ඇඹිල්ල
ඇඹිල්ල නමින් හැඳින්වෙන ශාක කිහිපයකි. ට්‍රයිමන්ගේ විස්තරයට අනුව එක් ඇඹිල්ල විශේෂයක් එම්බේලියා රිබේස් (Embelia ribes Burm f) ය. වැල් ඇඹිල්ල යන නාමයෙන් ද මේ විශේෂය හැඳින්වේ. ඇන්ටිඩෙස්මා ගෙසැඹිල්ල (Antidesma ghesaembilla Gaertn) හෙවත් බූ ඇඹිල්ල නමින් හැඳින්වෙන තවත් ඇඹිල්ල විශේෂයක් වෙයි. මෝරුස් අල්බා (Morus alba L.) නමැති ‘මල්බෙරි’ ශාකයටත් ඇඹිල්ල යන නාමය සමහරු ව්‍යවහාර කරති. මේ හැර තවත් ඇඹිල්ල විශේෂ කීපයක් ද වේ.
එම්බේලියා රිබේස් ශාකය තරමක් ලොකු පඳුරකි. පාර්ශ්වික රිකිලි මගින් එය වෙනත් පඳුරු උඩට නඟියි. මේ රිකිලි පතනශීලය. එහෙත් ඒවායේ පාදස්ථ කොටස් නොවැටී කටු බවට හැරේ. ළපටි ශාඛාවන්ගේ පොත්තේ වා සිදුරු බහුලය. පත්‍ර නටු කෙටිය. අඟල් 4ක් පමණ දිග පත්‍රවල ප්‍රකටව පෙනෙන ග්‍රන්ථි බොහොමයක් වේ. මල් ඉතා කුඩාය. එහෙත් විශාල සංඛ්‍යාවක් මල් පිපේ. ඵලය ඉතා රතු පැහැති කුඩා බදරියකි. එය වියළි මුද්‍රිකඵලයකට සමානය. වියළි ඵල වළඟසාල් නමින් හැඳින්වේ. ඉන්දියාව, දකුණු චීනය හා මලයාව ආදී ප්‍රදේශවලත් මේ ශාකය වැවේ. මේ ඇඹිල්ල විශේෂය මර්සිනාසේ (Myrsinaceae) කුලයට අයත්ය.
ඉන්දියාව, මලයාව, චීනය, ඕස්ට්‍රේලියාව යනාදි රටවල වැවෙන බූ ඇඹිල්ල කුඩා ගසකි. එහි පොත්ත අළුපාටය. රිකිලි හා ළපටි කොටස් බූ සහිතය. කොළ අඟල් 2 සිට 3 දක්වා දිගය. කුඩා රතුපාට මල් ඒකලිංගිකය. කෙටි අග්‍රස්ථ ශුකි මලින් ගහනය. ඵල ඉතා කුඩාය; සිනිඳුය; දම්පාටය; තරමක් ඇඹුල් රසය. එහෙත් ඒවා රුචිකරය. මේ ශාකයට දී තිබෙන ගෙසැඹිල්ල යන විශේෂ නාමය ගස් ඇඹිල්ල යන්නෙන් සාදා ගත්තකි. බූ ඇඹිල්ල යුපෝබියාසේ (Euphorbiaceae) කුලයට අයත් ශාකයකි.
මෝරුස් අල්බා නමැති ඇඹිල්ල සාමාන්‍යයෙන් සෞම්‍ය ප්‍රදේශවල වැවෙන, ඵල දරන අලංකාර ශාකයකි. මල් ඒකලිංගිකය. ඒකගෘහී හෝ ද්විගෘහී හෝ විය හැකිය. එල්ලෙන කුඩා කක්ෂීය පුච්ඡවල ඒවා දක්නට ලැබේ. සමූහ ඵලය මාංසලය; කෑමට සුදුසුය. මේ ශාකයේ කොළ පටපණුවන්ගේ ආහාරය සඳහා ගනු ලැබේ. මෙය මොරාසේ කුලයට අයත් ශාකයකි.
ආයුර්වේද මතය
වළඟසාල් බ.
(සංස්කරණය: 1967)