ඔරෝරා (2)
සිංහල විශ්වකෝෂය වෙතින්
13:14, 16 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('එක්සත් ජනපද රාජ්‍යයේ උතුරු ඉලිනොයි ජනපදයෙහි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
එක්සත් ජනපද රාජ්‍යයේ උතුරු ඉලිනොයි ජනපදයෙහි චිකාගෝ නුවරට සැතපුම් 38ක් බටහිරින් පිහිටා ඇති මේ කුඩා නගරය 1836 දී පිහිටුවන ලද්දකි. ෆොක්ස් නදී නිම්නය ආශ්‍රිත බැවින් මෙහි පස සාරවත්ය. නගරය ද සිත්කලුය. විවිධ වාහන, යන්ත්‍ර, ජලනල, ආයුධ, රෙදිපිළී, විදුලි උපකරණ, රසායන ද්‍රව්‍ය, ලෝහ භාණ්ඩ, වානේ කැබිනට්, දැව භාණ්ඩ ආදිය මෙහි නිෂ්පාදනයන්ගෙන් සමහරකි. දුම්රිය මාර්ග සතරක් ම මේ නගරයට සම්බන්ධ වී ඇති බැවින් ගමනාගමනය හා බඩු එහා මෙහා ගෙන යාමට පහසුකම් සැලසී තිබේ. ඔරෝරා අග්‍රපාඨශාලාව සහ අනාථ දරුවන් සඳහා පිහිටුවන ලද ළමා නගරය ද මෙහි ඇති සැලකිය යුතු ස්ථාන දෙකකි. මෙහි ජනගහනය (1960) 63,715කි.
(සංස්කරණය: 1974)