එල්ලේ ක්‍රීඩාව

සිංහල විශ්වකෝෂය වෙතින්
11:26, 24 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙරට ඉතා ජනප්‍රිය දේශීය ක්‍රීඩාවක් ලෙස සැම තර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙරට ඉතා ජනප්‍රිය දේශීය ක්‍රීඩාවක් ලෙස සැම තරාතිරමක ම පාහේ අය අතර ප්‍රචලිතව පවත්නා ක්‍රීඩාවකි. ක්‍රීඩාවේ ආරම්භය කවදා කෙසේ වී දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකිය. ඇමෙරිකාවේ බේස් බෝල් ක්‍රීඩාවට නෑකම් කියන එල්ලේ ක්‍රීඩාව මීට අඩසිය වසකට පමණ පෙර එහි ආභාසයෙන් ඇති වී දේශීය මුහුණුවරක් ගනිමින් වැඩුණු බව සිතිය හැකිය.

මෙයට වසර තිහ හතලිහකට පෙර ‘රවුන්ඩර්ස්’ නමින් ද හැඳින්වුණු මෙම ක්‍රීඩාව තරුණයන් අතර ජනප්‍රිය වීමේ දී දහනව වැනි ශත වර්ෂය අවසාන භාගයේ සිට මෙරට ඉහළ සමාජ මට්ටමේ අය අතර පැතිරී ගිය ක්‍රිකට් ක්‍රීඩාව ද උපස්තම්භක වී දෝයි සිතිය හැකිය. ඉහළ පන්තියේ අය ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙද්දී එය නැරඹීමෙන් ආස්වාදය ලැබුව ද ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගි වීමට පහසුකම් නොලත් සාමාන්‍ය පන්තියේ තරුණයන් ‘රවුන්ඩර්ස්’ ක්‍රීඩාවෙහි යෙදුණු බව පෙනේ. රබර්වලින් තැනූ ටැනිස් බෝලයක් හා මෙරට සුලබව ඇති උණ ගසේ අග කොටසින් තනාගත් පිත්තක් නගරබද අය එල්ලේ ක්‍රීඩාවට උපයෝගී කොටගත් අතර පැතලියට සකස් කොටගත් පොල්පිත්තක් හා රෙදි කෑලි, කොළ ආදිය ඔතා තනාගත් බෝලයක් හෝ කදුරු වැනි ගෙඩියකින් තනාගත් බෝලයක් ගම්බද ගැටවරයන්ගේ ක්‍රීඩා උපකරණ විය.

මුල් අවධියේ දී එල්ලේ ක්‍රීඩාව බෙහෙවින් ජනප්‍රිය වූයේ කොළඹින් උතුරු දෙස මීගමුව දක්වා වූ මුහුදුබඩ පළාත්වලය. අද ද මෙපෙදෙස්හි ප්‍රධාන ක්‍රීඩාව වන්නේ එල්ලේය. ගම් අතර එල්ලේ තරඟය ලොකු කුඩා හැමදෙනාට මහත් විනෝදයක් ගෙන දේ. එහෙත් මුල දී එය හුදු විනෝදාස්වාදය ලැබීම සඳහා උපයෝගී කොට ගත්තා මිස සංවිධානාත්මක ක්‍රීඩාවක් ලෙස සකස් වී නොතිබිණ. සම්මත නීතිරීති මාලාවක් හෝ ක්‍රීඩා පිළිවෙතක් ද නොවීය. ඒ ඒ ප්‍රදේශවල තරඟ නීතිරීති මඳ වශයෙන් හෝ එකිනෙකට වෙනස් වූයෙන් අන්තර් සමාජ තරඟ පැවැත්වීමේ දී මූලික නීතිරීති ගැන දෙපක්ෂය කථා බස් කරගැනීමෙන් තාවකාලික සම්මුතියකට එළඹීම සිරිත විය.

ක්‍රිකට්, පාපන්දු, රගර්, පැසි පන්දු වැනි ලොව ප්‍රචලිත ප්‍රධාන ගණයේ ඕනෑ ම ක්‍රීඩාවක දක්නා ව්‍යායාමය, සංවිධානාත්මකතාව, විනෝදකරබව උද්‍යෝගී සහභාගිතාව, පාර්ශ්ව හැඟීම යනාදි අංග ලක්ෂණ එල්ලේ ක්‍රීඩාවෙහි ද නොඅඩුව පෙනිණ. එහෙත් මුල දී මෙම ක්‍රීඩාව නගරබදව වුව ද සාමාන්‍ය පන්තියේ අයට පමණක් සීමාව පැවති නිසා ද ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන් අතර නිතර ම පාහේ දක්නා ලද අසංවරකම් ආදිය නිසා ද සමාජයේ උසස් පන්තිවල ජනයා එය පහත් පන්තියට අයත් ක්‍රීඩාවක් සේ සැලකීමට පුරුදුව සිටියහ.

ක්‍රිකට් වැනි දියුණු ක්‍රීඩා දෙස බලා ඒ අනුසාරයෙන් එල්ලේ ක්‍රීඩාවේ වැඩි වර්ධනය සිදු කළ හැකි මං සොයමින් නොසන්සුන්කම් දුරලීමටත් නියම සංවිධානාත්මක පදනමක් මත ක්‍රීඩාව මැනැවින් පවත්වාගෙන යෑමටත් සම්මත නීතිරීති මාලාවක් ඇති කොට ක්‍රීඩාව වැටී තිබුණු පහත් සමාජ මට්ටමෙන් එය ඔසවාලීමේත්, නවපණක් ගන්වා ක්‍රීඩාව ව්‍යාප්ත කරලීමේත් අදහසින් පුරෝගාමීව ක්‍රියා කළ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඇල්.ජේ. රෙජිනෝල්ඩ් කබ්රාල් මහතාට ක්‍රීඩා ලෝල කාගේත් ප්‍රශංසාව හිමි විය යුතුයි.

කබ්රාල් මහතා 1946 දී පළමුවරට එල්ලේ ක්‍රීඩාව සඳහා උචිත නීතිරීති මාලාවක් සකස්කොට එය සිංහලෙන් මුද්‍රණය කැරැවීම එම ක්‍රීඩාව සංවිධානාත්මක පදනමක් මත පිහිටුවීමටත් මතභේද දුරලීමෙන් අසංවරකම් ඉවත් කරලීමටත් සෑම තරාතිරමක අය අතර ක්‍රීඩාව ජනප්‍රිය කොට ප්‍රචලිත කිරීමටත් හේතු විය. පුහුණුවීමේ කඳවුරු මගින් ක්‍රීඩාවට ලැදියවුන් තුළ, විශේෂයෙන් පාසැල් සිසුන් අතර, එල්ලේ ක්‍රීඩාව පිළිබඳ දැනුම වර්ධනය කරවන ලදි. කබ්රාල් මහතාගෙන් සිදු වූ තවත් වැදගත් සේවයක් නම් ක්‍රීඩාවේ කාලය ඕනෑකමින් නාස්ති කිරීමත් පන්දුවෙන් දුවන්නාට පහර දීමෙන් අනතුරු ඇතිවීමත් වැළැක්වීම සඳහා පන්දුවට පහර දෙන පක්ෂයේ ක්‍රීඩකයකු ලවා පන්දුව එවීම සහ දුවන්නාට පන්දුවෙන් පහරදීම වෙනුවට කට්ටි ළඟ සලකුණු කරන ලද කවවල පන්දුව තැබීමෙන් දවාලීම හඳුන්වා දීමයි.

අද අනුගමනය කරනු ලබන නීතිරීති මාලාව ඒ මහතා විසින් 1961 දී සංශෝධනය කොට ප්‍රසිද්ධ කරන ලද නව නීතිරීති මාලාවට බෙහෙවින් සමාන වේ.

සිංහල පුවත්පත්වල අනුග්‍රහය ලැබීම ක්‍රීඩාව රට පුරා ප්‍රචලිත කිරීමට රුකුලක් විය. පුවත්පත් මගින් ප්‍රදර්ශන එල්ලේ තරඟ හා එල්ලේ ක්‍රීඩා සමාජ අතර තරඟ මාලා සංවිධානය කරන ලදි. මෙවැනි මාර්ගවලින් එල්ලේ ක්‍රීඩාව සමාජයේ උසස් පහත් කා අතරත් පාහේ ජනප්‍රියව ගම්නියම්ගම්වල ප්‍රචාරය වුව ද ජාතික එල්ලේ ක්‍රීඩා සම්මේලනයක් නොතිබීම බලවත් අඩුපාඩුවක් විය. 1962 දී ලංකා එල්ලේ සම්මේලනය පිහිටුවීමෙන් මේ අඩුව ද සපුරාලන ලදින් එල්ලේ ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් බවට පත් වී ඇත. අනතුරුව එල්ලේ ක්‍රීඩාව පාසැල්වල ක්‍රීඩා විෂයයක් වශයෙන් ඇතුළු කොට ගුරුශිෂ්‍ය දෙපක්ෂයට ම පුහුණුවීමේ කඳවුරු පැවැත්වීමෙන් එල්ලේ ක්‍රීඩාව ජනප්‍රිය ජාතික ක්‍රීඩාවක් වශයෙන් ස්ථීර ලෙස රටපුරා පිළිගැනිණ.

ක්‍රීඩා පිළිවෙළ

ලංකා එල්ලේ සම්මේලනය පිහිටුවීමෙන් අනතුරුව ක්‍රීඩාව සඳහා පිළිගත් ක්‍රීඩා පෙතක් හා නීතිරීති මාලාවක් සම්මත කොට ගන්නා ලදි. මෙහි දැක්වෙන ක්‍රීඩා පෙතේ සැලැස්ම මෙන් ම නීතිරීති ද එකී සම්මේලනයේ අනුමැතිය ලත් ඒවා බව සැලකිය යුතුය.

එක් පිළකට ක්‍රීඩකයන් දහසය දෙනකු බැගින් ඇති පිල් දෙකක් අතර තරඟය පැවැත්වේ. ක්‍රීඩාව සඳහා උපයෝගී කරගන්නා බෝලය ටැනිස් බෝලයක් ම විය යුතු අතර පිත්ත උණ බම්බුවකින් ම තනා ගත යුතු වේ. විනිශ්චය සඳහා ප්‍රධාන විනිශ්චයකරුවකුගෙන් හා සහායකයන් දෙදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් වේ. පළමුවෙන් පහරදෙන පිළ හා රකින පිළ තෝරා ගත් පසු ක්‍රීඩාව ආරම්භ වේ. එක පිළකට තරඟ වාර දෙක බැගින් ක්‍රීඩා කළ හැකිය. එක් පිළක් අනෙක් පිළ තරඟ වාර දෙකේ දී ම ලබා ගත් ලකුණු සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මුල් වාරයේ දී ලබාගෙන ඇත්නම් තරඟයේ අවසානය එය ම වේ.

පහර දෙන්නා එල්ලය වෙත ගොස් බෝලය එවන ස්ථානයේ සිට රකින පිළේ අයකු උඩින් එවන පන්දුවට පහර දී කට්ටි ඔස්සේ දැවුම් කණුව පසුකොට දිවීමෙන් ලකුණක් ලබයි. එසේ ලකුණක් ලබාගැනීම පිණිස එක පහරක ආධාරයෙන් පිටිය වටා දිවීම සම්පූර්ණ කළ යුතු වේ. එවන පන්දුවට පහර දීමට තෙවරක් උත්සාහ කළ හැකිය. ඒ තෙවර ම වැරදී ගියහොත් - පන්දුව, පිත්තේ නොවැදුණේ නම් - පහරදෙන්නා දැවී යයි.

ක්‍රීඩකයකු දැවී යෑම කිහිපාකාරයකින් සිදු විය හැකිය. පිට පිට පහරදීම් 3ක දී බෝලය පිත්තේ නොවැදී යාම, පහර ලත් බෝලය බිම වැටෙන්නට පෙර රකින පිළේ අයකු විසින් උඩ දී අල්ලනු ලැබීම, බෝලය පිත්තේ වැදී දැවුම් කණු දෙක අතරින් පිටුපසට විසි වී යාම, බෝලය I හා III කට්ටි යා කරන ලෙස ඇඳෙන ඉරට ඉදිරියෙන් පිටියේ කිසියම් තැනක වැදී ආපසු විත් දැවුම් කණු දෙක අතරින් පිටුපසට යාම, එල්ලයත් කට්ටිත් අතර දී බෝලයෙන් පහර ලැබීම, එක කට්ටියකට ක්‍රීඩකයන් දෙදෙනකු දිව ආවොත් මුලින් කට්ටියට ආ අය දැවීයාම යන මේවා ඉන් ප්‍රධානය.

දුවන්නාට බෝලයෙන් පහර දෙන විට පහර ලබන්නාට අනතුරු ඇති නොවන පරිදි එසේ කිරීමට වග බලාගත යුතුය. නොසරුප් හැසිරීම් සඳහා දඬුවම් පැමිණවීම විනිශ්චයකරු සතු වේ. රකින පිළේ එක ක්‍රීඩකයකු එල්ලයට පිටුපසින් පහර දෙන්නාට කරදර නොවන පරිදි, පන්දු රැකීමේ යෙදිය හැකිය. ඔහු ‘බයිස්’ නමින් හැඳින්වේ. පහර දෙන්නකු වෙනුවට දීවිමට කෙනකු යොදා ගත හැකිය. දුවන්නා කට්ටිවලට හෝ දැවුම් කණුවලට පිටින් නොදිවිය යුතු අතර වටය සම්පූර්ණ කිරීම පිණිස දැවුම් කණුව අසලින් ඇති එල්ලේ ඉර මුළු ශරිරයෙන් ම පසු කළයුතුය.

ලංකා එල්ලේ සම්මේලනය විසින් පනවා ඇති නීතිරීති මාලාව එල්ලේ ක්‍රීඩකයන් විසින් අනුගමනය කළ යුතු වේ. ක්‍රීඩාවේ සෑම අවස්ථාවක් ම සඳහා අදාළ නීතිරීති මෙම නීතිරීති මාලාවෙහි දක්වා ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එල්ලේ_ක්‍රීඩාව&oldid=11322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි