එළුවන් ගැනීම

සිංහල විශ්වකෝෂය වෙතින්
15:43, 9 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වනිතාවන්ට විශේෂ වූ ක්‍රීඩාවක් මෙනමින් හැඳින්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වනිතාවන්ට විශේෂ වූ ක්‍රීඩාවක් මෙනමින් හැඳින්වේ. මෙම ක්‍රීඩාවේ දී ද විනෝදය වැඩීමට හේතු වන්නේ ගීත සංවාදයයි. තමාගේ නැති වූ එළුවන් සොයා එන එළුහිමියකු එළු පට්ටියක් හිමි තවත් කෙනකු කරා ගොස් තමාගේ එළුවන් ගැන අසා බැලීම මෙහි දි නාට්‍යාකාරයෙන් දැක්වේ. එළුපට්ටි හිමියා තමාගේ එළුවන් තමා පසුපස පෙළට සිටුවා කොළ අත්තක් හා කෝටුවක් රැගෙන එන එළුහිමියාට මුහුණ දෙයි. එළුරැළ එකිනෙකාගේ ඉඟටියෙන් තදින් අල්ලාගෙන පේළියක සිට එළුපට්ටි හිමියා සමඟ එක හඞින් එළුහිමියා අසන ප්‍රශ්නවලට ගීත ස්වරයෙන් පිළිතුරු දෙති.

එළුහිමියා “මගේ මෙතැන එළු පට්ටියක් අ‍ැතේ” යයි කියන විට එළුපට්ටි හිමියා හා එළුරැළ “තොපේ මෙතැන එළුපට්ටියක් නැතේ” යයි පිළිතුරු දෙති.

ඊළඟට එළුහිමියා,

“අර යන රතු එළු ම‍‍ගේ නොවේදෝ

අර යන කළු එළු ම‍ගේ නොවේදෝ

අර යන සුදු එළු මගේ නොවේදෝ” ආදි වශයෙන් අසන කල “ඒ යන එළු තොපට කොයින්දෝ” යයි පිළිතුරු ගයති.

තමාට එළුවන් අයිති වූ ආකාරය දක්වන එළුහිමියා,

“පණාව දීලා ගත් මගෙ එළුවා

හවරිය දීලා ගත් මගෙ එළුවා

වට්ටිය දීලා ගත් මගෙ එළුවා

ඉරගල දීලා ගත් මගෙ එළුවා

සඳගල දීලා ගත් මගෙ එළුවා

අප්පා දීලා ගත් මගෙ එළුවා” ආදි වශයෙන් කියයි. ඒ එක් එක් වැකියක් පාසා එළුපට්ටි හිමියා හා එළුරැළ,

“තොපට කොයින්දෝ අපගේ එළුවා” යයි පිළිතුරු දෙති.

එවිට එළුහිමියා “මැදින් කඩා ගනිම් ගනිම්” කියා අනතුරු හඟවයි. ඊට අවනත නොවන එළුපට්ටි හිමියා “මැදින් කඩා නොදෙම් නොදෙම්” කියයි. නැවතත් එළුහිමියා “කොනින් කඩා ගනිම් ගනිම්” යයි කියන විට “කොනින් කඩා නොදෙම් නොදෙම්” යයි පිළිතුරු ලැබෙයි.

මේ ආකාරයට එළුහිමියා එළුවන් ඇල්ලීමට දඟලන අතර පට්ටි හිමියා ඊට ඉඩ නොදී රකී. ඒ සමඟ නැවතත් “මැදින් කඩා ගනිම් ගනිම්” කියමින් ම එළුහිමියා පේළිය මැදට පැන කොළ අත්තෙන් එළුවන්ට ගසන අතර පේළියේ දෙකෙළවර එක් වී රවුමක් සෑදෙන්නට පෙර එළුවන් සියල්ලන්ට ගැසුව හොත් එළුහිමියා දිනයි. එළුහිමියා රවුම ඇතුළේ කොටු වුව හොත් පරාජය වේ. මේ ආකාරයට ක්‍රීඩාව දිගින් දිගට කරගෙන යා හැකිය.

ඉන්දියාවේ ගම්බදව කෙරෙන ක්‍රීඩාව මෙයින් වෙනස් වන්නේ එළුවන් වෙනුවට බැටළුවන් සිටීමෙනුත් එළුහිමියකු වෙනුවට කොටියකු පැමිණිමෙනුත් පමණි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එළුවන්_ගැනීම&oldid=11407" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි