ඇඹිලිපිටිය

සිංහල විශ්වකෝෂය වෙතින්
13:18, 3 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සබරගමු පළාතේ කොලොන්නා කෝරළයෙහි අම්බලන්තොට-පැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සබරගමු පළාතේ කොලොන්නා කෝරළයෙහි අම්බලන්තොට-පැල්මඩුල්ල පාරේ අම්බලන්තොට සිට සැ. 22, 1/2ක් වයඹ දිගින් පිහිටි කඩමණ්ඩියක් සහිත ගමකි. බටහිරින් රක්වාන කඳුකරයෙන් ද උතුරින් රත්නපුර හා හපුතලේ පෙදෙස් ආශ්‍රිතව පිහිටි කඳුකරයෙන් ද වට වී ඇති තිඹොල්කැටිය ප්‍රදේශයෙහි ප්‍රධාන ග්‍රාමය මේ යැයි කිව හැකිය. දිවයිනෙහි නිරිත දිග තෙත් කලාපය හා ගිනිකොන දිග වියළි කලාපය අතර සීමාවෙහි පිහිටි ඇඹිලිපිටියට නුදුරුව වලවේ ගඟ හා එහි අතු ගංගා කීපයක් ගලා බස්නා හෙයින් මේ ස්ථානය එම ප්‍රදේශයේ වාරිමාර්ග කටයුතු හා ගොවි ජනපද ආශ්‍රිතව ප්‍රසිද්ධියක් ලබා ඇත. දැනට ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය මගින් වැඩ අරඹා ඇති උඩවලවේ වාරිමාර්ග සංවර්ධන ව්‍යාපාරයේ මධ්‍යස්ථානය ඇඹිලිපිටියය. කොලොන්නේ සිට පනාමුරේ හරහා ඇඹිලිපිටියට පාරක් ඇත. උඩවලවේ ජලාශය සඳහා ඉදි කෙරෙන වේල්ල නිම වූ විට ඒ ඔස්සේ තණමල්විල දක්වා ඉදි කරගෙන යන මහා මාර්ගයේ වැඩ කටයුතු ද නිම වනු ඇත. රෝහලක් හා තැපැල් කාර්යාලයක් ද දියපොට ගම්පත්තුවෙහි ගම්සභා කාර්යාලය ද ඇඹිලිපිටියෙහි පිහිටා ඇත. ඇඹිලිපිටි ප්‍රදේශයෙහි පුරාණ සිද්ධස්ථානයන්ගේ නටබුන් රාශියක් දක්නා ලැබේ. ජල පහසුකම් ඇති අවට බිම් වී වගාව සඳහා යොදා ඇත.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇඹිලිපිටිය&oldid=11384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි