ඔරිගන්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:49, 8 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Oregon). ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ වයඹ දිග පිහි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Oregon). ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ වයඹ දිග පිහිටි ප්‍රදේශ රාජ්‍යයකි. උත්තර අක්ෂාංශ 42° සහ 46° 15´ ද බටහිර දේශාංශ 116° 45´ සහ 124° 30´ ද අතර පිහිටි එම රාජ්‍යයට උතුරෙන් වොෂිංටන් රාජ්‍යය හා කොලම්බියා නදියෙන් කොටසක් ද නැගෙනහිරින් අයිඩහෝ රාජ්‍යය සහ ස්නේක් ගඟෙන් කොටසක් ද දකුණින් කැලිෆෝනියා හා නෙවාඩා රාජ්‍ය ද බටහිරින් පැසිෆික් සාගරය ද මායිම් වේ. නැගෙනහිර සිට බටහිරට වැඩි ම දිග සැතපුම් 395ක් ද උතුරේ සිට දකුණට වැඩි ම පළල සැතපුම් 295ක් ද වූ මෙම රාජ්‍යය විශාලත්වයෙන් වර්ග සැතපුම් 96,981ක් පමණ වේ. මෙයින් ව.සැ. 733ක් පමණ ජලයෙන් වැසී තිබේ. මෙහි පැසිෆික් සාගර වෙරළ සැතපුම් 296ක් පමණ දිගය. අතීතයේ දී කොලම්බියා නදියට ව්‍යවහාර වූ ඔරිගන් යන නාමය පසු කාලයෙහි මේ රාජ්‍යය හැඳින්වීමට ද යොදන ලදැයි කියති. කලකට පෙර බීවර් නමැති සතුන්ගේ හම් මෙහි සුලභ වූ බැවින් මීට බීවර් රාජ්‍යය (බීවර් ස්ටේට්) යන නම ද ව්‍යවහාරයෙහි පවතී.

භූලක්ෂණ

ඔරිගන් රාජ්‍යය කන්කලු හඬින් කඩා හැලෙන්නාවූ සිය ගණන් දිය ඇලිවලින් ද විවිධ මත්ස්‍යයන්ගෙන් ගහන නදීන්ගෙන් ද ශෝභාමත්ය. මෙම රාජ්‍යය එකිනෙකට අසමාන විවිධ භූලක්ෂණවලින් යුත් ප්‍රදේශයකි. මෙහි දේශසීමා තුළ විශාල වනාන්තර ද උස් කඳු ද සමූහ වශයෙන් විහිදී යන ගංගා හා වියළි තැනිතලා ද වේ. කැස්කේඩ් කඳු පඞ්ක්තියෙන් බටහිර පෙදෙසෙහි සාරවත් තැනිතලා හා ඝන වනාන්තර ද ඇත. කඳුවලට නැගෙනහිරින් ඇති පෙදෙස වඩා වියළි ස්වභාවයකින් යුත් විවිධ දේශගුණ බලපවත්වන කොටසකි. රාජ්‍යයෙන් අඩක් පමණ වනාන්තරවලින් වැසී තිබේ. ස්වාභාවික නිර්මාණය අනුව මුළු රාජ්‍යය ම (1) වෙරළබඩ ප්‍රදේශය, (2) විලැමෙට් (Willamette) මිටියාවත, (3) කැස්කේඩ් කඳු පඞ්ක්තිය, (4) ක්ලැමත් (Klamath) කඳු ප්‍රදේශය, (5) කොලම්බියා-ඩේෂූට් (Deschutes) සානුව, (6) බ්ලූ-වොලෞවා (Wollowa) කඳු, (7) ස්නේක් ගඞ්ගාව ආශ්‍රිත ප්‍රදේශය, (8) ගිනිකොන දිග විල් ප්‍රදේශය වශයෙන් කොටස් අටකට බෙදිය හැකිය. (1) වෙරළබඩ ප්‍රදේශය පැසිෆික් වෙරළබඩ පෙදෙසෙන් හා ඉන් පිටිපස පිහිටි පහත් කඳු පෙළකින් සෑදී ඇත. කුඩා විල් හා වනාන්තර මෙහි බහුලය. කෝස්ට් රේන්ජ් කඳුකර ප්‍රදේශයේ උස අඩි 3000ත් 3500ත් අතරය. (2) විලැමෙට් මිටියාවත බටහිරින් කෝස්ට් රේන්ජ් වැටියටත් නැගෙනහිරින් කැස්කේඩ් කඳු පඞ්ක්තියටත් මැදිව පිහිටා ඇත. විලැමෙට් නදියෙන් පෝෂිත මෙම නිම්නය සාරවත් පසින් යුක්ත බැවින් කෘෂිකර්මය අතින් දියුණුය. (3) කැස්කේඩ් කඳු පඞ්ක්තිය විලැමෙට් මිටියාවතේ නැගෙනහිර සීමාවෙහි පිහිටා තිබේ. ඔරිගන්හි උස් ම කොටස මෙම පෙදෙසයි. මවුන්ට් හුඩ් (11,245´) උස් ම මුදුනයි. මවුන්ට් ජෙෆර්සන් (10,495´), ත්‍රී සිස්ටර්ස් (කඳු තුනේ උස් ම මුදුන 10.354´), මවුන්ට් තීල්සන් (9,178´) ආදිය ද මෙම කඳු පඞ්ක්තියට අයත්ය. දැව සම්පත් අතින් මේ ප්‍රදේශය අතිශයින් පොහොසත්ය. නැගෙනහිර දෙසට ඇති බෑවුම් ග්‍රීෂ්ම ඍතුවේ දී ගව බැටළු ආදි සතුන්ගේ ගොදුරු බිම් වශයෙන් ප්‍රයෝජනවත් වේ. (4) ක්ලැමත් කඳු ප්‍රදේශය පිහිටියේ කැස්කේඩ් කඳු පඞ්ක්තියෙන් බටහිරට විහිද ගිය කොටසෙහිය. රෝග් (Rogue) නදියෙන් එය දෙකකට බෙදේ. මෙහි ඇති තැනිතලා පලතුරු වගාවට හා වෙනත් ගොවිතැන්වලට යෝග්‍යය. (5) කොලම්බියා-ඩේෂූට් සානුව පිහිටියේ ඔරිගන්හි උතුරු මැද පෙදෙසෙහිය. දිරා ගිය ලාවා පසින් යුත් මෙපෙදෙස තිරිඟු වැවීමට යෝග්‍යය. (6) බ්ලූ-වොලෞවා කඳු ප්‍රදේශය රාජ්‍යයේ නැගෙනහිර දෙස පිහිටියේය. නරඹන්නන්ගේ සිත් ඇද ගන්නා පෙදෙසක් වූ මෙහි තැනිතලා බිම් කෙත්වතුවලින් ආඪ්‍යය. ඔරිගන්හි තිරිඟු නිපදවීම අතින් ප්‍රධාන තැන මෙපෙදෙසට හිමි වේ. (7) ස්නේක් ගඞ්ගාව ආශ්‍රිත ප්‍රදේශය බ්ලූ-වොලෞවා කඳු ප්‍රදේශයේ සිට රාජ්‍යයේ දකුණු සීමාව දක්වා විහිදී ගිය පටුබිම් තීරයයි. වැසි මඳ වූ මෙම ප්‍රදේශය ගවාදි සතුන්ගේ ගොදුරු බිම් වශයෙන් ප්‍රයෝජනවත් වේ. (8) මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ උස් වූ ගිනිකොන දිග විල් ප්‍රදේශය සානු ලක්ෂණ කොට ඇත. එතරම් උස් නොවූ කඳු පඞ්ක්ති කීපයකට මැදිව පිහිටි මෙය ද්‍රෝණියක ස්වරූපය ගනී. මෙහි ඇති ඇළ දොළ ආදිය වැල්ලට බී ගනු හෝ විල් කරා ගලා බසිනු හෝ විනා මුහුදට ගලා නොයයි. මේ ජලප්‍රවාහයන්ගෙන් බොහොමයක ජලය ලවණ රසයෙන් යුක්තය. කැස්කේඩ් කඳු පඞ්ක්තිය නිසා පැසිෆික් සාගරයේ තෙතමනය සහිත සුළං මේ ප්‍රදේශයට වැදීම වැළකී යන බැවින් මින් වැඩි කොටසක් කාන්තාරයක ස්වභාවය උසුලයි. ඇල්ෆැල්ෆා ද වෙනත් ගස් වර්ග කීපයක් ද මෙහි වැවේ.

දේශගුණය

ඔරිගන් දේශගුණ කලාප දෙකකට බෙදිය හැක. කැස්කේඩ් කඳු පඞ්ක්තියෙන් බටහිර හා නැගෙනහිර කලාප වශයෙනි. බටහිර ඔරිගන් ප්‍රදේශය කෙරෙහි ජැපෑන් කරන්ට් නමින් හැඳින්වෙන කළුදියවැල බලපවත්වන බැවින් එහි අධික ලෙස වෙනස් නොවන සෞම්‍ය දේශගුණයක් පවතී. එහි ග්‍රීෂ්ම ඍතුව ශීත ගුණයෙන් යුක්තය. ශීතඍතුව සෞම්‍යය. සාමාන්‍ය උෂ්ණත්වය පැ. 40°ත් 60°ත් අතරය. එම ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය අඟල් 60ක් පමණ වේ. කැස්කේඩ් කඳුවලින් බාධාවීම නිසා මුහුදු සුළං නොලැබෙන නැගෙනහිර ප්‍රදේශයේ ග්‍රීෂ්ම ඍතුව උෂ්ණාධිකය; ශීත ඍතුව ශීතාධිකය. වර්ෂාපතනය අඟල් 8ත් 22ත් අතරය. සාමාන්‍ය උෂ්ණත්වය පැ.42°ත් 55°ත් අතරය. උස් තැනිවල නිතර හිම පතන ඇති වේ.

ගංගා හා විල්

උතුරු දේශසීමාව දිගේ ගලායන කොලම්බියා නදිය ඔරිගන්හි ප්‍රධාන ගඞ්ගාවයි. එහි ප්‍රධාන අත්ත විලැමෙට්ය. මේ නදියෙහි මෙන් ම අතු ගඞ්ගාවෙහි ද නැව් යාත්‍රා කළ හැකිය. කොලම්බියා නදියෙන් හා එහි අතු ගඞ්ගාවලින් රාජ්‍යයේ ඇති ඉතා හොඳ ගොවිබිම්වලට ජල සම්පාදනය කෙරේ. මේ ගඞ්ගාවලින් ජලවිදුලිය නිපදවීමෙන් විශාල ප්‍රදේශයකට ආලෝකය සැපයීම හා යන්ත්‍ර ක්‍රියාකරවීම ද කෙරේ. ඩේෂූට්, ජෝන් ඩේ, විලැමෙට් හා ස්නේක් යන මේවා කොලම්බියා නදියේ අතු ගඞ්ගාය. රෝග්, අම්ප්ක්වා, කොකීල් (Coquille) ආදි ගඞගා සමූහයක් වෙරළබඩ කඳු පඞ්ක්තිය මැදින් ගලා ගොස් මුහුදට වැටේ. කුදු මහත් විල් ගණනක් ඔරිගන්හි ඇත. මේ අතුරෙන් ක්‍රේටර් විල හා ඒ අවට ප්‍රදේශය රාජ්‍යයෙහි ඇති අලංකාර දර්ශනීය ස්ථානවලින් එකකි. ගැඹුරෙන් අඩි 2000ක් පමණ වූ මෙහි ජලය නීලවර්ණයෙන් බැබළේ. මේ විලට දකුණෙන් පිහිටි අපර් ක්ලැමත් විල ද අතිශයින් දර්ශනීයය. ගිනිකොන පෙදෙසහි තන්හි තන්හි විල් බොහෝ ගණනක් දක්නට ලැබේ. එයින් බොහොමයක් ගැඹුරෙන් අඩුය. ජලය ලුණු රසයෙන් යුක්තය. ගිනිකොන දිග විල් පෙදෙසෙහි හා කොලම්බියා-ඩේෂූට් තැනිතලාවෙන් උතුරු පෙදෙසෙහි ද උණුදිය උල්පත් බොහෝ ගණනක් ඇත. මේ අතුරෙන් ඇනා ස්ප්‍රිංස්, රෝරිං ස්ප්‍රිංස් හා බොරැක්ස් හොට්ස්ප්‍රිංස් සුප්‍රසිද්ධය.

පස

පැසිෆික් වෙරළබඩ ප්‍රදේශයෙහි එළවලු වගාවට යෝග්‍ය වූ වැලි සහිත පස් හා ලෝම් පස් ද තැන්පත් වී ඇත. විලැමෙට්, රෝග්, අම්ප්ක්වා (Umpqua) ආදි නදී නිම්නයන්හි ගංවතුරෙන් රැස් වූ සාරවත් පස් තැන්පත් වී තිබේ. නැගෙනහිර ඔරිගන්හි විශාල ප්‍රදේශයක යමහල් ආශ්‍රිත පස් හා දිරාපත් වූ ලාවා පස් ද ඇත. ඒවා තිරිඟු වැවීමට යෝග්‍යය. එහෙත් දේශගුණය අනුව වාරිමාර්ග විරහිත ප්‍රදේශ කෘෂිකර්මයට හිතකර නොවේ.

වනාන්තර

ඔරිගන් රාජ්‍යයෙන් අඩකට කිට්ටු ප්‍රමාණයක් වනාන්තරවලින් වැසී තිබේ. මෙහි කඳු ආශ්‍රිත සදාහරිත වනාන්තරවලින් ලබාගන්නා දැවවලින් මහත් ධනයක් එරටට ලැබේ. ස්ප්රූස්, හෙම්ලොක්, ඩග්ලස් සහ වයිට් යන නම්වලින් හැඳින්වෙන ෆ’ර් ගස් ද සීඩර් හා ලාච් ද වෙරළ ආශ්‍රිත කඳු මුදුන්වල වැවේ. සිට්කා ස්ප්රූස් නමැති ගස මෙහි වැවෙන විශාලතම වෘක්ෂ විශේෂයයි. පොන්ඩෙරෝසා පයින්, වයිට් පයින්, ෂුගර් පයින් හා ජුනිපර් යන ගස් වර්ග සැමතැන ම වාගේ දක්නට ලැබේ. නිරිත දිශාව ජයන්ට් රෙඩ්වුඩ්, පෝට් ඕෆර්ඩ්, සීඩර් යන ගස් වැඩුණු වනාන්තරවලින් වැසී තිබේ. වෙරළබඩ කඳුපඞ්ක්තියෙහි හා විලැමෙට් තැනිතලාවෙහි රෙඩ් ඇල්ඩර් බහුල වශයෙන් වැවේ. වනාන්තරවලින් වැසී තිබෙන ප්‍රදේශය අක්කර තුන්කෝටියකට කිට්ටුය. ජාතික වනාන්තර හැටියට වෙන්කරන ලද වනාන්තර සංඛ්‍යාව 15කි. ඒවායේ කූඩාරම් තනා ගෙන විනෝද සුඛයෙන් කල්යැවීමට සුදුසු බිම් හා ක්‍රීඩාභූමි ද ඇත.

සත්ව ජීවිතය

කළුවලස්, වෘක, මුව, ගෝන, සිවල්, කොයෝට්, ගෝෆර්, ජැක්රැබිට් ආදි සත්තු රාශියක් මෙහි වනගතව වාසය කරති. ගව, එළු බැටළු, කුකුළු, තාරා, කළුකුම් ආදීහු ඇති කරනු ලැබෙත්.

ඛනිජ

ඔරිගන් ඛනිජ සම්පත් අතින් ද පොහොසත් රටකි. රන් රිදී, තඹ, ගල් අඟුරු, රසදිය, ඊයම්, තුත්තනාගම්, ක්‍රෝමයිට්, බෝක්සයිට්, මැංගනීස්, නිකල්, හුනුගල් හා විවිධ භාජන සෑදීමට ගන්නා මැටිවර්ග මෙහි පොළොවෙන් හාරා ගනු ලැබේ. ඛනිජ වර්ගවලින් අවුරුදු පතා රටට ලැබෙන ආදායම විශාලය.

කර්මාන්ත

ඔරිගන්හි ප්‍රධාන කර්මාන්තය දැව සකස් කිරීමයි. ආහාර සකස් කිරීම, කඩදාසි හා කඩදාසි පල්ප සෑදීම දෙවන තැන් ගනී. රාජ්‍යයේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති කර්මාන්තශාලාවල නිපදවන භාණ්ඩවලින් ද සැලකිය යුතු ආදායමක් ලැබේ. නැව් සෑදීම, ධාන්‍ය පිටි කිරීම, ලීබඩු සෑදීම, වෙඬරු හා කේජු සෑදීම, ලෝහභාණ්ඩ, රෙදිපිළී ආදිය නිපදවීම මෙහි කෙරෙන කර්මාන්තවලින් සමහරකි.

කෘෂිකර්මය

ඔරිගන්හි ගොවිබිම් 40,000කට අධික සංඛ්‍යාවක් ඇත. තිරිඟු, ඕට්,රයි, බාර්ලි, ලූනු, බෝංචි, මුං, අර්තාපල්, බීර පෙරිමට ගන්නා හොප්, සීනි බීට් හා හණ ද ඇපල්, මිදි, ප්ලම්, ඇප්‍රිකොට් ආදි පලතුරු වර්ග ද ඇල්ෆැල්ෆා හා වෙනත් තෘණ විශේෂ ද මෙහි වවනු ලැබේ. ගව, බැටළු, කුකුළු, ආදි සතුන් ඇති කිරීමෙන් ද කොලම්බියා, රෝග් ආදි ගඞ්ගාවලින් සැමන්, හෙරිං, ටූනා, ට්‍රෞට්, හැලිබට් ආදි මසුන් ඇල්ලීමෙන් ද විශාල ආදායමක් ලැබේ.

මංමාවත්

කැස්කේඩ් කඳුවලට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශය හැර අනිකුත් හැම පෙදෙසක් ම වාගේ දුම්රිය මාර්ගවලින් සම්බන්ධ කර තිබේ. දුම්රිය මාර්ගවල ප්‍රමාණය සැතපුම් 5,000කට අධිකය. බඩු හා මඟීන් ගෙනයාම සඳහා බස්රථ හා වෙනත් මෝටර් වාහන සේවයක් ද විවිධ ප්‍රදේශවලට යොදා තිබේ. මෙහි ඇති මනා ලෙස සකස් කළ පුළුල් මංමාවත්වල ප්‍රමාණය සැතැපුම් 62,000ක් පමණ වේ. ගුවන් සේවා මගින් ද මේ රාජ්‍යය වෙනත් රටවල් සමඟ සම්බන්ධ වී ඇත. ගුවන් තොටුපළවල් සංඛ්‍යාව 175කට අධිකය. මඟීන් හා බඩු එහා මෙහා ගෙනයාම සඳහා කොලම්බියා නදිය හා පැසිෆික් සාගරය ඉවහල් වේ. විලැමෙට් නදිය බඩ පිහිටි පෝට්ලන්ඩ් මෙහි ඇති විශාලතම නැව්තොටය. ලෝකයේ වෙනත් රටවල් සමඟ කැරෙන වෙළද ගනුදෙනු ආදියට සම්බන්ධ වන දුම් නැව් සමාගම් 50කට අධික සංඛ්‍යාවක් ඇත.

ජනයා

කලකට පෙර ඔරිගන් ප්‍රදේශය දහස් ගණන් ඉන්දියානු ජනයාගේ වාසභූමිය විය. 1805 දී කොලම්බියා නිම්නයේ 16,000ක් පමණ චිනුක් ඉන්දියානුවරු විසූහයි කියති. ඔවුන් ජීවිකා වෘත්තිය පිණිස කෙළේ කොලම්බියා නදියේ සැමන් මසුන් ඇල්ලීමයි. විලැමෙට් නිම්නය කුලපුයියා නමැති ඉන්දියානුවරුන්ට වාසභූමි විය. මේ හැර තව නොයෙකුත් ගෝත්‍රවලට අයත් ඉන්දියානු ජනයා විවිධ ප්‍රදේශවල විසූහ. 1950 දී ගන්නා ලද ජනලේඛනයට අනුව මෙහි සුදු මිනිසුන් 1,497,128ක් ද ඉන්දියානු ජනයා 5,820ක් ද නීග්‍රෝ ජනයා 11,529ක් ද ජපන් ජනයා 3,660ක් ද චීන ජනයා 2,102ක් ද වෙනත් ජනයා 1,102ක් ද සිටි බව පෙනේ. 1967 දී මෙහි ජනගහනය 1,999,000ක් විය.

නගර

මුළු රාජ්‍යය ම කවුන්ටි තිස් හයකට බෙදා තිබේ. මෙහි අගනුවර සේලම් (1960-49,142) ය. විශාලත්වයෙන් තුන්වන නගරය වූ මෙය ඔරිගන් රාජ්‍යයේ වයඹ දිග විලැමෙට් නදියබඩ පිහිටියේය. විලැමෙට් නිම්නයෙහි ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය වූයේ ද මෙනුවරය. මෙහි පලතුරු හා එළවළු ගොවිතැන් දියුණුය. විලැමෙට් විශ්වවිද්‍යාලය පිහිටියේ ද මෙහිය. ඔරිගන්හි විශාලතම නගරය වූ පෝට්ලන්ඩ් (1960-372,676) පිහිටියේ රාජ්‍යයේ වයඹ කෙළවරේ විලැමෙට් නදිය අසබඩය. මෙම නගරයේ ස්වාභාවික දර්ශනය කාගේත් සිත් ඇදගන්නාසුලුය. නැව්තැනීම, වස්ත්‍ර නිපදවීම හා දැව කර්මාන්තය මෙහි දියුණුය. විලැමෙට් නිම්නයේ පිහිටි යුජීන් (1960-50,977) විශාලත්වයෙන් දෙවන නගරයයි. ඔරිගන් විශ්වවිද්‍යාලය පිහිටියේ මෙහිය.

අධ්‍යාපනය

මෙහි ප්‍රථමයෙන් පිහිටුවන ලද පාසල වැන්කූවර්හි ඉන්දියානු ළමයින් සඳහා 1832 දී ඇති කරන ලද පාසලය. 1849 තරම් ඉහත දී නිදහස් මහජන පාසල් ක්‍රමය පිහිටිවිණි. එහෙත් උසස් පාඨශාලා ආරම්භ වූයේ 1900න් පසුය. ඔරිගන්හි පාසල් ක්‍රමය රාජ්‍ය අධ්‍යාපන මණ්ඩලය යටතේ පාලනය වේ. උසස් අධ්‍යාපනය සඳහා පවත්වාගෙන යන ආයතන කීපයක් රජයේ උසස් අධ්‍යාපන මණ්ඩලය මගින් පරිපාලනය කෙරේ. ඔරිගන් විශ්වවිද්‍යාලය, ඔරිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලය, විලැමෙට් විශ්වවිද්‍යාලය, හා පැසිෆික් විශ්වවිද්‍යාලය මෙහි ඇති විශ්වවිද්‍යාල කීපයකි.

ආණ්ඩුව

1859 පෙබරවාරි මස 14 වැනි දින මෙම රාජ්‍යය එක්සත් ජනපද රාජ්‍ය සංගමයට බැඳුණේය. එම වර්ෂයේ දී ම සම්මත කරගන්නා ලද ආණ්ඩුක්‍රමයක් දැනට මෙහි පවතී. ඒ අනුව ප්‍රධාන විධායක නිලධරයා ආණ්ඩුකාරයාය. ආණ්ඩුකාරයකු පත්කර ගැනීම සිව්වසකට වරක් කෙරේ. නොකඩවා අවුරුදු අටකට වැඩිකාලයක් සේවය කිරීමට ඔහුට නීතියෙන් ඉඩක් නැත. රාජ්‍යලේකම්, භාණ්ඩාගාරික, ඇටෝනි ජනරාල්, අධ්‍යාපන අධ්‍යක්ෂ, කම්කරු කොමසාරිස් යන මොව්හු වෙනත් විධායක නිලධාරීහුය. ව්‍යවස්ථාදායකය සෙනට් සභාවකින් හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විතය. සෙනට් සභාව සභිකයන් තිදෙනකුගෙන් යුක්තය. ඔවුන්ගේ සේවා කාලය අවුරුදු හතරකි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු 60 දෙනෙකි. සේවා කාලය අවුරුදු දෙකකි. අධිකරණය පිළිබඳ ප්‍රමුඛස්ථානය හිමි වන්නේ විනිශ්චයකාරයන් සත් දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයටය.

ඉතිහාසය

ඉතා ඈත අතීතයේ සිට ජනාවාසව පැවති හැටියට සලකනු ලබන මෙපෙදෙසට මුලින් ම යුරෝපීයයන් පැමිණෙන විට එහි සරු ගංමෝය පෙදෙස් ස්වදේශික ගම්වලින් ආකීර්ණව පැවැත්තේය. 16 වන සියවසේ මුල්භාගයේ පැසිෆික් සයුරේ යාත්‍රා කළ ස්පාඤ්ඤ නාවිකයෝ ඔරිගන් පෙදෙස දුටු ප්‍රථම යුරෝපීයයන් හැටියට සැලකෙත්. එහෙත් පළමුවෙන් ම ඔවුන් මෙහි ගොඩබටුයේ 1775 දීය. මේ ගෞරවය හිමි බ්රූනෝ එසෙතා (Heceta) ප්‍රමුඛ ස්පාඤ්ඤවරු තමන් ගොඩබට වයඹදිග වෙරළ පෙදෙස ස්පාඤ්ඤයට අයත් හැටියට ප්‍රකාශ කළහ. ජේම්ස් කුක් (1779) හා ජෝජ් වැන්කූවර් (1792) මෙහි ආ මුල් ඉංග්‍රීසි ජාතිකයෝයි. 1792 දී ඇමෙරිකානු ජාතික කපිතන් රොබට් ග්‍රේ කොලම්බියා නදිය සොයාගත් අතර පසුකල එම සිද්ධිය උඩ කොලම්බියා නදීබඩ ප්‍රදේශය ඇමෙරිකාවට අයත් හැටියට ප්‍රකාශ කරන ලදි.

නියම වශයෙන් ඔරිගන් ජනාවාස වීම ඇරඹුණේ 1811 දී ජෝන් ජේකබ් ඇස්ටර්ගේ ලෝම සමාගම ‘ඇස්ටෝරියා’ නම් ජනපදය පිහිටුවීමත් සමඟය. 1843 දී දහසක් පමණ ඇමෙරිකානුහු ගොඩබිමින් පැමිණ විලැමෙට් නිම්නයෙහි පදිංචි වූහ. මේ අතර 1819 දී ස්පාඤ්ඤය ෆ්ලොරිඩා ගිවිසුමෙන් ඔරිගන්හි සිය අයිතිවාසිකම් අත්හළේය. එහෙත් අයිතිවාසිකම් පිළිබඳ ඉංග්‍රීසි-ඇමෙරිකානු මත ගැටුම 1846 දක්වා ම පැවැත්තේය.

1848 දී ඔරිගන් ඉන්දියානාහි ආණ්ඩුකාරයා යටතේ පෙදෙසක් (territory) හැටියට සංවිධානය කෙරිණි. 1853 දී ඔරිගන් පෙදෙසින් වොෂිංටන් පෙදෙස වෙන් කිරීමෙන් වත්මන් ඔරිගන් මායිම් ස්ථාපිත විය. 1859 දී ඔරිගන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 33 වන ජනපදය වශයෙන් ඇතුළු කරගනු ලැබීය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔරිගන්&oldid=11399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි