ඇරබෙස්ක්

සිංහල විශ්වකෝෂය වෙතින්
14:23, 14 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Arabesque). සිතුවම්වල හෝ අපෝන්නත කැටයම්වල යොදනු ලබන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Arabesque). සිතුවම්වල හෝ අපෝන්නත කැටයම්වල යොදනු ලබන සංකීර්ණ වූ රේඛාමය සැරසිලි ක්‍රමයකි. ‘ඇරබෙස්ක්’ යනුවෙන් ‘අරාබි’ හෝ ‘අරාබි විලාසය’ යන අදහස ගෙන දේ. මෙයින් ඇරබෙස්ක් මෝස්තරයන්ගේ ප්‍රභවස්ථානය අරාබිය වී යයි හැඟෙතත් එය එසේ නොවේ. අලංකාර ලෙසත් නිදහස් ලෙසත් මල්, කොළ, අතුරිකිලි ආදිය විෂය කොටගෙන ඒවා එකිනෙකට සම්බන්ධ වන සේ රිත්මානුකූල රේඛාවන් මගින් නිමවන හැම සැරසිල්ලක් ම ‘ඇරබෙස්ක්’ නාමයෙන් හැඳින්වේ. මිනිස්, පක්ෂි, සිවුපා, උරග, මත්ස්‍ය ආදීන්ගේ ආකෘතීහු ද ඇරබෙස්ක් සැරසිලි සඳහා විෂය කොටගනු ලැබෙති.

විද්‍යානවෝදය යුගයේ කලා ශිල්පීන් විසින් මෙම සැරසිලි ක්‍රමය උපදවා ගන්නා ලද්දේ ග්‍රීක-රෝම කෘතීන් අනුගමනය කිරීමෙනි. රෝමයේ පැරණි මාළිගා හා පොම්පේ නුවර පැරණි නිවාසස්ථාන අගනා ඇරබෙස්ක් සැරසිලිවලින් ගහනය. රාෆායෙල් (බ.), රෝමානෝ ආදි චිත්‍ර ශිල්පීහු මෙම සැරසිලි මෝස්තර ඇඳීමෙහි ඉමහත් ප්‍රසිද්ධියක් ඉසුලූහ. වතිකානු සහ පාලාත්සෝ දෙල් තේ (Palazzo del Te) යන මාළිගයන්හි ඔවුන්ගේ විශිෂ්ට කෘති දක්නා ලැබේ. වර්තමානයෙහි රිත්මානුකූල රේඛාවන් මගින් නිමවූ සියලු ම විසිතුරු මාලාකර්මවලට හා ලතාකර්මවලට ‘ඇරබෙස්ක්’ යන නාමය යෙදේ. අරාබි ජාතිකයන්ගේ සැරසිලි මෝස්තර හඳුන්වනු ලබනුයේ ‘මෝරෙස්ක්’ (Moresque) යන නාමයෙනි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇරබෙස්ක්&oldid=11425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි