එස්ට්‍රමඩුරා

සිංහල විශ්වකෝෂය වෙතින්
12:09, 1 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බටහිර පෘතුගාලයේ පැරැණි පළාතක් මෙනමින් හැඳින්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බටහිර පෘතුගාලයේ පැරැණි පළාතක් මෙනමින් හැඳින්වෙයි. ලේයිරියා, සන්තාරෙම්, සෙතූබල්, ලිස්බන් යන නූතන දිස්ත්‍රික්ක මීට ඇතුළත්ය. ප්‍රමාණයෙන් ව.සැ. 5,345ක් වූ මේ පළාත උතුරින් බේයිරා පළාතෙන් ද නැගෙනහිරින් අලේන්තේෂූ පළාතෙන් ද දකුණින් ආල්ගර්ව පළාතෙන් ද බටහිරින් අත්ලන්තික් සාගරයෙන් ද සීමා වී තිබේ. මෙහි දීර්ඝ මුහුදු තීරයෙහි, පළාතේත් රටේත් අගනුවර වන ලිස්බන් තොටුපලත් නගරයත් සෙතූබල් බොක්ක හා සෙතූබල් වරායත් පිහිටා තිබේ. පළාතේ ප්‍රධාන ගංගාව වන ටේගස් ගංගාවෙන් උතුරු භාගයත් දකුණු භාගයත් එකිනෙකට වෙනස් වූ භූ කොටස් දෙකක් වශයෙන් හැඳින්විය හැකිය. දොඩම් හා මිදි සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන සෙතූබල් වටා වූ ප්‍රදේශය හැරුණු විට දකුණු භාගය අලේන්තේෂූ පළාත මෙන් දෙණි බිමක ස්වභාවය උසුලයි.

එස්ට්‍රමඩුරා පළාත මුල දී ලුසිටේනියා නම් රෝමානු පළාතේ කොටසක්ව පැවැතිණි. එවක එය හැඳින්වුණේ ෆෙලිසිටාස් ජුල්‍යා යන නාමයෙනි. 569 වැන්නේ දී මුවර්වරුන් විසින් ආක්‍රමණය කරන ලද මෙපෙදෙස 715 සිට 1147 දක්වා ඔවුන් යටතෙහි තිබිණි. ඉන් පසු පෘතුගාලයේ බර්ගන්ඩියන් රාජවංශයේ රජවරු තම ආධිපත්‍යය ටේගස් නදිය තෙක් පැතිරවූහ. පෘතුගාලයේ අගනුවර ක්වීම්බ්රා නගරයෙන් ලිස්බන් නගරයට මාරුවත් ම එස්ට්‍රමඩුරා ප්‍රදේශයේ ඉතිහාසය පෘතුගාලයේ ඉතිහාසය හා අනන්‍ය විය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එස්ට්‍රමඩුරා&oldid=11362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි