එල්ලී සිය දිවි නසාගැනීම

සිංහල විශ්වකෝෂය වෙතින්
10:15, 24 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිය දිවි නසා ගැනීමේ එක් ක්‍රමයක් වන මෙය බොහෝ ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිය දිවි නසා ගැනීමේ එක් ක්‍රමයක් වන මෙය බොහෝ දුරට, දියුණු රටවල ශීඝ්‍රයෙන් අඩුවී යන්නකි. ඊට මූලික හේතුව වී ඇත්තේ දිවි නසාගැනීමට එයට වඩා පහසු ක්‍රම ඒ රටවල තිබීමයි. නිද්‍රාජනක බෙහෙත් පෙති (barbiturates) අධික වශයෙන් ගැනීමෙන් දිවි හානි කරගැනීම නිදසුනකි. එල්ලී සියදිවි නසා ගන්නා පුද්ගලයන්ගෙන් විශාල සංඛ්‍යාවක් මානසික රෝගවලින් පෙළෙන්නෝයි. බොහෝ අවස්ථාවලදී මෙවැනි පුද්ගලයන් විසින් මෙසේ සිය දිවි නසා ගැනීමට තෝරාගනු ලබන්නේ තමන් හොඳින් දන්නා හුරු පුරුදු ස්ථානයකි. තම නිවෙසේ නාන කාමරයක්, වැසිකිළියක් හෝ නිදන කාමරයක්, එසේත් නැත්නම් නිවෙස අවට වත්ත හෝ ඒ අසළ හුරු පුරුදු වන ළැහැබක් තෝරාගනු ලැබේ.

කෙනකු එල්ලී මියගොස් ඇත්තේ නුපුරුදු පරිසරයක බව පෙනීගිය විටක මෘතදේහය පරීක්ෂා කරන වෛද්‍යවරයා ඒ ගැන යම්කිසි සැකයක් පහළ කළ යුතුය. ඉතාමත් සුපරීක්ෂ්‍යකාරී පශ්චාත් මරණ පරීක්ෂණයක් ද පැවැත්විය යුතුය. මෙවැනි අවස්ථාවන්හි දී ඇතැම් විට හෙළිවන්නේ වෙන යම් ක්‍රමයකින් ඒ තැනැත්තා මරා දමා සිය දිවි නසා ගැනීමක් හැඟවීමට මිනීමරුවා විසින් දරන ලද පරිශ්‍රමයකි.

සිය දිවි නසා ගන්නා තැනැත්තා එල්ලීමට ගනු ලබන්නේ කොහු ලණු, කඹ, විදුලි කම්බි, ඇඳ ඇතිරිලි වැනි තමාට ඉතා පහසුවෙන් ලබාගත හැකි දෙයකි. එල්ලී දිවි නසා ගැනීමක දී මරණය දෙයාකාරයකින් සිදු වේ. ගෙල තදවීමේ දී ශ්වසන නාලයේ උඩ කොටස වැසීයාම හේතුකොටගෙන අම්ලකර වායුව නැති වී යාමෙන් විනාඩි කීපයකින් ජීවිතක්ෂයට පත් වීම එක් අයුරකි. ගෙල තද කරන උපකරණය (කඹය හෝ ලණුව) ක්‍රමයෙන් මොළයට රුධිරය සපයන කරෝටික ධමනි (carotid arteries) දෙක ඉතා අධිකව තද කිරීමෙන් මොළයට රුධිරය සැපයීම නැතීවී යාමෙන් ජීවිතක්ෂයට පත්වීම අනෙකයි. සමහර අවස්ථාවලදී කරෝටික ධමනිවල ඇතුළත හරහට පුපුරා ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී දක්නට ලැබීම දෙවැන්නට සාක්ෂ්‍යයකි. යම් කිසිවකු ගෙලෙන් එල්ලුණුවිට ඔහුගේ ශරීරයේ බර නිසා ඔහු පහතට ඇද්දෙන අතර ගෙල වටා ඇති කඹය හෝ ලණුව වැනි තද කිරීමේ උපකරණය ශීඝ්‍රයෙන් ඉහළට යනු ඇත. මෙසේ යටි හක්කේ පහළ කොටස දක්වා කඹය හෝ ලණුව ඇදී ගොස් ගෙලෙහි ඉහළ ම කොටස අධිකව තද කරනු ලැබේ. මේ හේතු කොට ගෙන දිවේ පසු කොටස ඉහළටත්, ගෙලෙහි පසු දිසාවටත් ගමන් කොට ශ්වසන නාලයේ උඩකොටස සම්පූර්ණයෙන් හිර වී වායුව ඇතුළට පිවිසීම වළකී. වායු ගෝලයේ අම්ලකර වායුව පෙනහැලිවලට ගමන් නොකිරීම නිසා ශරීරයට අම්ලකර වායුව නැති වී යාමෙන් ඉතා සුළු වේලාවකින් මරණය සිදු වේ. මෙවැනි මරණ පරීක්ෂණවලදී ගෙල වටා ඇති තදවීමේ සලකුණු කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ. සිය දිවි හානිකර ගැනීමකින් ඇති වූ ඒවා නම් මේ සලකුණු ගෙලෙහි ඉහළ ම කොටසෙහි දක්නට ලැබෙන අතර යටිකුරු කළ ඉංග්‍රීසි V අකුරේ හැඩය ගනී. සමහර අවස්ථාවලදී ගැටයේ සලකුණ ද ගෙලෙහි සටහන් වී ඇති අතර මෙය බොහෝ විට ගෙලෙහි හෝ හිසෙහි පසුපස දක්නට ඇති නමුත් සමහර විට මෙය මුහුණේ එක් පැත්තක කනට ඉදිරියෙන් හෝ පිටුපස පෙනෙනු ඇත. එල්ලී සිය දිවි නසාගැනීම්වල දී ඇති වන අනිකුත් විශේෂ ලක්ෂණ නම්, ගෙල තදවුණු ස්ථානය අධිකව ඉදිමීමත්, ඇස් සහ දිව ඉදිරියට නෙරීමත්, මුහුණ නිලට හුරු රතු පැහැයක් ගැනීමත්, ඇස්වල සුදු කොටසේ හා ඇස් පිහාටුවල ඇතුල් පැත්තේ ඉතා කුඩා ලේ බින්දු ඇතිවීමත්ය. යමකු වෙන යම් ක්‍රමයකින් මරා මරණය සියදිවි නසා ගැනීමක් ලෙස පෙන්වීමට මළකුණ ගෙලෙන් එල්ලා තැබූ විට ඉහත සඳහන් සලකුණු පහළ නොවේ.

(සංස්කරණය: 1974)