එළාර

සිංහල විශ්වකෝෂය වෙතින්
14:56, 9 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ක්‍රි.පූ. 205-161). චෝල හෙවත් සොළී දේශයෙන් පැමිණ වර්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.පූ. 205-161). චෝල හෙවත් සොළී දේශයෙන් පැමිණ වර්ෂ 44ක් අනුරාධපුරයෙහි රජ කළ ද්‍රවිඩ නායකයෙකි. ද්‍රවිඩ වංශාධිපතියකු වූ හෙතෙම මහත් බලසෙන් ගෙන අසේල රජු දවස ලංකාව ආක්‍රමණය කොට එරජු මරා රාජ්‍යය පැහැර ගත්තේය.

මෙරජුගේ රාජ්‍යය දකුණින් මහවැලි ගඟ තෙක් පැතිර පැවති අතර මහවැලි ගඟින් එතෙර රුහුණු රටේ කාවන්තිස්ස රජුට අයත්ව පැවති භූමියෙහි පවා ඔහු කඳවුරු බැඳ ගෙන සිටි බවත් ගැමුණු රජු සිය රණ ප්‍රයාණය අරඹා මුලින් ම කෙළේ මහවැලි නදියේ රුහුණු පාර්ශ්වයේ වූ ද්‍රවිඩ බල කඳවුරුවලට පහරදීම බවත් ආචාර්ය පරණවිතානයෝ පෙන්වා දෙති. එළාරට සමකාලීනව රුහුණේ රාජ්‍යය කරමින් සිටියේ කාවන්තිස්සය (බ), කැළණිය, (මධ්‍යම කඳුකරයේ පිහිටියේ යැයි සැලකෙන) ගිරිනුවර, සේරු රාජ්‍යය (සේරුවාවිල) වැනි ප්‍රාදේශික රාජ්‍යයන් ද එකල පැවති බව ධාතුවංශයෙහි දැක්වේ.

සිය බලය තහවුරු කරගැනීම සඳහා එළාර දෙතිසක් බලකොටු බැඳවූ බව ග්‍රන්ථාගතය. එයින් විජිතපුර බලකොටුව ප්‍රධාන වූත් වඩා ම ශක්තිමත් වූත් මධ්‍යස්ථානය විය. රාජාවලියෙහි සඳහන් වන පරිදි ඔහු දශලක්ෂ අසූදහසක දෙමළ සේනාවක් පිරිවරාගෙන රාජ්‍යය කළේය.

එළාර රජු අපක්ෂපාතීව යුක්තිය ඉටු කළ රජකු හැටියට වංසකථා කතුවරයන්ගේ ප්‍රශංසාවට ලක් වී ඇත. මහාවංසයෙහි සඳහන් වී තිබෙන අයුරු වරක් පුත්‍ර ස්නේහය අභිභවා ඔහුගේ යුක්තිගරුකත්වය නැඟී සිටි අයුරු තම පුත්‍රයා හා එළදෙන පිළිබඳ කථාවෙන් පැහැදිලි වේ. රාජ්‍යයෙහි කවරකුහට වුව ද රජුගේ අවධානයට ලක් වී යුක්තිය ඉටු කරවා ගැනීමට හැකි වන පරිදි හෙතෙම සිය යහන් ගැබෙහි සීනුවක් එල්ලා තබා එයට සම්බන්ධ වූ දම්වැල පිටත තැබවීල. වරක් තමා ගමන් කරමින් සිටි රථය වැදීමෙන් ස්තූපයක කොටසක් කැඩීයාම ගැන පසුතැවිලි වූ මොහු බිම දිගා වී එම රථයෙන් ම සිය ගෙල කඳින් වෙන් කරන ලෙස ඇමතියනට අණ කළ බව ද බොදු ඇමතියන් කරුණු පහදා දුන් පසු කැඩුණු ගල් පසළොස බැඳ පිළිසකර කරනු පිණිස රජ කහවණු 15,000ක් වැය කළ බව ද මහාවංසයෙහි මෙන් ම ථූපවංසයෙහි ද පැවසේ. උපවාසයක යෙදීමෙන් නිසි කලට වැසි වැස්වීමට හෙතෙම සමත් වී යැයි ද තිරිසන් සතුන් පවා ඔහු ලවා යුක්තිය ඉටුකරවා ගැන්මට ඉදිරිපත් වූහයි ද සඳහන් වේ. මේවා අතිශයෝක්ති විය හැකි වුව ද ඒවායින් සිතාගත හැක්කේ පාලකයකු වශයෙන් එළාර කොතරම් සාධාරණ හා අපක්ෂපාතී වූයේ ද යන්නයි. මෙබඳු ජනප්‍රවාද චෝල රටෙහි මෙන් ම පාණ්ඩ්‍ය රටෙහි ද ප්‍රචලිතය. පෙරියපුරාණම් හා මණිමේඛලෙයි වැනි ග්‍රන්ථයන්හි එවැනි ජනප්‍රවාද අඩංගු වේ. යුක්තිගරුකත්වය අතින් එළාර ද්‍රවිඩ සාහිත්‍යයෙහි සඳහන් මනුචෝල හා සම කළ හැකිය.

හෙතෙම දැහැමි හින්දු භක්තිකයෙක් විය. පසුකාලීන වංසකථා වූ රාජාවලිය, පූජාවලිය හා ථූපවංසය යන ග්‍රන්ථයන්හි මොහු දක්වා තිබෙනුයේ බුදු සසුනෙහි සතුරකු ලෙසිනි. “අනුරාධපුර නුවර දෙවනපෑතිස් රජු බැඳි බොහෝ දාගැබ් බිඳ අධර්මයෙන් සූසාලිස් අවුරුද්දක් රාජ්‍යය කළේ යැයි” රාජාවලියෙහි දැක්වේ. “රුහුණ හැර ලක්දිව මුළුල්ලෙහි සසුන් නසා ... ” යනුවෙන් පූජාවලියේ සඳහන්ය. එහෙත් මහාවංසයෙහි සඳහන් වනුයේ මොහු අබෞද්ධ වුව ද බෞද්ධාගමික චාරිත්‍ර ඉටු කළ බවයි.

කාවන්තිස්ස රජු ඇවෑමෙන් මාගම රජ බවට පැමිණි දුටුගැමුණු කුමරා උතුරේ ද්‍රවිඩ ආධිපත්‍යයට එරෙහිව යුද්ධාරම්භ කෙළේය. අනුරාධපුරය දෙසට ගමන් කරමින්, තන්හි තන්හි තිබූ ද්‍රවිඩ බලකොටු බිඳලූ සිංහල සේනාව අවසානයේ දී විජිතපුර බලකොටුව ද ජයගත් ආකාරය මහාවංසයෙහි දැක්වේ. විජිතපුර බලකොටුව වැටීමෙන් පසු එළාර පර්වත නමැති ඇතු පිට නැඟී පලා යාමට තැත් කළ ද අනුරාධපුර නගරයෙහි දකුණු වාසල අසල දී දුටුගැමුණු ඔහුට මුහුණදීමෙන් එම තැන ව්‍යර්ථ විය. ගැමුණු කුමරා ද්වන්ද්ව යුද්ධයක් සඳහා කරන ලද තීරණාත්මක අභියෝගය පිළිගත් හෙතෙම සටනෙහි දී මිය ගියේය.

පරාජිත වී මිය ගිය ද්‍රවිඩ පාලකයාහට නිසි ගරුබුහුමන් කිරීමට ඉදිරිපත් වූ දුටුගැමුණු රජු මහත් රාජ සම්මාන සහිතව එළාරගේ අවමංගලෝත්සවය පවත්වා අනාගතයෙහි එතැන පසු කොට යන කිසිවකු ඇතුන් අසුන් මත හෝ දෝලාවල හෝ නැඟී නොයා යුතු යැයි ද හේවිසි ආදි බෙර වාදනය නොකළ යුතු යැයි ද කියැවෙන සෙල්ලිපියක් පිහිටුවූ බව මහාවංසයෙහි දැක්වේ. එළාරයන්ගේ භස්මාවශේෂ තැන්පත් කළ තැන ස්මාරකයක් ද පිහිටුවන ලදි. 1818 දී තරම් මෑත දී පවා පිළිමතලව්වේ දිසාව අනුරාධපුරය හරහා පලා යද්දී එම සොහොන් ස්මාරකය සමීපයෙහි දී පා ගමනින් ගිය බව කියැවේ.

මෑතක් වන තෙක් ම එළාර සොහොන යයි හඳුනාගෙන තිබුණේ දක්ඛිණ ථූපය බව පඬිවරුන් දැන් පිළිගත් මතයයි. එළාර සොහොන තව ම හඳුනාගෙන නැත. අනුරාධපුරයෙහි වත්මන් ආරෝග්‍යශාලාව පිහිටි භූමිභාගයෙහි මෙය පිහිටා තිබුණු සේ සැලකිය හැකි යයි සී.ඩබ්ලිව්. නිකලස් මහතා අදහස් කරයි.

ගතිපැවතුම්වලින් එළාර හා සමාන වූ එලේලසිංගම් නමැත්තකු පිළිබඳව ඉන්දියානු පුරාවෘත්තයන්හි සඳහන් වේ . මොහු කරිකාල නමැති චෝල රජුගේ වංශයෙහි ආදිතම පුරුෂයෙක් විය යනු එක්තරා මතයකි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එළාර&oldid=11400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි