එන්වර් පාෂා

සිංහල විශ්වකෝෂය වෙතින්
11:38, 19 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1881-1922). තුර්කියේ යුද සෙනෙවියෙකි; රාජ්‍ය පාලකයෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1881-1922). තුර්කියේ යුද සෙනෙවියෙකි; රාජ්‍ය පාලකයෙකි. කොන්ස්තන්තිනෝපල්හි දී උත්පත්තිය ලැබූ මෙතෙමේ 1908 දී අබ්දුල් හමීඩ්හට විරුද්ධව මෙහෙයවන ලද තරුණ තුර්කි ව්‍යාපාර කැරැල්ලේ උද්යෝගවත් කොටස්කරුවෙක් වූයේය. ඉතාලි ජාතිකයනට එරෙහිව ට්‍රිපොලිටන් විරුද්ධ පක්ෂය සංවිධානය කරන ලද්දේ එන්වර් පාෂා විසිනි. එහි ප්‍රතිඵලය වූයේ 1911 දී ඉතාලි-තුර්කි යුද්ධය (ට්‍රිපොලිටන් යුද්ධය) පැන නැඟීමයි. අනතුරුව 1912-13 බෝල්කන් යුද්ධවල දී ද හේ ප්‍රමුඛ තැනක් ගෙන ක්‍රියා කෙළේය.

දෙවෙනි බෝල්කන් යුද්ධයේ දී අද්‍රියනෝපලය බල්ගේරියන්වරුන් විසින් අත් හරිනු ලැබූ කල්හි එන්වර් පාෂා යුහුසුලුව හමුදාවන් මෙහෙයවා නගරය අත්පත් කරගැනීම හේතු කොටගෙන ඔහුට පෞද්ගලික වශයෙන් ගරු බුහුමන් ලැබුණා පමණක් නොව රජය කෙරෙහි ඔහුගේ බලපෑම ද වැඩි විය. 1914 දී එන්වර් පාෂා යුද කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය ලැබුවේය.

බෝල්කන් යුද්ධවල දී තුර්කියට අහිමි වී ගිය ප්‍රදේශ නැවත ලබාගැනීමට අවස්ථාවක් ලැබේය යන බලාපොරොත්තුව පිට තුර්කිවරු ප්‍රථම ලෝක සංග්‍රාමයේ දී ජර්මන් පක්ෂයට සම්බන්ධ වූහ. එන්වර් පාෂා තුර්කි හමුදාවන්ගේ භාරය ගෙන පෙරදිග පෙරමුණෙහි හමුදාවක් මෙහෙයවූයේය. එහි දී ඔහුගේ බල ඇණි රුසියන්වරුන් විසින් සමූලඝාතනය කරන ලදි. 1918 දී තුර්කිය සටන් නැවැත්වූ පසු එන්වර් පාෂා ජර්මනියට පලා ගොස් ටික කලක් එහි නැවතී සිට රුසියාවට ගියේය. බුකාරාහි දී සෝවියට් විරෝධී කටයුතුවල නිරතවුණු හේ එහි දී මරුමුවට පත් කරනු ලැබීය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එන්වර්_පාෂා&oldid=11245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි