ඔක්ස්ෆඩ් ව්‍යාපාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:56, 6 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('එංගලන්ත සභාවේ ආයතන හා වන්දනමානන විධි කාලාන්ත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

එංගලන්ත සභාවේ ආයතන හා වන්දනමානන විධි කාලාන්තරයක් මුළුල්ලේ අඛණ්ඩව පැවත එන බවට තිබුණු විශ්වාසය නැත්තට ම නැතිව යනු දුටු ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ කුඩා පූජක පිරිසක් විසින් එකී විශ්වාසය පුනරුත්ථාපනය කරන අටියෙන් විලියම් IV රජු දවස අරඹන ලද ක්‍රිස්තියානි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මෙනමින් හැඳින්වේ. මීට මුල පුරන ලද්දේ අයර්ලන්තයේ බිෂොප් තනතුරු දහයක් අහෝසි කරමින් 1833 දී ප්‍රකාශයට පත් කැරුණු පනතකට විරුද්ධව ජෝන් කීබල් නම් සුප්‍රකට පූජකයකු ‘ජාතික ස්වධර්මභ්‍රෂ්ටත්වය’ (National Apostasy) යන මැයින් ඔක්ස්ෆඩ්හි දී පවත්වන්නට යෙදුණු දේශනාවකිනි. එහි පරමාර්ථය වූයේ උදාසීන ලෞකික බලධාරීන්ගෙන් සභාවට පැමිණිය හැකි උපද්‍රව සම්බන්ධයෙන් මහජනයා අවදි කරලීමයි. එම වර්ෂයේ දී ම සභාවේ ඉගැන්වීම්වල හා ප්‍රතිපත්තිවල ඓතිහාසික පදනම පිළිබඳව ලියැවෙන්නට වූ ‘කාලෝචිත පත්‍රිකා’ (Tracts for the Times) නම් ලිපි පෙළක පළමුවැන්න පළ විය. මෙම පත්‍රිකා ප්‍රධාන වශයෙන් ලියන ලද්දේ ජේ.එච්. නිව්මන් (පසුව - කාඩිනල් නිව්මන්), ජෝන් කීබල්. ඊ.බී. ප්‍යුසි, අයිසෙක් විලියම්ස් හා ආර්.එච්. ෆ්රූඩ් යන පූජකවරුන් විසිනි. පත්‍රිකාවල ප්‍රකාශිත ධර්මය මුල් සභාවේ ඉගැන්වීම් මත පදනම් වුව ද එය සමකාලීන පූජකවරුන්ට ප්‍රිය නොවූයෙන් බලවත් වාදවිවාදවලට තුඩු දුන්නේය. ඔක්ස්ෆඩ් ව්‍යාපාරයේ නායකයන් රෝමානු කතෝලික සභාවේ පිළිවෙත් එංගලන්ත සභාවට රිංගවීමට මාන බලන බවක් පෙනීයෑම විරෝධය වඩාත් උග්‍රවීමට හේතු විය. එංගලන්ත සභාවට ස්වකීය ‘කතෝලික' ස්වභාව ආපසු ලබාගත හැක්කේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ අරමුණින් නිව්මන් දේවගැතිතුමා විසින් ලියන ලද අංක 90 දරන පත්‍රිකාවට විරුද්ධව බලවත් උද්ඝෝෂණයක් පැන නැඟිණ. මේ අවධියේ දී එංගලන්ත සභාවේ පූජකවරු බොහෝදෙනා ඉරිදා දේවමෙහෙය පැවැත්වීමෙන් පමණක් තෘප්තියට පත්ව සිටියහ. ඔවුන් යළි ආධ්‍යාත්මික ගුණධර්ම පුරුදු කරමින්, දේවවාක්‍යය හා සභාවේ ඉතිහාසය මැනවින් අවබෝධ කොටගෙන දැහැමි ජීවිතයක් ගත කරන පිරිසක් වනු දැකීම නිව්මන්ගේ බලවත් අභිලාෂය විය. රෝමානු සභාවේ දුෂණවලටත් එවක එංගලන්ත සභාවේ පැවති උකටලී ස්වභාවටත් පහර දෙමින් ඔහු පැවැත්වූ දේශනා ඇසීමට මහජනයා එක්රොක් වූහ. එහෙත් එංගලන්ත සභාව ඵෙතිහාසික වශයෙන් නියම සභාව බව ඔප්පු කරන අදහසින් නිව්මන් ඉතිහාසයෙන් ගෙන හැර පෑ තමන්ගේ ම ඇතැම් තර්ක හේතුකොටගෙන ඔහු සිත් තුළ තම විශ්වාසය ගැන සැක පහළ වන්නට විය. කෙළවර 1845 දී නිව්මන් ප්‍රමුඛ කිහිප දෙනකු රෝමානු සභාව වැලඳ ගත් විට ඔක්ස්ෆඩ් ව්‍යාපාරය තරමක අපකීර්තියට පත් විය. එහෙත් ව්‍යාපාරයට විරුද්ධව කෙරුණු ප්‍රබල උද්ඝෝෂණ මධ්‍යයේ ම ආදර්ශවත් ජීවිත ගත කරමින් දෘඪතර අධිෂ්ඨානයෙන් යුක්තව අලුත් පූජක පරම්පරාවක් ද ඇති කළ ඔක්ස්ෆඩ් ව්‍යාපාරයේ නායකයෝ 19 වන සියවසේ දෙවන භාගයේ දී එංගලන්ත සභාවේ ස්වරූපය මුළුමනින් ම වාගේ වෙනස් කරලීමට සමත් වූහ. ව්‍යාපාරයේ ප්‍රතිඵල අතර ආගමික ජීවිතයට නව පණක් දීම, දේවධර්මය හා ආගමික ඉතිහාසය ඉගෙනීමෙහි උනන්දුවක් ඇතිකරලීම, යටත් විජිතයන්හි මිෂනාරි කටයුතු සඳහා රුකුල් දීම, රටේ මහා කාර්මික නගරවල හා වරායවල වැඩ කළ ජනයා අතර මෙන් ම ලන්ඩන් නුවර මුඩුක්කුවල වාසය කළවුන් අතර ද ආගම ධර්මය පැතිරවීම යන මේවා විශේෂයෙන් සඳහන් කළ මනායි.

(සංස්කරණය: 1974)