ඇරියන්

සිංහල විශ්වකෝෂය වෙතින්
12:08, 15 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ෆ්ලේවියස් ඇරියේනස්). (ක්‍රි.ව. 96-180 පමණ). ග්‍රීක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ෆ්ලේවියස් ඇරියේනස්). (ක්‍රි.ව. 96-180 පමණ). ග්‍රීක ඉතිහාසඥයකු හා දර්ශනවාදියකු වූ මොහු හේඩ්රියන් අධිරාජයාගේ රාජ්‍ය සමයෙහි ජීවත් වූවෙකි. ඇරියන් බිතිනියාහි නිකොමීඩියාවේ වැදගත් පවුලකට අයත් විය. නිකොපොලිස්හි එපික්ටේටස් නම් දර්ශනවාදියා යටතේ දර්ශනය හැදෑරූ ඇරියන් ඔහුගේ දේශනයන් පසුව ලියා ප්‍රසිද්ධ කළේය. එපික්ටේටස් මොහුගේ ගුරුවරයා මෙන් ම මිතුරා ද විය. පසු කලෙක රෝමයට ගිය ඇරියන්ට හේඩ්රියන් අධිරාජයා යටතේ දීප්තිමත් කාලපරිච්ජේදයක් උදා විය. අලානි ජාතිකයන්ට විරුද්ධව කළ යුද්ධයේ දී දක්ෂ ලෙස හමුදා මෙහෙයවීමෙන් මොහු විශේෂ සම්මානයට පාත්‍ර විය. තුන්වැනි සිය වසට පෙර, ප්‍රථම පෙළේ රෝම හමුදා මෙහෙයවීම ග්‍රීකයකුට පැවරුණු මුල් වතාව මෙයයි. 131 සිට 137 දක්වා හේඩ්රියන් අධිරාජයා යටතේ කැපඩෝසියාවේ ආණ්ඩුකාර පදවිය දැරූ ඇරියන් පසු කාලයේ දී ඇතන්ස් පුරයෙහි පදිංචි විය. 147-148 කාලයේ දී හෙතෙම එම පුරයෙහි ‘ආර්කන්’ (පාලක) පදවිය ද දැරීය. ඇරියන් තම අවසාන කාලපරිච්ජේදය මව්බිම වූ නිකොමීඩියාවෙහි ගෙවීය.

මහා ඇලෙක්සැන්ඩර් රජුගේ රණකාමී ජීවිතය ගැන අද අපට ලැබී ඇති ඉතා ම පිළිගත හැකි සම්පූර්ණ ග්‍රන්ථය ලියන ලද්දේ ඇරියන් විසිනි. ඔහු විසින් කරන ලද කෘතීන් අතුරෙන් ඉතා ම උසස් කෘතිය හැටියට සැලකෙනුයේ ද ‘ඇලෙක්සැන්ඩර්ගේ රණ ප්‍රයාණය’ (Anabasis of Alexander) නම් වූ ග්‍රන්ථයයි. තම මව්රට ගැන හා පාර්තියානු යුද්ධ ගැන ද ඔහු ලිවූ ග්‍රන්ථ අද අවිද්‍යමානය.

ඉන්දියාව පිළිබඳව ඔහු ලිවූ ‘ඉන්ඩිකා’ නම් කෘතිය ද ‘අලානිවරුන්ට විරුද්ධ යුද ව්‍යාපාරය’, ‘කළු මුහුද වටා සමුද්‍ර යාත්‍රාව’ (Periplus of the Euxine) නම් කෘතීහු ද අවශිෂ්ටව පවත්නා ඔහුගේ ග්‍රන්ථවලින් සමහරකි. ‘රතු මුහුද වටා සමුද්‍ර යාත්‍රාව’ (Periplus of the Erythrean Sea) නම් සුප්‍රසිද්ධ කෘතියේ කර්තෘත්වය සමහරුන් ඇරියන්ට ආරෝපණය කරතත් එය පසු කාලයකට අයත්ය යනු බොහෝ ඉතිහාසඥයන්ගේ මතයයි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇරියන්&oldid=11433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි