එල්බ්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:48, 24 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(එල්බ). ජර්මනියේ ගංගාවන් අතුරෙන් වැදගත්කම අතින...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(එල්බ). ජර්මනියේ ගංගාවන් අතුරෙන් වැදගත්කම අතින් රයින් ගඟට පමණක් දෙවැනි වූ ගංගාවයි. චෙකොස්ලොවේකියාවේ ක්ර්කොනෝස් කඳුවලින් පටන් ගන්නා එල්බ් නදිය (මෙය මේ හරියේ දී හැඳින්වෙනුයේ ලාබෙ යන නමිනි) පළමුවෙන් දකුණට ද පසුව බටහිරට ද උතුරට ද හැරී බොහීමියන් තැනිතලාව මැදින් ජර්මන් දේශසීමාව දෙසට ගලා යයි. බෙල්නික් නම් ස්ථානයේ දී වල්ටාවා නම් අතු ගංගාව එල්බ් නදියට එකතු වේ. මෙහි දී, දකුණු සහ නිරිතදිග බොහීමියාවෙන් පෝෂණය වන වල්ටාවා එල්බ් ගඟට වඩා විශාලය. එබැවින් වල්ටාවා ගඟබඩ පිහිටි ප්‍රාග් නගරය තෙක් නැව් ගමනාගමනය කරන්නට පුළුවන. මේ අනුව ප්‍රාග් නගරය එල්බ් ගංගා සමූහයේ යාත්‍රා කළ හැකි දකුණුතම සීමාව වශයෙන් සැලකිය හැකිය. බෙල්නික්හි සිට සැතපුම් විස්සක් පමණ උතුරේ දී ඊසර් නම් තවත් අතු ගංගාවක් එල්බ් නදියට එකතු වේ. ඉක්බිති, ඛිටල්බ’ග් හරහා එය ජර්මනියට ඇතුළු වේ. ඩ්‍රෙස්ඩන් නගරය අසලින් ජර්මන් තැනිතලාවට ප්‍රවිෂ්ට වන එල්බ් ගංගාව ඩෙසෞ, මැග්ඩබ’ග්, හැම්බ’ග් ආදි නගර පසු කොට ගලා ගොස් කුක්ස්හාෆන් අසලින් උතුරු මුහුදට වැටේ. එල්බ් නදියේ මුළු දිග සැ. 700කි. මෙයින් මුල් සැ. 227ක ප්‍රමාණය චෙකොස්ලොවේකියාවට ඇතුළත් වේ. ජර්මන් තැනිතලාවේ දී එල්බ් නදියට එකතු වන අනෙක් අතු ගංගාවන් අතර මුල්ඩ, සාල, හාෆල් සහ එල්ඩ යන මේවා ප්‍රධාන තැන් ගනී. එල්බ් නදිය පෝෂණය වනුයේ ප්‍රධාන වශයෙන් ම බොහීමියන් පෙදෙසේ වර්ෂා සහ හිම පතනයෙනි.

එල්බ් ගංගාධාරය ආර්ථික වශයෙන් ඉතාමත් සරුසාර එකකි. රසායනික කර්මාන්ත සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එයින් ලැබෙන අතර එය ජර්මන් බීට් සීනි කර්මාන්තයෙහි ද වැදගත් තැනක් උසුලයි. එල්බ් ගඟ අසබඩ පිහිටි ඩ්‍රෙස්ඩන් නගරය පිඟන් බඩු සම්බන්ධයෙන් ලෝක ප්‍රකට බව ද මෙහි ලා සැලකිය යුතු වේ. චෙකොස්ලොවේකියානු නිෂ්පාදිත ද්‍රව්‍යයන් ප්‍රවාහණය කිරීමේ දී ද එල්බ් නදිය බෙහෙවින් උපයෝගී කරගනු ලැබේ.

දෙවැනි ලෝක යුද්ධයට පෙර එල්බ් ගඟ සහ එහි අතු ගංගාවන් ද ඒ හා සම්බන්ධ වූ ක්‍රමවත් දුම්රිය මාර්ග රාශියක් ද ආධාරයෙන් ඉතා දියුණු ගමනාගමන සංවිධානයක් ගොඩනඟාගෙන තුබුණු නමුදු ජර්මනිය දෙකඩ වීම හා චෙකොස්ලොවේකියාව කොමියුනිස්ට් ධර්මය වැලඳගැනීම නිසා උද්ගතව ඇති දේශපාලන මතභේද හේතුකොටගෙන එල්බ් ගංගාශ්‍රිත ගමනාගමන හා ද්‍රව්‍ය ප්‍රවාහණ ක්‍රමයේ ප්‍රගතියට හානි සිදු වී ඇතැයි සැලකිය හැකිය.

ඓතිහාසික වැදගත්කම

ජර්මන් ඉතිහාසයෙහි එල්බ් නදිය උසුලනුයේ වැදගත් තැනකි. ඒ ගංගාව නිසා, ඉතා පැහැදිලි ලක්ෂණවලින් යුත් භූමි ප්‍රදේශ දෙකක් වශයෙන් ජර්මනිය දෙකට බෙදෙන බව පිළිගත යුතුය. ‘ඓතිහාසික ජර්මනියේ’ ද ‘ඓතිහාසික ප්‍රසියාවේ’ ද දේශසීමාව එල්බ් නදියයි. එයින් නැගෙනහිර දිග පිහිටි ප්‍රසියාව වූකලි කාර්මික වශයෙන් දිළිඳු වුව ද ගොවිතැනට යෝග්‍ය තැනිතලා භූමිභාගයක් විය. එබැවින් මධ්‍යතන යුගයේ සිට ම ප්‍රසියාව තුළ රදල ඉඩම් ක්‍රමයක් මුල් බැස ගෙන තිබිණ. බොහෝවිට මේ ඉඩම් හිමියෝ අසල්වැසි ස්ලාව්වරුන් සිය ගැත්තන් මෙන් සලකා ඔවුන්ගෙන් වැඩ ගත්හ. ප්‍රසියාව සතු කිසිදු ස්වාභාවික ආරක්ෂා මාර්ගයක් නොවූයෙන් යුද හමුදාවේ පිළිසරණ සොයන්නට එහි රාජ්‍ය නායකයන්ට සිදු විය. මෙසේ සංවිධානය වූ ප්‍රසියන් රදලයෝ ක්‍රමයෙන් අසල්වැසි ප්‍රදේශයන් අල්ලා ගෙන, රාජ්‍ය සංස්ථාවක් ගොඩනඟා, මුළු මහත් ජර්මනිය තමන් සතු කරගත්හ. ඓතිහාසික වශයෙන් බලන කල වර්තමාන ජර්මනිය වූකලි ප්‍රසියාවේ ම විකාසනයක් බව පෙනේ.

දෙවැනි ලෝක සංග්‍රාමාවසානයේ දී, මිත්‍ර ජාතීන්ගේ හමුදාව ද රුසියන් හමුදාව ද එකිනෙකට මුණ ගැසුණේ එල්බ් නදියේ දීය. එබැවින්, එල්බ් ගඟ මුල් කර ගෙන ජර්මනිය දෙකට බෙදා ගන්නා ලදි. පසු කලෙක ඇති වූ දේශපාලන සිද්ධීන් නිසා එල්බ් නදිය අද නැගෙනහිර සහ බටහිර ජර්මන් රාජ්‍යයන් වෙන් කරන ස්ථාවර දේශ සීමාවක් බවට පත් වී ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එල්බ්&oldid=11315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි