එස්තර්
සිංහල විශ්වකෝෂය වෙතින්
12:33, 1 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ශුද්ධ වූ බයිබලයේ පරණ ගිවිසුමේ සතළොස්වන පොත මේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ශුද්ධ වූ බයිබලයේ පරණ ගිවිසුමේ සතළොස්වන පොත මේ නමින් හැඳින්වේ. ඒ පොතෙන් කියැවෙන කථාව එස්තර් නමැති යුදෙව් ජාතික කාන්තාවක හා සම්බන්ධය. ඇයගේ විශිෂ්ට රූපශ්රීයෙහි ඇලුණු අහසුවේරස් නමැති පර්සියානු රජ ඇය තම අගමෙහෙසිය බවට පත් කරගත්තේය. ඒ රජු යටතේ උච්චතම පදවිය දැරූ හාමාන් එරටවැසි යුදෙව්වන් වනසා දැමීම සඳහා උපක්රමයක් යොදා එය ක්රියාවෙහි යෙදවීමට සූදානම් ව සිටිය දී එස්තර් බිසවගේත් ඇය ඇති දැඩි කළ ඇයගේ මාමා වූ මෝර්දෙකයි නමැත්තාගේත් උත්සාහයෙන් එය වළක්වා ලන ලදි. හාමාන් සහ ඔහුගේ පුත්රයන් දසදෙනා ද යුදෙව්වන්ට වෛර කළ බොහෝ දෙනෙක් ද ජීවිතක්ෂයට පත් කරනු ලැබූහ. ‘පූරීම්’ නමැති උත්සවය ආරම්භ වූයේ ද මේ ජයග්රහණය සිහිවීම පිණිසය. මේ කථා පුවත විස්තර වන එස්තර්ගේ පොත ක්රිස්තු පූර්ව 150 තරම් මෑත කාලයකට අයත් වූවක් සේ ඇතැම් විචාරකයෝ සලකත්.
(සංස්කරණය: 1974)