ආංද්‍රෙ මාරී ඇම්පියර්
(Ampère, André Marie) (1775-1836). මේ ප්‍රංස ජාතික භෞතික විද්‍යාඥයා උපන්නේ ක්‍රි.ව. 1775 ජනවාරි මස 22 වැනි දාය. ගණිතය කෙරෙහි සාමර්ථ්‍යයක් දැක් වූ කුඩා ඇම්පියර් ගමේ පාසැලක් නොතුබුණු නිසා ගණිතය ඉගෙනගත්තේ ස්වෝත්සාහයෙනි. හේ පියාගේ පෞද්ගලික පොත්ගුලෙහි තිබුණු පොත් සියල්ලෙහි අඩංගු කරුණු සම්පූර්ණ ලෙස ඉක්මනින් ම ඉගෙන ගත්තේය. ඉක්බිති ඔහුගේ පියාගේ මිත්‍රයකු වූ ඩුබරොං නම් වූ තාපසයා වෙත ගොස් උසස් ගණිත ශාස්ත්‍රඥයෙක් විය. එහෙත් අධික ලෙස මොළය වෙහෙස කිරීම නිසා ඔහු රෝගාතුර විය.
ඇම්පියර් උද්භිද විද්‍යාව සම්බන්ධයෙන් ද උනන්දුවක් දැක්වූයේය. 1809 දී පැරිසියේ බහුශිල්ප විද්‍යාලයේ මහාචාර්ය පදවියකට පත් වූ ඔහු 1836 දී මිය යන තෙක් එම පදවියෙහි සේවය කෙළේය. විද්‍යුත්චුම්බකත්වය පිළිබඳ ඔහුගේ සුප්‍රසිද්ධ පර්යේෂණ කරන ලද්දේ මේ විද්‍යාලයේ සිටිය දීය.
විද්‍යුතය හා චුම්බකත්වය අතර ඇති සම්බන්ධතාව අ'ස්ටෙඩ් (බ.) ඔප්පුකර දැක්වූවාට පසු විද්‍යුත් ධාරාව චුම්බක සූචියේ ඇති කරන උත්ක්‍රමය (deflection) පිළිබඳ නියම ද විද්‍යුත් ධාරාවන්ගේ පරස්පර ආකර්ෂණය හා විකර්ෂණය ද ඇම්පියර් විසින් අනාවරණය කරන ලදි. චුම්බකත්වය වූකලි අණුක (molecular) විද්‍යුත් ධාරාවන්ගෙන් ඇති වන ප්‍රතිඵලයය යන මතයක් ඔහු ගෙනහැර පෑවේය. විද්‍යුත් ධාරාවකින් චුම්බකයක ඇති කරනු ලබන උත්ක්‍රමය නියම කිරීමට සුප්‍රසිද්ධ ‘ඇම්පියර්ගේ නියමය’ (Ampere's rule) ඔහු විසින් ප්‍රකාශ කරන ලදි. විද්‍යුත් ධාරාව මනින ව්‍යවහාරික ඒකකයකට ‘ඇම්පියරය’ යයි නම් කොට ඇත්තේ ඔහු සිහිපත් කරවනු වස්ය. මිනිසාගේ අභිවෘද්ධිය පිණිස විද්‍යුතය හා චුම්බකත්වය පිළිබඳ විද්‍යාවන් එකට ඈඳීම ද ඇම්පියර්ගෙන් සිදු වූ විශාල සේවයකි.
(සංස්කරණය: 1967)