතික වීරකාව්‍යය වශයෙන් ගැනෙන එහි කීර්තිය වර්ජිල්ගේ ‘ඊනිඩ්’ කාව්‍යයට පමණක් දෙවැනිව සිටී. මේ කෘතියෙන් කවිපද 600ක් පමණ දැනට ශේෂ වී පවතී. වර්ජිල්, ලුක්‍රීෂස්, ඕවිඩ් ආදිහු එන්නියස්ගේ කෘතිවලින් කරුණු උපුටාගත් බව පෙනේ.

(සංස්කරණය: 1974)