ඇරගනයිට්
මෙය කැල්සියම් කාබනේට්වලින් (Ca CO3) සංයුක්ත වී ඇති ඛනිජයකි. ප්‍රථම වරට ස්පාඤ්ඤයේ ඇරගන් පළාතේ තිබී හඳුනාගත් හෙයින් මෙම ඛනිජය ඇරගනයිට් වශයෙන් නම් කරනු ලැබීය.
මෙය රසායනික වශයෙන් කැල්සයිට් නම් වූ ඛනිජයට සමාන වුව ද ස්ඵටිකීකරණය අනුව ඊට වෙනස්ය. ඇරගනයිට්වල ස්ඵටිකීකරණය විෂමලම්බාක්ෂය (orthorhombic); ස්ඵටික සූචිරූපීය (acicular). පිටපිට ම දෙබිඩි වීමෙන් ව්‍යාජ-ෂඩස්‍ර ස්ඵටික මඬුලු ඇති වේ. සුදු, කහ, අළු, දම් හා නිර්වර්ණ ඇරගනයිට් ඇත. පාරදෘශ්‍ය ඇරගනයිට් විශේෂ මෙන් ම පාරභාසක විශේෂ ද තිබේ. කවර විශේෂයක වුව ද කාච ප්‍රභාවක් ඇත. මෙම ඛනිජයෙහි තද බව 3.5- 4කි. විශිෂ්ට ගුරුත්ව 2.93-2.95කි. කවර ඇරගනයිට් විශේෂයක් වුව ද හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙහි ද්‍රාව්‍යය. සෙ. 80°-100° දක්වා වූ උෂ්ණත්වයක් මෙම ඛනිජයේ පැවැත්මට අවශ්‍යය. අස්ථායී ඛනිජයක් හෙයින් මෙය උෂ්ණත්වය අඩු වැඩි වීම සමඟ වෙනත් ඛනිජ බවට පරිවර්තනය වේ; විශේෂයෙන් ම කැල්සයිට් බවට පත් වේ. ස්වාභාවික ඇරගනයිට් නිධි පොළොව මතුපිටට ආසන්නව උෂ්ණත්වය අධික නොවූ ස්ථානයන්හි උණු දිය උල්පත් අවට මිදී පවත්නා ද්‍රව්‍යයක් වශයෙන් ද සමහර ගුහා තුළ ස්ටැලක්ටයිට් ආශ්‍රිතව ද දක්නට ලැබේ. සමහර කවචයන්ගේ කටු තුළ ඓන්ද්‍රීය ස්‍රාවයන්ගෙන් හටගන්නා ඇරගනයිට් විශේෂ ද ඇත. යුරෝපය, බොලිවියාව හා ඇ.එ.ජ. රාජ්‍යයෙහි අයෝවා, මිසූරි, පෙන්සිල්වේනියා, ඇරිසෝනා, කොලරාඩෝ යන ජනපද ද ස්වාභාවික ඇරගනයිට් නිධි පවත්නා ප්‍රදේශ වශයෙන් වැදගත්ය.
(සංස්කරණය: 1967)