ඇරිසෝනා

සිංහල විශ්වකෝෂය වෙතින්
13:43, 15 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(කුඩා උල්පත). ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නිර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(කුඩා උල්පත). ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නිරිත දිගින් පිහිටි ජනපදයකි. මෙය බටහිරින් කැලිෆෝනියා සහ නෙවාඩා, උතුරින් යූටා, නැගෙනහිරින් නිව් මෙක්සිකෝ යන ජනපදවලින් ද දකුණින් මෙක්සිකෝ සමූහාණ්ඩු රාජ්‍යයෙන් ද සීමා වී තිබේ. මෙහි බටහිර සීමාව කොලරාඩෝ ගඟයි. මෙය ‘ග්රෑන්ඩ් කැනියම් ජනපදය’, ‘අපැචි ජනපදය’ සහ ‘තඹ ජනපදය’ යනුවෙන් ද ප්‍රකටය.

ඇරිසෝනාව ව.සැ. 113,909ක් විශාලය. ගංගාවලට සහ විල්වලට යටව පවත්නා බිම් ප්‍රදේශය ව.සැ. 334කි. විශාලත්වයෙන් එක්සත් ජනපද රාජ්‍යයේ පස්වැනි තැන උසුලන එය කෝරළ 14කින් සමන්විතයි. වැඩි වශයෙන් කඳු ප්‍රදේශයක් වන ඇරිසෝනාවෙන් හතරෙන් තුන් පංගුවක් පමණ අඩි 3,000කට වඩා උසය. මෙහි උතුරෙහි අඩි 5,000-10,000 දක්වා උස් වූ කොලොරාඩෝ සානුව ද දකුණෙහි අඩි 500-700 දක්වා උස් වූ සැන් ෆ්‍රැන්සිස්කෝ සානුව ද පිහිටා ඇත්තේය. ඉතා වියළි වූ මේ සානු ප්‍රදේශය ප්‍රපාතාකාර ඉවුරු ඇති, ගැඹුරු, පටු ගංගා නිම්නවලින් හෙවත් කැනියම්වලින් කඩ කඩ වී තිබේ. සැතපුම් 280ක් දික් වූ ද ඇතැම් තන්හි සැතැපුමක් පමණ ගැඹුරු වූ ද ලෝක ප්‍රසිද්ධ ග්රෑන්ඩ් කැනියම (Grand Canyon) පිහිටා ඇත්තේ මෙහි වයඹ දිගිනි. එයට උතුරින් මළ ගිනිකඳු කුළු 160ක් පමණ ඇත. සැන් ෆ්‍රැන්සිස්කෝ සානුව එබඳු ශිඛර සිය ගණනකින් ද ලාවා පසින් ද යුක්තයි. නිරිත දිග ප්‍රදේශයෙහි උසින් අඩි 2,000ට අඩු ‘හීලා’ කාන්තාරය පිහිටා තිබේ. අග්නි දිග ඇරිසෝනාව ඉහත සඳහන් වූ ප්‍රදේශ පමණ වියළි නොවූ, කඳුවැටි සහ අන්තරනිම්න සහිත සාරවත් පළාතකි. පිනා ලේනෝ සහ වයිට් කඳු මෙහි ඇති ප්‍රධාන උස් බිම්ය. සැන් ෆ්‍රැන්සිස්කෝ වැටියෙහි පිහිටි හම්ෆ්‍රිස් (12,611’) සහ ඇගාසි (12,340') ඇරිසෝනාවේ උස ම ශිඛර වේ. බෝල්ඩ්, ග්‍රීන්ස් සහ ග්‍රෙහැම් යන ශිඛර ද උසින් අඩි 10,000ට අධිකය. කොලරාඩෝ ගඟ ඇරිසෝනාවේ ප්‍රධාන ගඟයි. මෙහි ව’ජින්, කුඩා කොලරාඩෝ හා විලියම්ස් යන උතුරු අතු ගංගා ද දකුණෙහි ව’ඩි හා සෝල්ට් යන අතු සහිත හීලා (ජීලා) අතු ගංගාව ද වෙයි. මේ නිම්නය දෙසට දකුණින් ගලන සැන්ටා ක්‍රෑස් ගඟ කාන්තාරයෙහි දී අතුරුදන් වෙයි. ජලසම්පාදනය උදෙසා සාදා ඇති මීඩ්, රූස්වෙල්ට්, සැන් කාර්ලස් ආදි ජලාශයන් හැර මේරි සහ මෝමන් නම් වූ ස්වාභාවික විල් ද ඇරිසෝනාවෙහි වෙයි. ආකීය ශ්‍රෙණියට අයත් නයිස් පාෂාණ ජනපදයෙන් වැඩි කොටසක් වසා සිටී. දකුණු මධ්‍යයෙහි පිහිටි ටොන්ටෝ ප්‍රදේශයෙහි පේලියෝසොයික වැලිගල් ද වෙයි. නොයෙක් වර්ණවලින් යුත් පාෂාණ, පාෂාණීභූත කැළෑ ගස්, ලාවා ගුහා ආදිය ද මෙහි වැටුණු උල්කාශ්මයකින් හෑරුණු කුහරයක් ද ඇරිසෝනා කාන්තාරයේ දී දැක්ක හැකියි. ඇරිසෝනාව ප්‍රධාන වශයෙන් වියළි රටකි. වඩා උණුසුම් දකුණු ඇරිසෝනාවේ සා.වා.උ. පැ. 90°ක් වන අතර උතුරු ප්‍රදේශවල සා.වා.උ. පැ. 40°ක් පමණ වේ. වැසි අධික ගිනිකොන දිග උස්බිම්වල සා.වා. ව. අඟල් 3ක් පමණ වෙයි. සෙසු පෙදෙස්වල අඟල් 8ක් පමණය.

වර්ෂාව දුලබ නොවන ප්‍රදේශවල පතනශීල වනාන්තර ද උස් කඳුබෑවුම්වල කේතුධර වනාන්තර ද ඇත. ඇරිසෝනාවේ ආරක්ෂිත වනාන්තර හතකි. මෙහි කාන්තාරවල නොයෙක් පතොක් වර්ග බහුලය. ඉන් ජයන්ට් සගුවාරෝ වර්ගයේ මල ජනපදයේ රාජ්‍ය පුෂ්පය වශයෙන් සැලකේ.

ඇරිසෝනාව ඛනිජ බහුල ප්‍රදේශයක් යැයි කිව හැකිය. තඹ මේ ජනපදයේ ප්‍රධාන ඛනිජයයි. ඇ.එ.ජ.රා.හි තඹ නිෂ්පාදනයෙන් 40%ක් හාරාගනු ලබන්නේ මෙ පෙදෙසිනි. රන්, රිදී, ඊයම්, මැංගනීස් සහ තුත්තනාගම් මෙහි බහුලව ලැබෙන අනෙක් ඛනිජය.

පතල් කර්මාන්තය හා සසඳන කල නොදියුණු ආර්ථික ව්‍යාපාරයක්ව පැවතුණු කෘෂිකර්මාන්තය නොයෙක් ජල සම්පාදන ක්‍රම නිසා වර්තමානයෙහි බොහෝ සෙයින් සංවර්ධනය වී තිබෙන බව පෙනේ. සෝල්ට් රිවර්, යුමා, සැන් කාර්ලස් ආදි විශාල ජල සම්පාදන ව්‍යාපාර යටතේ සංවිධානය වී ඇති කෘෂිකර්මය යන්ත්‍රාධාරයෙන් පවත්වාගෙන යනු ලබන විශාල ගොවිපළවලට සීමා වී තිබේ. මෙයින් ද ළිංවලින් ද කරන ජලසම්පාදනයෙන් වගා වී ඇති බිම් ප්‍රමාණය අක්කර දස ලක්ෂයකට අධිකය. කපු, දොඩම් වර්ගයේ පලතුරු, බාර්ලි, ඕට් සහ එළවළු මෙහි වවන ප්‍රධාන බෝගය. ගව, බැටළු, අශ්ව, ඌරු සහ කුකුළු පාලනය ද ඉතා දියුණුය. නිෂ්පාදන කර්මාන්ත අතුරෙන් ඉතා ම වැදගත් වනුයේ තඹ කර්මාන්තයයි. දැව කර්මාන්තය, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය, කපුතෙල් සිඳීම සහ පලතුරු කර්මාන්තය තවත් සමහරකි. අහස්යානා සහ සියුම් විද්‍යාත්මක උපකරණ ආදිය නිපදවන කර්මාන්ත මෑතක දී පිහිටුවන ලද කර්මාන්ත අතුරෙන් වැදගත් වේ.

ආණ්ඩුව

මේ ජනපදයේ ව්‍යවස්ථාදායක අංශය සභිකයන් විසිඅට දෙනකුගෙන් යුත් සෙනට් සභාවකින් ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් ද යුක්ත වෙයි. විධායක මණ්ඩලය ආණ්ඩුකාර තැන, ජනපද ලේකම් තැන, සංඛ්‍යා පරීක්ෂක තැන, ඇටෝර්නි ජනරාල් සහ මහජන අධ්‍යාපන අධිකාරි යන නිලධාරීන්ගෙන් සමන්විතය. අධිකරණ අංශය ප්‍රධාන ශ්‍රෙෂ්ඨාධිකරණයකින් සහ එක් එක් කෝරළයේ පිහිටි ශ්‍රෙෂ්ඨාධිකරණවලින් ද විවිධ ප්‍රාන්තවල සාමදාන විනිශ්චයකාරවරුන්ගෙන් ද යුක්තය.

ඉතිහාසය

ඇරිසෝනාවේ මුල්වැසියෝ අපැචි සහ නැවාහෝ යන ගෝත්‍රවලට අයත් රතු ඉන්දියානුවෝය. දහසයවැනි සියවසෙහි මුල් භාගයේ දී පැමිණි ස්පාඤ්ඤ ගවේෂකයෝ මෙහි පිවිසි පළමු යුරෝපීයයෝය. මෙක්සිකානු යුද්ධයේ දී මෝමන් (Morman) සේනාංකය මේ පළාතට පිවිසියේය (1846). 1848 දී මෙක්සිකෝවෙන් ලබාගන්නා ලද ඇරිසෝනා පළාත 1853 දී සම්පූර්ණයෙන් එක්සත් ජනපද රාජ්‍යයට අයිති වූ නමුත් පසුව එහි අපැචි ඉන්දියානුන් හා අති දරුණු සටන් පැවැත්තේය (1861-86). ආකර කර්මාන්තය සහ පශුපාලනය පැතිරී ගිය ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වූ මෙහි ගව පාලකයන් සහ බැටළු පාලකයන් අතර ද විටින් විට සටන් ඇති විය. 1863 දී වෙන ම ප්‍රදේශයක් බවට පත් එය එක්සත් ජනපද රාජ්‍යයේ ජනපදයක් සේ පිළිගනු ලැබුවේ 1912 දීය.

මේ ජනපදයේ ජනගහනය (1960) 1,302,161කි. එහි ප්‍රධාන නගරය හීලා ගඟබඩ පිහිටි ෆීනීක්ස්ය. එම නගරයේ ජනගහනය (1961) 451,000කි.

කෘෂිකාර්මික පළාතක පිහිටි එය ධාන්‍ය පිටි කිරීම, බීම පෙරීම සහ කපු කර්මාන්තය කරන නගරයකි. එය ශීත කාලයේ දී සුඛස්ථානයක් බවට හැරේ. ටස්කන් (215,000) කෘෂිකර්මය සහ පශුපාලනය කරන ප්‍රදේශයක මධ්‍යස්ථානයකි. ඇරිසෝනා විශ්වවිද්‍යාලය පිහිටියේ එහිය. කපු කර්මාන්තය කරන මේසා (33,773) සහ ටෙම්පෙ (24,897) තවත් සැලකිය යුතු නගර වේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇරිසෝනා&oldid=11437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි