ඔරිජන්

සිංහල විශ්වකෝෂය වෙතින්
12:41, 13 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ඔරිජින්-Origen) (185 ?-254 ?). ක්‍රිස්තියානි දේවධර්මධරය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ඔරිජින්-Origen) (185 ?-254 ?). ක්‍රිස්තියානි දේවධර්මධරයකු හා දර්ශනවාදියකු වූ මෙතෙමේ පුරාණ ක්‍රිස්තියානි දේවධර්මධරයන් අතුරෙහි සාන්ත අගොස්තීනු (සාන්ත අගොස්තීනු බ.) හැරුණු විට ප්‍රබලතමයා වශයෙන් සලකනු ලැබේ. ස්වකීය ග්‍රන්ථ, දේශනා හා තපෝව්‍රත හේතුකොටගෙන හෙතෙම විශේෂයෙන් ප්‍රකට වූයේය.

ඇලෙක්සැන්ඩ්රියාවේ උපත ලදැයි සැලකෙන ඔරිජන් ග්‍රීක විද්‍යා හා ක්‍රිස්තියානි දේවධර්මය ඉගැන්වූ ආදිතම විද්‍යාස්ථානය වූ කතිසාරු පාසලේ දී අධ්‍යාපනය ලද්දේය. 202 වැන්නේ දී ජීවනෝපාය සඳහා ගුරු වෘත්තියට බට හෙතෙම ඊළඟ වර්ෂයේ දී කතිසාරු පාසලේ ප්‍රධාන ධුරයට පත්කරනු ලැබීය. ප්ලේටෝවාදීන්ගේත් ස්ටොයිකවාදීන්ගේත් පෛතගොරස්වාදීන්ගේත් ග්‍රන්ථ පරිසමාප්ත වශයෙන් හැදෑරූ ඔරිජන් දෘඪ තවුස් දිවියක් ගත කළේය. තම පියාත් වෙනත් බොහෝ ක්‍රිස්තුභක්තිකයනුත් ආගම වෙනුවෙන් මරණයට කැපවීම ඔහු තවුස් දිවියට වඩාත් පොළඹවාලූ කරුණක් විය. හෙතෙම විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ කන්ද උඩ දේශනාවත් ස්ටොයිකවාදී සිද්ධාන්තත් මාර්ගෝපදේශ කොටගත්තේය. ක්‍රිස්තියානි ධර්මග්‍රන්ථ විචාරයෙහි යෙදුණු ඔරිජන් හේබ්‍රෙව් පරණ තෙස්තමේන්තුව ග්‍රීකබසට පෙරළා ඒ පිළිබඳ අටුවා ද සම්පාදනය කොට ප්‍රකාශයට පත් කෙළේය. ග්‍රීක දර්ශනය හා හේබ්‍රෙව් ශුද්ධ ලියවිලි අතර කඩින්කඩ වශයෙන් එතෙක් පැවති සංශ්ලේෂණය ක්‍රමවත් බවට පත් කෙළේ ඔරිජන් යයි සලකනු ලැබේ. නව ප්ලේටොනිකවාදයේ ආදිකර්තෘ ලෙස බොහෝ දෙන සලකන ඇමෝනියස් සක්කාස්ගේ ශිෂ්‍යයකු වූ මෙතෙම එක්වර ම ප්ලේටොනික, ස්ටොයික, නවපෛතගොරියානු හා ඥෙයවාදී මත දැරූ නමුත් ක්‍රිස්තියානි දේවධර්ම ශාස්ත්‍රඥයකු වශයෙන් සිටිමින් ම ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට පහර දෙමින් සෙල්සස් (Celsus) නමැත්තා ලියා තිබූ කෘතියට පිළිතුරු වශයෙන් ක්‍රිස්තියානි ඉගැන්වීම් හුවා දක්වා ‘සෙල්සස්ට විරුද්ධව’ නමින් ඔහුගේ විශාලතම ග්‍රන්ථය කෙළේය.

දෙවියන්වහන්සේ හැර සම්පූර්ණයෙන් අශාරීරික වූ කිසිවකු හෝ කිසිවක් නැතැයි ඉගැන්නූ හේ උන්වහන්සේ යාවේ නොව සියලු දැයෙහි ම ප්‍රථම මූලධර්මය යයි ද ක්‍රිස්තුස්වහන්සේ අලුත් ගිවිසුමේ විස්තර කැරෙන මිනිස් පුද්ගලයා නොව ලෝකය සංවිධානය කරන ‘ලොගොස්’ (Logos) හෙවත් තර්කබුද්ධිය යයි ද එහෙයින් එතුමා පියාණන් වූ දෙවියන්වහන්සේ විසින් නිර්මාපිත යයි ද උන්වහන්සේට යටත් යයි ද පැවසීය.

“ස්වර්ගරාජ්‍යය නිසා තමන් ම නපුංසකයන් කරගන්නා වූ නපුංසකයෝ ද ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේ යයි කීසේක” යන ශුද්ධ බයිබල් පාඨය (මතෙව් xix, 12) වචනාර්ථයෙන් ගෙන කාමාශාවෙන් වැළකී සිටීම පිණිස මුෂ්කහරණය කර ගැනීම නිසා ඇලෙක්සැන්ඩ්රියාවේ බිෂොප්වරයා වූ ඩෙමිට්‍රීයස් ඔහු පූජකත්වයට ඇතුළු කොට නොගත්තේය. අනතුරුව ඔහු සංචාරයේ යෙදී සිටිද්දී පලස්තීන බිෂොප්වරුන් දෙදෙනකුන් විසින් ඔහුට පූජකවරය දෙන ලදි.

මෙය ඇලෙක්සැන්ඩ්රියානු බිෂොප්වරයාගේ බලතල බිඳ හෙළීමක් ලෙස සැලකූ බිෂොප්වරයා ධර්මාධිකරණයක් රැස්කොට ඔරිජන් ඇලෙක්සැන්ඩ්රියාවෙන් පිටුවහල් කිරීමට තීරණය කළේය. එපමණක් නොව, බිෂොප්වරුන්ගෙන් පමණක් සමන්විත දෙවෙනි ධර්මාධිකරණයක් රැස්කොට ඔරිජන්ගේ පූජක තත්වය අවලංගු කරන ලදි. ඉක්බිති ඔහු සීසරියාවේ පදිංචි වී ප්‍රබල අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළ බවත් ඔහු සංවිධානය කළ අධ්‍යාපන පරිපාටිය පෙරදිග පුරා පතළ වී ගිය බවත් පැවසේ. ඔරිජන් ආචාර්යවරයා 254 වැන්නෙහි ටයර්හි දී මරුමුවට පත් වූ බව විශ්වාස කරනු ලැබේ.

මොහු විසින් ලියන ලද බයිබලය පිළිබඳ විචාර පූර්ණ සංස්කරණය වූ ෂට්ක පුස්තකය (The Hexapla) විචාර ග්‍රන්ථ ඉතිහාසයෙහි ලා ඉතා ප්‍රකටය. ඔරිජන්ගේ දේවධර්ම න්‍යාය De principiis (මූලධර්ම ගැන) නම් ග්‍රන්ථයෙහි දක්වා තිබේ. විශ්වය පිළිබඳ ක්‍රිස්තියානි මතය ග්‍රීක චින්තනයට අනුරූප වන බව දක්වනු වස් ග්‍රීක දර්ශනයේ මූලධර්ම, විශේෂයෙන් නවප්ලේටොනිකවාදයේ හා ස්ටොයිකවාදයේ මූලධර්ම ක්‍රිස්තියානි ආගම හා සාහිත්‍යය සමඟ සංකලනය කිරීමට හෙතෙම ප්‍රයත්න දැරීය. ක්‍රිස්තියානි විරෝධී වෛතුල්‍ය මත සතරක් දැරීම ගැන ඔරිජන් චෝදනා ලැබීය. ඒවා නම්:

1. ප්ලේටෝ ඉගැන්නූ ආත්මයන්ගේ පූර්ව පැවැත්ම,

2. මාංසවත්වීමට පූර්වයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍ය ස්වභාවය පමණක් නොව උන්වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය ද පැවැත්තේය යන මතය,

3. මළවුන්ගෙන් නැඟිටීමේ දී අපගේ ශරීර කේවල ආකාශජ (ethereal) ශරීර බවට පරිවර්තනය වීම,

4. සියලු මිනිසුන් පමණක් නොව යක්ෂයන් පවා අන්තිමේ දී ගැළවීම ලැබීම යන මේයි.

මෙම වෛතුල්‍ය මත දැරීම නිසා ක්‍රි.ව. 533 දී කොන්ස්තන්තිනෝපල්හි (ආගමික) කවුන්සලය මගින් ඔරිජන් ක්‍රිස්තියානි විරෝධී ශාප ලද්දකු හැටියට ප්‍රකාශ කැරිණ. එහෙත් ඉන්පසුත් සියවස් ගණනාවක් ක්‍රිස්තියානි පඬිවරු ඔහුගේ ග්‍රන්ථ ගුරුතන්හි තබා ඇසුරු කළහ. හුදු භක්තියක් වශයෙන් එතෙක් පැවති ක්‍රිස්තු ධර්මය අංගසම්පූර්ණ දර්ශනයක් බවට පත් වූයේ ඔරිජන්ගෙන් පසුව යයි සලකනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔරිජන්&oldid=11417" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි