ඔටුනු පට්ටලය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:07, 13 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිංහල රජුන් හිස පැලදි ඔටුන්න, නළල බැඳි රන් නළල...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල රජුන් හිස පැලදි ඔටුන්න, නළල බැඳි රන් නළල්පට, සිරුර පැලඳි සිවුසැටක් පමණ වූ අබරණ, දැරූ මඟුල් කඩුව, වැඩ හුන් සිහසුන ආදිය තැනුවෝ නවන්දන්නා (නවාම් දන්නා) යන නමින් හඳුන්වනු ලබන කුලයේ ශිල්පීහුය. මේ ශිල්පීන්ගේ සේවායතනයත් කර්මාන්තශාලාවත් ආභරණ පට්ටලය යන නමින් ද ඔවුන්ගේ ශ්‍රේණිය ‘පට්ටල වසම’ යන නමින් ද හැඳින්විණි. එහෙත් පසු කලෙක රාජකාරි පහසුව සඳහා එම ආයතනය ආභරණ පට්ටලය, ඔටුනු පට්ටලය, රන්කඩු පට්ටලය, සිංහාසන පට්ටලය යනු විසින් අංශ චතුෂ්කයකට බෙදනු ලැබිණි. මෙසේ මුල දී එකක් ව පැවැති රාජාභරණ පට්ටලය එවක් පටන් පොදු වශයෙන් ‘පට්ටල හතර’ යන සමූහවාචක නාමයෙන් හැඳින්වෙන්නට ද කාර්යකරණයෙහි ලා සතරක් වශයෙන් වෙන වෙන ම සැලැකෙන්නට ද විණි. මේ බෙදුම කවර කලෙක කිනම් රජකු විසින් කැරිණි ද යනු අවිනිශ්චිතය. එහෙත් ගම්පොළ මහවාසල ද පට්ටල හතර පැවතිණැයි උඩරට ඇතැම් ශිල්පාචාරීන්ට ලැබී ඇති සන්නස් තුඩපත් ආදි පුරාණ ලේඛනයන්ගෙන් සිතාගත හැකියි. මෙහි එක් එක් පට්ටලය එක් එක් ශිල්පී ජ්‍යෙෂ්ඨයකුගේ පාලනය යටතේ පැවැත්විණි. මේ පාලක ශිල්පී ජ්‍යෙෂ්ඨයා ‘මූලාචාරී’ යන නමින් හැඳින්විණි. පට්ටල හතර වසමක් වශයෙන් එකක් ම විය. එහි සාමාන්‍ය අධිකාරි රජුගේ දියවඩන නිලමේ විය.

මේ පට්ටල හතරේ වැඩ කළ ශිල්පීන් අතරේ කිසි ම පන්ති භේදයෙක් නොවීය. ඔහු හැම සමාන කුල පරම්පරා ඇති අය වූ හෙයිනි. එහෙයින් අවශ්‍යතා අනුව එක් පට්ටලයෙකින් අනෙක් පට්ටලයකට මාරු කිරීමට හෝ මාරුවීමට හෝ කිසිදු බාධාවෙක් නොතිබිණි. එහෙත් රාජපරිභෝගයට කැරුණු ඔටුන්න, ආභරණ, සිංහාසනය හා කඩුව තැනීමේ වරප්‍රසාදය තුබුණේ නවන්දන්නා කුලයේ සිරිත් පරම්පරා නමින් හැඳින්වුණු එක්තරා පරම්පරා ගණයෙකින් පැවැත ආ ශිල්පීනට පමණෙකි. මේ රාජාභරණ ආදිය තැනීමේ දී පිළිපැදිය යුතු ශිල්පීය උපදේශ හා සිරිත් විරිත් සමූහයෙකි. ඒ හැම ‘වෛජයන්ත තන්ත්‍ර’ නම් ශිල්පශාස්ත්‍ර ග්‍රන්ථයෙහි සවිස්තරව දැක්වේ. ඒ හැම සිරිත් ගුරු ඇසුරෙන් දත් ශිල්පී පරම්පරා තෙළෙසක් පුරාතනයේ විය. ඒයැ සිරිත් පරම්පරා නම් වූයේ. රජ මැදුරේ පට්ටල හතරේ වැඩට ශිල්පීන් තෝරා ගනු ලැබුණේ එම පරම්පරාවලිනි.

මහනුවර රජමැදුරේ සිරියහන් ගැබ හැඳින්වුණේ ‘මහ හැතැපෙන ගේ’ යන නමිනි. එය හා අනුබද්ධ වූ ‘හළුමණ්ඩපේ’ යැ ‘මහ උල්පැන්ගේ’ යැ යන කොටස් දෙකක් ද විය. මෙයින් සිරියහන් ගැබ මහ හැතැපෙන ගේ මුහන්දිරම් නිලමේ නම් නිලධාරියකුගේ ද හළුමණ්ඩපේ හළුවඩන නිලමේ නම් නිලධාරියකුගේ ද උල්පැන්ගේ දියවඩන නිලමේ නම් නිලධාරියකුගේ ද භාරේ විය. රජුගේ දෛනික පරිභෝගයට ගත් සළුපිළී අබරණ ආදිය හළුමණ්ඩපේත් උත්සව දිනයන්හි හැඳිපැලැඳි සළුපිළී අබරණ ආදිය උල්පැන්ගෙහිත් තබන ලද පෙට්ටගම්වල ලා රැකිණි. මේ පෙට්ටගම් භාර මහ අරමුදලේ ලේකම්වරු දෙදෙනකු සිටිය ද ඒ විවෘත කළ හැකි වූයේ හළුවඩන නිලමේත් දියවඩන නිලමේත් අභිමුඛයෙහි දී පමණෙකි. මේ පෙට්ටගම් විවෘත කරන වේලාවේ පට්ටල හතරේ මූලාචාරීන් ද එහි වියැ යුතු විය. පට්ටල හතර පිහිටුවා තුබුණේත් හළුමණ්ඩපේටත් උල්පැන්ගේටත් යාවයැ.

ඔටුනු පට්ටලේ ශිල්පීන්ට අයිති ප්‍රධාන කාර්යය වූයේ රජු පැලැඳි ඔටුනු, නළල්පට, උෂ්ණීෂ පට්ටය යන ශීර්ෂාභරණ තැනීමත් තොප්පිහළුවේ කළ යුතු මිණිකම්, රන්කම් ආදිය කිරීමත් එම ශීර්ෂාභරණ රජුගේ පරිභෝගයට සුදුසු තරමේ ඔප මට්ටමින් තැබීමත්යැ. මේ සඳහා එහි අධ්‍යක්ෂ මූලාචාරියා යටතේ රන්කරුවන් හා මැණික් සැට්ටරුන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නිරන්තරයෙන් ම මහවාසල රඳවාගනු ලැබිණි. ඔවුන්ගේ දිවෙලට යෙදෙන පමණ ගම්බිම් රජුගෙන් ලැබී තුබුණු හෙයින් ඔවුන්ට ආර්ථික වශයෙන් කිසිදු හිඟ පාඩුවෙක් නොවිණි.

ඔටුනු පට්ටලේට රජුන්ගෙන් ලැබී ඇති ගම් අතුරෙන් ප්‍රධාන තැන ලැබෙන්නේ පාතදුම්බර මඩවල නම් ගමටයි. මහනුවර-මාතලේ පාරේ වත්තේගමට නුදුරුව පිහිටි මේ ගම අදත් ස්වර්ණකාරයන්ගේ කේන්ද්‍රස්ථානයෙකි. මේ ගම කෝට්ටේ වැජැඹි සවැනි පැරකුම්බා මහරජු විසින් පැරැණි සිරිත් පරපුරෙකින් පැවැත ආ සිද්දාවුල්ලේ පරමනාය නමැති ආචාරියකුට නින්දගම් කොට දෙන ලද්දකි. මහනුවර පළමුවැනි විමලධර්මසූර්ය රජු පටන් නරේන්ද්‍රසිංහ රජු දක්වා වැජඹි සිංහල රජුනට ඔටුනු තැනුවෝ මේ මඩවල ගමෙහි හෝ එය හා සම්බන්ධ අයගම, අයත්නාව ආදි අනෙක් ගම්වල උපන් ආචාරීහු වෙති.

මහනුවර කෞතුකාගාරයෙන් සොරුන් පැහැර ගෙන විනාශ කළ රාජසිංහ ඔටුන්නේ ආකෘතියක් ජනරජ දිනයෙහි දී රජයට පිරිනැමිණි. මේ ආකෘතිය කෙළේ ද මඩවල ගමේ ශිල්පී පරපුරෙකින් පැවැත එන සිගාමණී (ශිඛාමණි) මුදලිහාමි නමැති සුප්‍රකට ශිල්පියෙකි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔටුනු_පට්ටලය&oldid=11415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි