ඔරිස්සා

සිංහල විශ්වකෝෂය වෙතින්
11:56, 16 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉන්දියාවේ නැගෙනහිර වෙරළබඩ පිහිටි රාජ්‍යයකි....' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියාවේ නැගෙනහිර වෙරළබඩ පිහිටි රාජ්‍යයකි. නැගෙනහිරට බෙංගාලේ බොක්ක ද දකුණට ආන්ධ්‍ර ප්‍රදේශය ද බටහිරට මධ්‍ය ප්‍රදේශය ද උතුරුට බිහාරය ද ඊශාන දිගට බටහිර බෙංගාලය ද මීට මායිම් වේ. කලක් බෙංගාල ප්‍රාන්තයේ කොටසක් හැටියට පාලනය වූ ඔරිස්සා හා බිහාර් ප්‍රදේශ 1912 දී එයින් වෙන් කරන ලදි. 1936 දී බිහාර් සහ ඔරිස්සා වෙන ම පළාත් දෙකක් බවට පමුණුවන ලදි. ඉන්දියාව නිදහස ලැබූ පසු එම ආණ්ඩුව යටතට පත් සුළු රාජ්‍ය 25ක් ඔරිස්සාවට පවරා දෙනු ලැබ දැනට පවත්නා මායිම් ඇතුළත පිහිටි මුළු ප්‍රදේශය ම ඔරිස්සාව නමින් හැඳින්විණ. 1950 දී එය ඉන්දියා ජනරජයේ ප්‍රදේශ රාජ්‍යයක් බවට පත් විය. එහි විශාලත්වය ව.සැ. 60,164කි.

පහත් බිම්, තැනිතලා හා කඳු සහිත මේ ප්‍රදේශය මහානදී ගඟේ ජලාශ්‍රිතය. පහත් බිම් පෙදෙසට ඔරිස්සාවේ නැගෙනහිර දිග පිහිටි බලසෝර්, කටක්, පූරි යන දිස්ත්‍රික්ක හා ගඤ්ජාම් දිස්ත්‍රික්කයෙන් කොටසක් ද ඇතුළත්ය. බෙංගාල බොක්කේ වෙරළබඩ ප්‍රදේශය වගුරු සහිත පහත් බිමකි. එහි කඩොල් ගස් වැවේ. වැලි සහිත බිම් අධිකය. මහානදී ගඟේ අතු ගංගා හා වෙනත් කුඩා ජල පාරවල් බොහෝ ගණනක් බංගාල තැන්න හරහා ගලා යයි. මහානදී ගඟෙන් ආරම්භව බෙංගාල බොක්කට විහිද යන ඩෙල්ටාව වෙරළාශ්‍රිත ප්‍රදේශයෙහි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. කලපුවත් සිසාරා විහිද යන මේ ඩෙල්ටාව නිසා චිල්කා විල සෑදේ. ගිනිකොන දෙසින් නැගෙනහිර ඝාට්ස් කඳු පිහිටියේය. ඝන වනාන්තරවලින් වැසුණු නැගෙනහිර ඝාට්ස් කඳුවැටිය උසින් අඩි 3000ත් 5000ත් අතරය. ඔරිස්සාවේ මැද කොටස මහානදී ගඟ ආශ්‍රිත ඡත්තීස්ගර්හ් තැනිතලාවය. බටහිර දේශ සීමාව අසල මධ්‍යම තැන්න හා ඡෝටා නාග්පූර් තැන්න ද පිහිටියේය. මෙකී තැනිතලාව හා තැනි සාරවත් පසින් යුක්තය.

මෝසම් සුළං ආශ්‍රිත උණුසුම් දේශගුණයක් පවතින මෙහි ශීත ඍතුව වියළිය. වසන්ත ඍතුව උණුසුම්ය. ග්‍රීෂ්ම ඍතුව වැසි සහිතය. සාමාන්‍යයෙන් මුළු ප්‍රදේශය ම අඟල් 40ත් 60ත් අතර වූ නිත්‍ය වර්ෂාපතනයක් ලබයි. උස් බිම් ඝන වනාන්තරවලින් වැසී තිබේ. ඒවායේ බෙහෙවින් දක්නට ලැබෙන්නේ සල් ගස්ය.

ඔරිස්සාවේ මුළු ජනගහනයෙන් 3/4ක් පමණ දෙනා ගොවිතැනින් ජීවත් වෙති. වෙරළාශ්‍රිත දිස්ත්‍රික්කවලට අයත් භූමි ප්‍රදේශයෙන් 82%ක් වී ගොවිතැන සඳහා යොදා තිබේ. බලසෝර් හා කටක් දිස්ත්‍රික්කවල ජූට් (හණ විශේෂයක්), උක් හා දුම්කොළ වවනු ලැබේ. වනාන්තරවලින් ලබාගන්නා දැව හා දර ද ගස් වර්ගයකින් ලබාගන්නා ලාකඩ වැනි ලාටු වර්ගයක් ද සැලකිය යුතු ආදායමක් ලබා දෙයි. ඔරිස්සාවේ බටහිර හා දකුණු පෙදෙස්වල මෙනේරි ආදි ධාන්‍ය වර්ග වගාව දියුණුය. මසුන් මැරීම හා ලුණු සෑදීම වෙරළාසන්න ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපාය මාර්ගයි.

ඔරිස්සාව ඛනිජ සම්පත් අතින් ද පොහොසත්ය. යපස්, ගල් අඟුරු, මැංගනීස් හා මයිකා (තලාතු මිනිරන්) මෙහි පොළොවෙන් ලබා ගනිති. රිදියෙන් කරන ඉතා සියුම් කැටයම් වැඩ ගැන ඔරිස්සාව බෙහෙවින් ප්‍රසිද්ධය. පේෂකර්මාන්තය, ලී කැටයම්, පැසි තැනීම හා වීදුරු සෑදීම මෙහි දියුණුය. ක්‍රි.ව. 1899 දී දුම්රිය මාර්ගයක් ඉදිකරන තුරු ඔරිස්සාව සමග ඉන්දියාවේ අනිකුත් කොටස්වල සම්බන්ධය පැවතුණේ ස්වල්ප වශයෙනි. මේ නිසා ඊට පෙර එහි සංවර්ධන කටයුතු දියුණුව නොපැවතියේය.

කලින් මෙහි අගනුවර වූයේ කටක් නගරයයි. ඉන්දියාවට ස්වරාජ්‍යය ලැබී ඔරිස්සාව එහි ප්‍රදේශ රාජ්‍යයක් වූ පසු භුවනේශ්වර නගරය අගනුවර හැටියට තෝරාගන්නා ලදි. කටක්, භුවනේශ්වර්, බෙරම්පූර්, සම්බල්පූර්, බලසෝර්, පූරි, පර්ලාකිමේදි හා ජෙයිපූර් මෙහි ඇති සැලකිය යුතු නගරය. මෙරට වැසියන් අතර ඔරියා හා මුණ්ඩා යන භාෂා ව්‍යවහාරයෙහි පවතී. ඔරියා භාෂාව එහි රාජ්‍ය භාෂාවය. 1961 දී ඔරිස්සාවේ ජනගහනය 17,548,846ක් විය. මෙයින් 97%කටත් වැඩි දෙනා හින්දුවරුය.

මෙම ප්‍රදේශය සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. වරින්වර කොලරා, වසූරිය, මැලේරියා ආදි රෝග පැතිරීයයි. වැසි නොලැබ ගොවිතැන් පාළුවීමෙන් සාගත ද කලින් කල ඇති වේ. 1866 දී ඇති වූ සාගතයකින් ඔරිස්සා වාසීහු බොහෝ දෙනෙක් මිය ගියහ. වෛද්‍ය ආධාර හා ආහාරපානාදිය යැවීමට රථවාහන ගමන් කළ හැකි මංමාවත් ආදිය නොතිබුණෙන් දහස් ගණන් ජනයා ආධාර නොලැබ ම මියගියහ. ඒ සමඟ ම ගංවතුරකින් ද බලවත් හානියක් විය. මේ නිසා ඇතැම් ප්‍රදේශ ජනයාගෙන් හිස් විය. ඉන්පසු මහානදී ගඟේ සිට හුග්ලි ගඟට ඇළක් කැපීමෙන් ද දුම්රිය මාර්ග හා මංමාවත් තැනීමෙන් ද ගමන් පහසුකම් සැලසුණෙන් නැවත ඒවා ජනාවාස විය.

මෙහි ඇති පාසැල් සංඛ්‍යාව 22,000කට අධිකය. ඒවා අතුරෙන් කටක් නගරයේ පිහිටා ඇති උත්කල් විශ්වවිද්‍යාලය ප්‍රමුඛස්ථානය ගනී. අග්‍ර පාඨශාලා 40ක් පමණ ද ප්‍රාථමික හා පශ්චාත් ප්‍රාථමික පාඨශාලා 20,000කට අධික සංඛ්‍යාවක් ද ඇත. මෙහි සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුව විශේෂ උනන්දුවකින් ක්‍රියා කරයි. ආරෝග්‍යශාලා හා බෙහෙත් ශාලා බොහෝගණනක් පිහිටුවා තිබේ. කටක් නගරය හා සුළු නගර 38ක් ද ගම් 50,984ක් ද ඇති මුළු ඔරිස්සා ප්‍රදේශය පාලන කොටස් වශයෙන් දැනට දිස්ත්‍රික්ක 13කට බෙදා තිබේ. ගොවිතැන් සඳහා ජලය ලබාගන්නා පිණිස හිරකුඩ්, නරාජ්, ටිකර්පාරා යන නම්වලින් හැඳින්වෙන විශාල වේලි බැඳීමෙන් රටට මහත් සෙතක් සැලසී ඇත.

වෙරළ අසල මුහුද නොගැඹුරු බැවින් ද එහි අනවරතයෙන් පවත්නා කුණාටු නිසා ද මෙහි සැලකිය යුතු වරායවල් නැත. පරදිප්, චාණ්ඩ්බලි හා ගෝපල්පූර් මෙහි ඇති කුඩා වරායවල්ය. කල්කටාවේ සිට මදුරාසියට සම්බන්ධ කර ඇති දුම්රිය මාර්ගයෙන් මෙහි වෙරළාසන්න ප්‍රදේශයට විශාල සේවයක් ඉටු වේ. භුවනේශ්වර් සහ කටක් යන නගරවල ජාත්‍යන්තර ගුවන් තොටුපළ බැගින් පිහිටුවා ඇත. රාජ්‍යයේ සැමතැනට ම බෙදාහැරීමට තරම් බලය නිපදවන විදුලි මධ්‍යස්ථාන දෙකක් ද මෙහි ඇත්තේය. කලින් කල බෞද්ධ, හින්දු, ජෛන ආදි ආගම් පැතිර තිබුණ ඔරිස්සා ප්‍රදේශය ඒ ඒ ආගම්වලට අයත් පූජනීය ස්ථානවල නටබුන් රාශියකින් යුක්තය. බෞද්ධ ගුහා, කුටි හා විහාර කීපයක නෂ්ටාවශේෂ පුරාවිද්‍යා කැණීම් මගින් සොයාගෙන ඇත. සාලිහුන්ඩ්‍රම්හි පිහිටි විහාරයේ නටබුන් බෞද්ධ ගොඩනැඟිලි අතර ප්‍රමුඛස්ථානයක් ගනී. කටක්හි බෞද්ධ ගුහා බොහෝ ගණනක් දක්නට ලැබේ. ඉන් සමහරක් පසු කාලයෙහි අන්‍ය ලබ්ධිකයන් විසින් අත්පත් කරගත් බව පෙනේ. වෙනත් ගොඩනැඟිලි තැනීම සඳහා බෞද්ධ විහාරාදියෙන් උපකරණ ලබා ගෙන ඇති බව දක්නට ලැබේ. පූරි නගරයේ ඇති ජගන්නාථ දෙවොල මහත් ප්‍රසිද්ධියක් උසුලන පූජනීය ස්ථානයකි. මෙය හින්දු වන්දනාකරුවන් වැඩිම සංඛ්‍යාවක් වාර්ෂිකව වන්දනාවේ යන ස්ථානය විය හැකිය. ක්‍රිස්තු 8 වන සියවසටත් 16වන සියවසටත් අතර කාලය තුළ හින්දු රජවරුන් විසින් කරවන ලද ගොඩනැඟිලි රාශියක් ද මෙහි ඇත. ඉන් සමහරක් නෂ්ටප්‍රාය වී ඇත ද සමහරක් තවමත් සතුටුදායක තත්වයක පවතී. ඒවා අතුරෙන් ජගන්නාථ දෙවොල, භුවනේශ්වර දෙවොල හා කොනාරක්හි සූර්‍ය්‍ය දෙවොල ප්‍රමුඛස්ථානයක් ගනී.

ඉතිහාසය

අතීතයේ දී ඔරිස්සාව හඳුන්වන ලද්දේ කාලිංග දේශය නමිනි. ගංගා නදියේ පටන් ගෝදාවරි නදිය දක්වා විහිදී ගිය නැගෙනහිර ඉන්දියා මුළු වෙරළාසන්න ප්‍රදේශය ඊට අයත් විය. ඇතැම් ශිලාලිපිවල මේ රාජ්‍යය පාලනය කළ රජුන් හැඳින්වීමේ දී ත්‍රිකාලිංගාධිපති යන විරුද නාමය යොදා ඇති බැවින් එකල කාලිංගය කොටස් තුනකින් යුත් විශාල රාජ්‍යයක්ව පැවැති බව සිතිය හැක. එය යටත් කිරීමේ දී අශෝක රජුට ද මහත් දුෂ්කරතාවන්ට මුහුණපාන්ට සිදුවූයේ ද එහි විශාලත්වය හා සේනාබලය නිසා විය හැක. අතීතයේ දී මෙහි පැවැති ශ්‍රී සමෘද්ධිය, ශිෂ්ටාචාරය හා සංස්කෘතිය පිළිබඳ තොරතුරු බෞද්ධ ග්‍රන්ථවල හා බ්‍රාහ්මණයන් විසින් රචිත සංස්කෘත සාහිත්‍ය ග්‍රන්ථයන්හි ද ඇතුළත්ය. වෙස්සන්තර ජාතකය ආදි ජාතක කථා කීපයක ද මජ්ඣිම නිකායේ උපාලි සූත්‍රයෙහි හා වෙනත් ග්‍රන්ථ කීපයක ද කලිඟුරට ගැන සඳහන් වේ. මහාභාරත යුද්ධය පැවති සමයෙහි (ක්‍රි.පූ. 900) ශ්‍රැතායුස් නමැති කාලිංග රජු කෞරවයන්ගේ පැත්ත ගෙන සටන් කළ බව පැවසේ. දෙවැනි අග්බෝ රජු සමයෙහි (ක්‍රි.ව. 597-607) කලිඟු රටේ රජු ද ඔහුගේ බිසොව ද ඇමතියා ද ලක්දිවට පැමිණ පැවිදි වූ බව මහාවංසයෙහි සඳහන් වේ. කීර්ති නිශ්ශංක (ක්‍රි.ව. 1198-1207), කාලිංග මාඝ (ක්‍රි.ව. 1225-1246) යන රජුන් ද කලිඟු රටින් පැමිණි බව කියැවේ. ශ්‍රැතායුස් රජුගෙන් පසු මහාපද්මනන්දගේ රාජ්‍යෝදය දක්වා (ක්‍රි.පූ. 350) ක්ෂත්‍රියයන් දෙතිස් දෙනකු කලිඟුරට පාලනය කළ බව ග්‍රන්ථාගතය. ක්‍රි.පූ. 261 පමණේ දී මෙය අශෝක රජු විසින් යටත් කරන ලද නමුදු මෞර්‍ය්‍ය අධිරාජ්‍යය වැටීමෙන් පසු නැවතත් නිදහස් රාජ්‍යයක් විය. ඛාරවේල රජු සමයෙහි කාලිඞ්ගය බලසම්පන්න රාජ්‍යයක් වූ බව හාතිගුම්ඵා ශිලාලිපියෙන් මොනවට හෙළි වේ. එකල කාලිඞ්ගයෙහි ජෛන ධර්මය පැතිර තිබුණ බවට සාක්ෂි ඇතත් බුද්ධ පරිනිර්වාණ සමයෙහි පටන් (ක්‍රි.පූ. 543) එහි බුද්ධාගම පැතිර තිබුණු බව දාඨාවංසාදි ග්‍රන්ථවලින් හා ඵ්‍රාපත්හෝම් නමැති සියම් ග්‍රන්ථයෙන් ද හෙළි වේ. බුද්ධ පරිනිර්වාණ සමයෙහි කලිඟු දේශාධිපති වූයේ බ්‍රහ්මදත්ත නමැති රජෙකි. ඛේම රහතන්වහන්සේ දර සෑයෙන් ගත් දන්තධාතූන්වහන්සේ රැගෙන බ්‍රහ්මදත්ත රජු කරා ගොස් දම් දෙසා ඔහු පහදවා එරජුට වැඳ පුදා ගැනීම සඳහා ධාතූන්වහන්සේ දුන් බව යථෝක්ත ග්‍රන්ථවලින් කියැවේ. එහෙත් ඔරියා බසින් ලියැවුණු පැරණි වංශාවලීන්හි හෝ මාදලාපාඤ්ජි නමැති ග්‍රන්ථයෙහි බ්‍රහ්මදත්ත රජු ගැන කිසිවක් සඳහන් නොවේ. එසේ වුව ද කාලිංග දේශයෙන් (ඔරිස්සාවෙන්) සොයා ගත් පැරණි කාසියක ‘බමදතස’ යන අකුරු කොටා තිබීමෙන් එය බ්‍රහ්මදත්ත රජුගේ කාසියක් බව පැහැදිලි වේ. අවුරුදු 800ක් පමණ කාලයක් දන්තධාතුන්වහන්සේ සුරක්ෂිත කර තිබුණේ කාලිංග දේශයේ බැවින් එහි දිගු කලක් බුදුසමය දියුණුව පැවති බව සැලකිය හැකිය. විෂ්ණු පුරාණාදි ග්‍රන්ථවල කලක් මේ ප්‍රදේශයෙහි ගුහවංශිකයන්ගේ ආධිපත්‍යය පැවති බව සඳහන් වන බැවින් හේමමාලා කුමරියගේ පියා වූ ගුහසීව රජු ද යථෝක්ත ගුහ වංශයට අයත් බව සැලකිය හැක. ඔරියා වංශාවලීන්හි එම නාමය දක්නට නැතත් ඔරිස්සාවේ එක් නගරයක් මේ දක්වා හඳුන්වා ඇත්තේ ගුහදේව පාටක, ගුහේශ්වර පාටක යන නම්වලිනි. මේ අනුව සලකා බැලීමේ දී ගුහසීව රජු රාජ්‍යය කළ කාලිංගය ඔරිස්සාව බවට කිසි ම සැකයක් නැත. ඔරිස්සාවේ අග්නිදිග වෙරළබඩ පිහිටි පූරි නුවර පිහිටි සුප්‍රසිද්ධ ජගන්නාථ දෙවොල අතීතයේ දී කලිඟුරටේ දළදා මාළිගාව පිහිටි ස්ථානයෙහි පසු කාලයක දී කරවන ලද ගොඩනැඟිල්ලක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

ඛාරවේලගෙන් පසු කලක් ගත වන තුරු කාලිංගය මෙන් ම එහි ඉතිහාසය ද අඳුරු තත්වයක පැවති බව සැලකිය හැක. ක්‍රි.ව. 350 දී පමණ මේ රාජ්‍යය සමුද්‍රගුප්ත රජු විසින් යටත් කරන ලදි. ක්‍රි.ව. 4-6 සියවස්වල දී එය මාඨර රජුන් යටතේ සැලකිය යුතු දියුණුවකට එළඹ තිබුණේය. සවන, සත්වන සියවස්වල දී එය සුළු රාජ්‍ය කීපයකට කැඩී ගියේය. මොවුනතුරෙන් ශෛලෝද්භව වංශිකයන්ගේ කොංගෝදා ප්‍රදේශය ද මානවංශිකයන්ගේ තෝෂල රාජ්‍යය ද ප්‍රමුඛ ස්ථානයක් ඉසිලීය. රාජ්‍යය මෙපරිද්දෙන් භේදභින්න වූ බව දැනගත් කර්ණසුවර්ණයේ ශශාංක රජ කාලිංගයේ වෙරළාසන්න ප්‍රදේශය ගඤ්ජාම් දිස්ත්‍රික්කය දක්වා අත්පත් කරගත්තේය. වැඩි කලක් යන්නට මත්තෙන් එය කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජු සතු විය. අටවන සියවසේ දී භෞමවංශිකයෝ තෝෂල ප්‍රදේශයෙහි බලයට පත් වූහ. එකල බලයෙන් ඔද වැඩීගිය සෝමවංශිකයෝ ද නැගී සිටියහ. දසවන සියවසේ දී භෞම පරපුරේ අවසාන රැජින වූ ධර්ම මහා දේවියගේ මරණයෙන් පසු සෝමවංශයේ දෙවන යයාති වෙරළාසන්න ප්‍රදේශය අත්පත් කරගත්තේය.

දොළොස්වන සියවසේ දී ඔරිස්සාව අත්පත් කරගත් ගංගවංශයට අයත් චෝඩගංගදේව රජ ජගන්නාථ දෙවොල නැවතත් ගොඩනැංවීය. ක්‍රි.ව. 1238-1268 අතර රජ කළ ගංගවංශික නරසිංහදේව I මුස්ලිම් ජනයා සමග කළ සටන්වලින් ජයගෙන කෝනාරක්හි සූය්‍යර්‍ දෙවොල ඉදිකරවිය. 1435 දී පමණ සූර්‍ය්‍යවංශයට අයත් කපිලේන්ද්‍රදේව ඔරිස්සාව අත්පත් කරගත්තේය. බලසම්පන්න රජකු වූ හෙතෙම ඉන්දියාවේ සම්පූර්ණ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශය දකුණු දිග කාවේරි නදිය දක්වා යටත් කෙළේය. ඔහු පුත් පුරුෂෝත්තමදේව (1467-1497) පියා සතුව පැවති රාජ්‍යය එපරිද්දෙන් ම රැක බලාගත් නමුදු ඔහු පුත් ප්‍රතාපරුද්‍රදේව (1497-1540) විජයනගර් රාජ්‍යයේ කෘෂ්ණදේවරාය රජු සමග ඇති කරගත් ගැටුම්වලින් ඊට බලවත් හානි සිදු විය. 1568 දී ඔරිස්සාව පාලනය කළ මුකුන්දදේව පරදවා බෙංගාලයේ මුස්ලිම් පාලකයන් විසින් එය අත්පත් කරගන්නා ලදි. 1576 දී බෙංගාලය සහ ඔරිස්සාව මෝගල්වරුන් සතු විය. ඉන්පසු 1751 දී අලිවර්දි ඛාන් විසින් ඔරිස්සාව මරාඨයන්ට පවරා දෙන ලදි. 1803 දී එය බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් මරාඨ පාලනය කෙළවර විය. පාලන පහසුකම් ගැන සලකා 1823 දී කටක්, බලසෝර, පූරි යන දිස්ත්‍රික්ක තුනට හා වෙනත් සුළු ප්‍රදේශ රාශියකට ද බෙදන ලදුව බෙංගාල ප්‍රාන්තයේ කොටසක් හැටියට එහි පාලනය ගෙනයනු ලැබීය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔරිස්සා&oldid=11438" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි