එල්ලුම් ගහ
(පෝරකය). අධිකරණය විසින් මරණීය දණ්ඩනයට නියම කරනු ලැබූ අය මරණයට පැමිණවීම සඳහා උපයෝගී කරගනු ලබන වධෝපකරණයකි. කෙළින් සිටවූ කණු දෙකක මුදුනේ හරහට තවත් දණ්ඩක් සවිකර ඒ හරස් දණ්ඩේ බැඳ කැරලි ගසා ඇති කඹයේ කෙළවරක තොණ්ඩුවක් හා කුඩා මුදුවක් ගැටගසා ඇත. එල්ලුම්ගහ තනා ඇත්තේ වේදිකාවක් සේ පෙනෙන උගුලක් උඩය. ලීවරයක් ක්‍රියාකරවූ විට යටිපැත්තට විවෘත වන දොරපලු දෙකකින් මෙකී උගුල සෑදී ඇත. මිනිසකු එල්ලූ පසු ඔහුගේ දෙපා බිම ස්පර්ශ නොවන තරම් උස්ව සිටින පරිදි තනන එල්ලුම් ගස් ද වේ.
මෙම වධෝපක්‍රමය ශතවර්ශ ගණනක් තිස්සේ බටහිර ජාතීන් අතර ප්‍රචලිත ව තුබූ බව පෙනේ. ඇංග්ලෝ-සැක්සන්වරුන් පෝරකය භාවිතයට ගත්තේ ඔවුන්ගේ ජර්මන් ජාතික මුතුන්මිත්තන් අනුව බව පෙනේ. දෙවැනි හෙන්රි රජු කාලයේ දී (1154-1189) එංගලන්තයේ එල්ලා මැරීමේ දඬුවම ඇති කරන ලදි. 12 වන ශතවර්ෂයේ දී එල්ලා මැරීම රාජකීය උසාවියේ තනිබලයට පවරන තෙක් සෑම ප්‍රාදේශීය සාමිවරයකුට ම එල්ලා මැරීමේ බලය තිබිණි. 1965 දී බ්‍රිතාන්‍ය රජය මරණ දඬුවම අහෝසි කෙළේය.
ඇමෙරිකාවට එල්ලා මැරීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ එහි පදිංචියට ගිය ඉංග්‍රීසි ජාතිකයන් විසිනි. එහි එල්ලා මැරීමේ දඬුවම මුලින් ම පමුණුවන ලද්දේ 1630 දීය.
එල්ලා මැරීමේ ක්‍රමය පෙරදිග රටවල ඉහත සමයන්හි නොතිබුණා දැයි සොයා බැලිය යුතු වේ. බයිබලයේ පූප සාදන්නන්ගේ නායකයා එල්ලා දැමීම ගැන සඳහන් වේ. හෙන්රි මාෂල් පුරාණ ලංකාව ගැන සඳහන් කරමින් මරණ දඬුවම පැමිණවීමේ එක් ක්‍රමයක් වූයේ එල්ලා මැරීම බව කියයි. රොබට් නොක්ස්ගේ විස්තරවල දඬුවම් පමුණුවන ස්ථානයේ ගස් අතුවල එල්ලා මරණ ලද අය දක්නට ලැබුණු බව සඳහන් වේ. මරා එල්ලීම, එල්ලා ගිනිතැබීම වැනි සිද්ධීන් ගැන වංසකථාවල සඳහන් කර ඇත (ම.ව. 75.160-63; 190-92).
ඒ කොයි හැටි වුවත් එල්ලා මැරීමේ දඬුවම පැමිණවීම සඳහා වෙන් වුණු එල්ලුම් ගසක් යුරෝපීය ආගමනයට ප්‍රථම මෙරට පැවති බවට සාක්ෂ්‍ය අවිද්‍යමානය. පෝරකය හා අලුගෝසුවා යන වචන පවා පෘතුගීසි තත්සම ශබ්දයෝයි.
වරදට දඬුවම් වශයෙන් පමණක් නොව එබඳු වරදවලට පෙලඹිය හැකි අන්‍යයන් තුළ දඬුවම් පිළිබඳ බියක් ඇතිකොට ඔවුන් වළක්වා ගැනීම පුරාතනයේ දී රාජදණ්ඩනයෙන් මූලික වශයෙන් අපේක්ෂිත වූයේය. සෑම දඬුවමක් ම ප්‍රසිද්ධියේ කරන ලද්දේ එහෙයිනි. අපරදිග රටවල ද මුල දී දඬුවම් පැමිණවීම කර ඇත්තේ ප්‍රසිද්ධියේය. එංගලන්තයේ එල්ලා මැරීම 1868 වන තුරු ප්‍රසිද්ධියේ කරන ලදි. මෙය ඉතා පහත් මරණ ක්‍රමයක් සේ සලකන ලදින් එය වඩා මානුෂිකව හා ශිෂ්ට ලෙස කළ යුතු යයි කල්පනා කරන ලදි. ඒ අනුව දඬුවම් ලබන්නාගේ වේදනාව හැකි තරම් අඩු වන පරිදි ද ඔහුගේ ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි ද එල්ලා මැරීම ඉතා අප්‍රසිද්ධියේ කිරීමට පටන් ගන්නා ලදි.
ඉංග්‍රීසීන් මෙරට පැරණි දඬුවම් ක්‍රම අහෝසි කිරීමෙන් පසු එල්ලා මැරීම මෙරට පිළිගත් මරණ දණ්ඩන ක්‍රමය විය. ඊට කලින් ලන්දේසීන් ද එල්ලා මැරීම කළ බවට සාධක බාල්දියස්ගේ විස්තරවලින් පෙනේ.
දැනට ලංකාවේ ඇති ප්‍රධාන බන්ධනාගාර දෙකක් වූ වැලිකඩ හා බෝගම්බර සිරගෙවල පෝරක පිහිටුවා ඇත. මරණයට නියම කරනු ලැබූ අය නියමිත දිනට සති ගණනකට පෙර සිට වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරනු ලබන අතර මරණ දිනයේ ද එසේ ම වෛද්‍ය පරීක්ෂණයකට භාජන කරනු ලැබේ. පෝරකය පිහිටා ඇත්තේ මරණයට නියමවූවන්ගේ මැදිරිවලට යාබද කුඩා කාමරයකය. මරණයට නියමිත දිනට පෙර දා පැමිණෙන අලුගෝසුවන් සිරකරුගේ උස හා බර ආදි විස්තර ලබාගෙන ඒ බරට සමාන බරක් යොදා පෝරකය ක්‍රියාත්මක කර බලන අතර සුදුසු වෙනස්කම්ද කරනු ඇත. පසුදා උදේ ද එලෙස ම පරීක්ෂණයක් කරන්නේ පෝරකය නිසි පරිදි ක්‍රියා කැරේ දැයි බැලීම සඳහාය. මරනු ලබන අයට අනවශ්‍ය වද වේදනා නොපැමිණවීම සඳහා වෛද්‍ය විශේෂඥයන් විසින් උස හා බර පිළිබඳව චක්‍රයක් සකස් කොට ඇත. හරස් දණ්ඩේ බැඳ ඇති කඹය උස හා බර ප්‍රමාණය අනුව වෙනස් කරගත හැක. තොණ්ඩුව බෙල්ලට දමා ලීවරය ක්‍රියාකරවීමත් සමඟ එල්ලී වැටෙන සිරකරුගේ බර නිසා කැඩෙන නූලකින් කඹය රඳවා ඇත.
නියමිත වේලාවට අලුගෝසුවා හා බන්ධනාගාර නිලධාරීහු ද වෛද්‍යවරයා ද පැමිණෙත්. මරණ දඬුවමට කැප වූ අය සිර මැදිරියට භාර දුන් දින ඔහු භාරගත් ජේලර්ලා දෙදෙනාගෙන් කෙනකු හෝ මෙදින පැමිණිය යුතු අතර එදින මරණයට පත් කරනු ලබන්නේ තමා විසින් සිර මැදිරියට භාර ගන්නා ලද අය ම බවට සහතික කළ යුතුය. ආගමික වතාවත් අවසන් වූ පසු සිරකරුගේ හිස සිට පාදාන්තය දක්වා වසා අත් පිටුපසට බැඳ පෝරකයට ගෙන ගොස් දෙපය බැඳ තොණ්ඩුව බෙල්ලට දමනු ලැබේ. ලීවරය ක්‍රියාකරවීමත් සමඟ උගුල විවෘත වී තොණ්ඩුව වම් හක්කට හිර වේ. නිසියාකාර හිරවීම සඳහා මුදුවක් ද යොදා ඇත. පහතට වැටීම නිසා ගෙලට සම්බන්ධ මුල් කොඳුඇට පුරුක් තුන බිඳේ. මෙයින් හුස්ම හිර වී මරණය සිදු වේ.
මෙරට පෝරකයේ එල්ලනු ලැබුවකුගේ මරණය සිදුවීමට ගත වන කාලය තත්පර 80ක් පමණ වේ. බන්ධනාගාර වෛද්‍යවරයා විසින් පණ හානි වී ඇති දැයි පරීක්ෂා කරනු ලබන අතර පැය විසිහතරක් ඇතුළත නීති ප්‍රකාර මරණ පරීක්ෂණයක් ද පැවැත්විය යුතුය. අවමඟුල් කටයුතු සිදු කරන්නේ ඉන් පසුය.
එල්ලා මැරීම දැනට ඇති මරණ ක්‍රම අතර ඉතා ම මානුෂික වධෝපක්‍රමයක්ය යනු ඇතැමුන්ගේ පිළිගැනීමයි. 1953 දී එංගලන්තයේ රාජකීය කොමිසමක් විසින් එල්ලා මැරීමට වඩා සුදුසු ක්‍රමයක් නැතැයි නිගමනය කරන ලදි. බටහිර රටවල දක්නට ඇති තද විදුලි සැරයකට භාජන කොට මැරීම, ශීර්ෂච්ඡේදනය, විෂ වායුවෙන් ජීවිතක්ෂයට පත් කිරීම හා වෙඩි තැබීම යන ක්‍රමවලට වඩා එල්ලා මැරීමේ ක්‍රමය සරල හා වේදනා රහිත බව පිළිගැනේ. සිය පණ හානි කරගන්නා අය අතුරෙන් වැඩි දෙනා එල්ලී සිය පණ නසා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීමෙන් මෙය සනාථ වේ.
නූතන යුගයේ බොහෝ රටවල මරණ දඬුවම අවළංගු කර ඇත. ලංකාවේ එය 1958 දී අත්හිටවනු ලැබුව ද නැවතත් 1959 දී වළංගු කරනු ලැබීය.
ඇතැම් රටවල මෙම දඬුවම් ක්‍රමය අවළංගු කරනු නොලැබුව ද ක්‍රියාත්මක නොවීම නිසා පෝරකය අභාවයට යන අතර ලංකාවේ ද මරණයට නියමවූවන්ට බොහෝ විට අභය දීම හේතුකොට ගෙන පෝරකය ක්‍රියාත්මක වීම ඉතා කලාතුරකින් පමණක් සිදුවන බව පෙනේ.
(1958 පරිවාස හා බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ලිපියක් ඇසුරෙනි.)
(සංස්කරණය: 1974)