එස්තෝනියාව

සිංහල විශ්වකෝෂය වෙතින්
13:23, 1 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඊසාන දිග යුරෝපයේ සමාජවාදී සෝවියට් බෝල්ටික් ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඊසාන දිග යුරෝපයේ සමාජවාදී සෝවියට් බෝල්ටික් සමූහාණ්ඩු රාජ්‍යයන්ගෙන් එකකි. උතුරින් ෆින්ලන්ත මුහුද ද දකුණින් ලැට්වියාව ද නැගෙනහිරින් පයිපුස් විල ද බටහිරින් බෝල්ටික් මුහුද ද මෙම රාජ්‍යයේ මායිම්ය. මහාද්වීපික භූමි ඛණ්ඩය හැර බෝල්ටික් මුහුදේ පිහිටි කොදෙව් 800ක් පමණ මෙයට ඇතුළත්ය. කුඩා ම බෝල්ටික් සමූහාණ්ඩු රාජ්‍යය වූ මෙය ව.සැ. 17,413 (ව.කි.මි. 45,100)ක් විශාලය. එස්තෝනියාව සෝවියට් මහා දේශයේ සාමාජික රාජ්‍යයකි.

එස්තෝනියාවට අයත් භූමි ප්‍රදේශය ප්ලයිස්ටොසීන හිම යුගයේ දී බොහෝ සෙයින් ඛාදනය වී ඇත. එම කාලයේ දී තැන්පත් වූ මොරේන හා හිම ඛාදනය නිසා ඇති වූ විල් එස්තෝනියානු භූමියෙහි සුලභව දක්නට ලැබේ. උතුරුදිග එස්තෝනියාවෙහි සිලූරිය භූ ලක්ෂණ ඇත. දකුණු එස්තෝනියාවේ උස්බිම් ඩෙවෝනියන් සමයේ පර්වත කාරක භූචලන නිසා ඇති වී යැයි සලකනු ලැබේ. දකුණු දිග පෙදෙස මුහුදු මට්ටමේ සිට අඩි 500කට වඩා උස් නොවේ. බටහිර හා උතුරු දිග එස්තෝනියාව පහත් බිම් වශයෙන් හැඳින්විය හැකිය. මෙරට උස් ම මුදුන අඩි 1,040කට වඩා ඉහළට නොනඟී.

එස්තෝනියාවේ විල් ආශ්‍රිත කුඩා ගංගා බොහෝ වුව ද එයින් වඩා ම වැදගත් ලෙස සැලකිය හැක්කේ නාර්වා ගඟය. ගැඹුරින් අඩු වූ මේ ගංගාවන්හි හිම සරත් කාලයේ දී දිය වන විට මහා ගංවතුර ඇති වේ. අක්ෂාංශය අනුව සලකන විට මධ්‍යස්ථ මහාද්වීපික දේශගුණයක් බලපවත්වන මෙහි ශීත ඍතුව ඉතා ශීතලය. වැඩි වශයෙන් වර්ෂාව ලැබෙනුයේ ග්‍රීෂ්ම ඍතුවේ දීය. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 24ක් පමණ වේ. ශීත ඍතුවේ දී සියලු ම ගංගාවල හා විල්වල දිය මිදේ. ග්‍රීෂ්ම ඍතුවේ (ජූලි මාසයේ) උෂ්ණත්වය 60° සිට 63° දක්වා වේ.

එස්තෝනියාවේ ස්වාභාවික වෘක්ෂලතා කේතුධර වර්ගයට අයත්ය. මෙම කැළෑ ආශ්‍රිතව දැව කර්මාන්තය දියුණු වී ඇත. මේ හැර මෙම කැළෑවල වෙසෙන සතුන්ගෙන් ලබාගන්නා ලොම්වලින් කෙරෙන සිනිඳු ලොම් කර්මාන්තය ද වන පෙදෙස් ආශ්‍රිතව දියුණු වී තිබේ. එස්තෝනියාවෙන් ලැබෙන ප්‍රධාන ඛනිජ වර්ගය තෙල්ය. පොස්පේට් ද සෑහෙන ප්‍රමාණයක් ලැබේ. දේශගුණය කෘෂිකාර්මික කටයුතුවලට එතරම් හිතකර නොවුව ද බාර්ලි, රයි ආදී ධාන්‍ය වර්ග ද අර්තාපල් හා හණ ද මෙහි සරුවට වවනු ලැබේ. ගැමි ජනයාගෙන් සියයට හැත්තෑවක් පමණ ගොවීහුය. එහෙත් කෘෂිකර්ම කටයුතු සඳහා යොදා ඇත්තේ එස්තෝනියානු භූමියෙන් සියයට 30ක් පමණි. සමුපකාර ව්‍යාපාරය හා සාමූහික ගොවිපළවල් නිසා මෙහි කෘෂිකාර්මික කටයුතු ඉතා දියුණුය. බෝග වර්ග වගා කිරීම හැර ගවයන්, බැටළුවන්, ඌරන්, අශ්වයන් හා කුකුළන් ඇති කිරීම ද එස්තෝනියානු ජනයාගේ ජීවනෝපාය වේ.

දැව කර්මාන්තය හා මසුන් මැරීම ද දියුණුව කෙරෙන මෙහි බටර්, කඩදාසි, සිමෙන්ති, ගිනිකූරු, ලෝම සහ කපු පිළී නිපදවන කම්හල් රාශියක් ඇත. ගල්තාර (පීට්) පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා ගොවි උපකරණ ද එස්තෝනියාවේ කම්හල් කීපයක නිපදවනු ලැබේ. ටාලින්හි පිහිටි ‘වෝල්ටා’ කර්මාන්තශාලාව විදුලිබල යන්ත්‍ර තැනීම ගැන ප්‍රසිද්ධය. 1945න් පසු කර්මාන්ත අතින් ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති මෙරට නිෂ්පාදනයන්ගේ වටිනාකමින් 80%ක් කාර්මික නිෂ්පාදන වුවත් ජනගහනයෙන් වැඩි කොටසක රැකියාව කෘෂිකර්මාන්තයයි.

එස්තෝනියාවේ ජනගහනය (1955) 1,196,791කි. මින් 88%ක් පමණ එස්තෝනියානු ජනයාය. සෙසු කොටස රුසියානු, ෆින්, යුදෙව් ආදි ජාතීන්ගෙන් සෑදි ඇත. අගනුවර වූ ටාලින්හි ජනගහනය (1967) 340,000කි.

ඉතිහාසය

ෆිනෝ-උග්‍රියානු පවුලට අයත් ජාතියක් වන එස්තෝනියානුන් ගැන කිතුවසින් ප්‍රථම ශතවර්ෂයෙහි මුල්වරට සඳහන් වෙයි. එදා ටැසිටස් ‘ජර්මානියා’ නම් කෘතියෙහි ‘එස්ති’ නමින් හඳුන්වා ඇති මොවුන් ගොවිකමින් රැකුණු බව දැක්වේ. 9 වන සියවසේ මධ්‍ය භාගයේ දී වයිකිංවරු එස්තෝනියාව ආක්‍රමණය කළහ. අනතුරුව ඩේන් හා ස්වීඩ් ජාතිකයන් කලක් ම මෙරට ක්‍රිස්තියානි සමයට හැරවීමට ගත් තැත අසාර්ථක විය. 12 වන සියවසට ප්‍රථම රුසියානුන් මෙහි සිය ආධිපත්‍යය පිහිටුවීමට ගත් වෑයම ද නිෂ්ඵල විය. 12 වන සියවසේ දී ජර්මන් ආක්‍රමණ හමුවේ එස්තෝනියානුන් පරාජිත වීමෙන් 1217 දී උතුරු එස්තෝනියාව හා කොදෙව් සමූහය හැර සෙසු ප්‍රදේශය ජර්මන් වර්ගයා අතට පත් විය. ඉක්බිති දසවසක් තුළ ජර්මන්, ස්වීඩ් හා ඩේන් යුද ව්‍යාපාරවලට ගොදුරු වූ මෙරට සම්පූර්ණයෙන් ම විදේශීයයන්ගේ ග්‍රහණයට හසු විය. 1237 වන විට ලිවෝනියාව හෙවත් දකුණු එස්තෝනියාව හා ලැට්වියාව ට්‍යුටොනික් (ජර්මන්) ක්‍රිස්තියානි රදල නිකායට ද උතුරු එස්තෝනියාව හා කොදෙව් ඩේන්වරුන්ට ද අයත්ව පැවතිණ. 1345 දී ඇති වූ පෙරළි නිසා ඩේන්වරු උතුරු එස්තෝනියාවේ තම අයිතිය ට්‍යුටොනික් ක්‍රිස්තියානි රදල නිකායට විකිණීමෙන් එම රදල නිකාය මුළු රටේ ම ආධිපත්‍යයට පත් විය.

1558 දී උතුරු එස්තෝනියාව ස්වීඩනයේ රජුට අයත් වූ නමුත් මොස්කව්හි සාර් වූ ‘ග්‍රොස්නි’ (භීෂණ) යන අපරනාමයෙන් හැඳින්වුණු ඉවාන් IV එම වර්ෂයේ සිට ම එපෙදෙසට බලවත් හානි පමුණුවමින් එය ආක්‍රමණය කරන්නට විය. මෙම රුසියානු ප්‍රහාර බිඳ හෙළන ලද්දේ 1581 දීය. මේ අතර 1561 දී යටකී ට්‍යුටොනික් රදල නිකාය බිඳී ගොස් ලිවෝනියා ප්‍රදේශය පෝලන්තය සතු විය. අනතුරුව 1629 දී ඇති වූ යුද්ධ සමාදානයේ දී පෝලන්තය තම අයිතිය ස්වීඩනයට පවරා දුන්නේය.

1709 දී රුසියාවේ පිටර් I අධිරාජයා ස්වීඩන් රජු පරදවා ලිවෝනියාව අල්ලා ගත්තේය. ඉක්බිති 1721 දී න්‍යස්තද් ගිවිසුමෙන් ස්වීඩනය තම බෝල්ටික් අයිතිවාසිකම් සියල්ල රුසියාවට පැවරීමෙන් රුසියන් අයිතිය තහවුරු විය. එසේ වුව ද බෝල්ටික් රදලවරු එස්තෝනියානු ගොවීන් පාගාගෙන සිටීමෙහි සමත් වූහ. 1804 සිට ක්‍රමයෙන් එස්තෝනියානු ගොවීන්ගේ තත්වය නඟාලන දේපොළ හා කෘෂි නීති පැනවෙන්නට විය. විසිවන සියවස උදාවන විට එස්තෝනියානු ජාතික හැඟීම් ඉස්මතුව පැවති අතර කෘෂිකාර්මික හා කර්මාන්ත සංවර්ධනය නිසා රටේ සෞභාග්‍යවත්භාවයක් ද දක්නා ලදි. 1917 බොල්ෂෙවික් විප්ලව සමයේ දී මෙහි ද බලවත් කැළඹීම් ඇති විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එස්තෝනියාව නිදහස් රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශ කැරිණි. 1917 දෙසැම්බර්හි සිට කොමියුනිස්ට් රජයක් යටතේ පැවති එස්තෝනියාවට 1918 පෙබරවාරි මාසයේ දී (I වන ලෝක සංග්‍රාම සමයේ දී) ජර්මන් හමුදා කඩාවැදුණහ. ජර්මනිය එම මහා යුද්ධයෙන් පැරදීම නිසා එස්තෝනියානු තාවකාලික රජය ටාලින් නගරයෙහි දී මුණ ගැසී යළිත් නිදහස ප්‍රකාශ කෙළේය. මේ සමග ම වාගේ රතුහමුදා එරට ආක්‍රමණය කෙළෙන් එස්තෝනියානු රජය ෆින්ලන්තයේ ද ආධාර ලැබ ඔවුනට ප්‍රතිප්‍රහාර එල්ල කෙළේය. 1920 දී තාර්තු ගිවිසුමෙන් රුසියාව එස්තෝනියාවේ ස්වාධීනතාව පිළිගත්තේය. මෙතැන් සිට 1933 දක්වා මෙහි අල්පායුෂ්ක ආණ්ඩු විස්සක් පැවැත්තේය. 1933 දී බලයට පත් එරට විමුක්ති සටනේ පුරෝගාමී කොන්ස්ටන්ටින් පැට්ස් සුභසාධක ආඥාදායක පාලනයක් ගෙන ගියේය. 1935 දී ඔහු සාවුරුදු කාලයකට එරට ජනාධිපති පදවියට තේරුණේය.

දෙවන ජගත් සංග්‍රාම සමයේ දී 1940 අගෝස්තු මාසයේ එස්තෝනියානු ජනරජය සෝවියට් සමුහාණ්ඩු සංගමයට ඈඳන ලදි. අනතුරුව 1941 දී නාට්සි හමුදා විසින් එහි සිටි රුසියානු බළසේනා පලවා හැර එරට ඔවුන් යටතට ගන්නා ලදි. 1944 දී යළිත් සෝවියට් හමුදාවෝ අගනුවර වූ ටාලින් අයත් කර ගත්හ. 1940 පටන් සෝවියට් සමූහාණ්ඩු සංගමයේ 15 වන සමූහාණ්ඩුව වශයෙන් සැලකෙන එස්තෝනියාව පාලනය වනුයේ එම සංගමයේ කොටසක් වශයෙනි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එස්තෝනියාව&oldid=11365" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි