ඔක්සීම
(Oximes). ඔක්සීම වූකලි > C: NOH ඛණ්ඩය අඩංගු කාබනික රසායන සංයෝග පද්ධතියකි. ත්‍රිමාන රසායන විද්‍යාවේ දී, රසායන සංයෝග සංශ්ලේෂණයේ දී හා රසායන සංයෝගවල අනන්‍යතාව පරීක්ෂා කිරීමේ දී ඔක්සීමවලට වැදගත් ස්ථානයක් හිමි වේ. 1878 දී වික්ටර් මෙයාර් විසින් පළමුවෙන් ම ඔක්සීම නිපදවන ලදි. ඔක්සීම, ඇල්ඩිහයිඩ්වල හා කීටෝනවල ව්‍යුත්පන්න වශයෙන් සලකා ඇල්ඩොක්සීම හා කීටොක්සීම යනු විසින් කොටස් දෙකකට බෙදනු ලැබේ.
ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් මත හයිඩ්‍රොක්සිලැමයින්වල ප්‍රතික්‍රියාවෙන් ද, සක්‍රිය මෙතිල් හෝ මෙතිලීන් ඛණ්ඩය අඩංගු සංයෝග මත නයිට්‍රස් අම්ලයේ හෝ නයිට්‍රස් අම්ලයේ එස්ටරවල ප්‍රතික්‍රියාවෙන් ද ඔක්සීම ලැබේ.
සරල සාමාජික සංයෝග කීපයක් ඇරුණු විට ඔක්සිම ස්ඵටිකරූප ඝන ද්‍රව්‍යයෝය. දුර්වල ආම්ලික ගුණ ද, දුර්වල හාස්මික ගුණ ද, ඔක්සිමවල දක්නට ලැබේ. සියලු ම ඔක්සිම ජලීය (aqueous) ඛනිජ අම්ල මගින් අනුරූප මව් ඇල්ඩිහයිඩයට හෝ කීටෝනයට හා හයිඩ්‍රොක්සිලැමයින්වලට ජලවිච්ඡේදනය කළ හැකිය. එහෙත් ජලීය ක්ෂාර විෂයෙහි ඔක්සිම ස්ථායී බවක් දක්වයි.
ඔක්සිම ප්‍රාථමික ඇමීනවලට ඔක්සිහරණය කළ හැකිය. සංශ්ලේෂණ කටයුතුවල දී මෙය වැදගත් ප්‍රතික්‍රියාවකි. >C=0→CHNH2 වෙනත් ක්‍රම මගින් නිපැදවීමට අපහසු ඇරෝමැටික ඇමීන නිපැදවීම සඳහා මෙය උපයෝගී කරගත හැකිය. මෙතිල්ඩිහයිඩො ඒබයිටේට්වලින් මෙතිල් 6-ඇමිනො ඩිහයිඩ්‍රොඵ්බයිටේට් නිපැදවීම මීට නිදසුනක් වශයෙන් දැක්විය හැකිය. නයිට්‍රොකරණයේ දී 6, 8 ඩයිනයිට්‍රො සංයෝගය සෑදෙන නිසා සාමාන්‍ය ක්‍රමය අනුව මෙහි දී ඇමීනය නිපැදවීමට නොපිළිවන.
ඇන්හයිඩ්‍රයිඩ හෝ අම්ල ක්ලෝරයිඩ මගින් ඇල්ඩොක්සීම නයිට්‍රයිලයන්ට විජලනය කළ හැකිය. -CH: NOH→-CN+H2O
බෙක්මාන් පරිණාමණය (transformation) කීටොක්සීම්වල ලාක්ෂණික ප්‍රතික්‍රියාවකි. සල්පියුරික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා පොස්පරස් පෙන්ට ක්ලෝරයිඩ් වැනි ප්‍රතිකාරක යෙදූ විට කීටොක්සීම් අණුක ප්‍රතිසංවිධානයෙන් අම්ල ඒමයිඩයට හැරේ. මෙම ප්‍රතිසංවිධානය බෙක්මාන් පරිණාමණයයි. මේ උපයෝගී කරගැනීමෙන් කීටොක්සීම්වල ව්‍යූහය ද, එමගින් මව් කීටෝනයේ ව්‍යූහය ද නිර්ණය කිරීමට පිළිවන.
ඇතැම් ඔක්සීම ලෝහ සමග ස්ථායී සංගත (Co-ordinated) සංයෝග සාදයි. සමීප සම්බන්ධතාවක් දක්වන ලෝහයන්ගේ සංගත සංයෝගවල ද්‍රාව්‍යතාවේ පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ. මේ නිසා ගුණාත්මක විශ්ලේෂණයේ දී ඔක්සීම මෙම ලෝහ හඳුනාගැනීම සඳහා උපයෝගී කරගත හැකිය. නිදසුනක් වශයෙන් ඩයිමිතයිල් ග්ලයිඔක්සීම් 8888888888888888888888888888 ගනිමු.
ඩයිකීටෝන ඔක්සීමයකි. ලෝහ සමග ප්‍රතික්‍රියාවෙන් ඩයිමීතයිල් ග්ලයිඔක්සීම් සංකීර්ණ සංයෝග පද්ධතියක් දේ. මෙම සංකීර්ණ සංයෝග අතුරෙන් නිකල්වල හා පැලේඩියම්වල සංයෝග තනුක අම්ලවල ද, තනුක භස්මවල ද අද්‍රාව්‍යය. එමනිසා නිකල් හා පැලේඩියම් හඳුනා ගැනීම සඳහා ඩයිමීතයිල් ග්ලයිඔක්සීම් ප්‍රතිකාරකයක් වශයෙන් උපයෝගී කරගනිත්. විශේෂයෙන් ම නිකල් හා කොබෝල්ට් වෙන්කර හඳුනාගැනීම සඳහා ඩයිමීතයිල් ග්ලයිඔක්සීම් උපයෝගී කරගනු ලැබේ.
බොහෝ ඇල්ඩොක්සීම හා කීටොක්සීම සමාවයවික (isomeric) ආකාර දෙකකින් විද්‍යමාන වේ. මේ නිසා ත්‍රිමාන රසායන විද්‍යාවේ දී ඔක්සීම වැදගත් ස්ථානයක් ගනී. (ත්‍රිමාන රසායන විද්‍යාව බ.) මීට නිදසුනක් වශයෙන් සිස්-බෙන්සල් ඩොක්සීම් හා ට්‍රාන්ස්-බෙන්සල්ඩොක්සීම් දැක්විය හැකිය.
(සංස්කරණය: 1974)