ඔටෝමන් අධිරාජ්‍යය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:11, 22 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('1289 දී තුර්කි ජාතික කාජි නම් ගෝත්‍රයට අයත් උස්ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

1289 දී තුර්කි ජාතික කාජි නම් ගෝත්‍රයට අයත් උස්මාන් හෙවත් ඔත්මාන් (1256-1326) නම් වූ ග්‍රීක දේශසීමාශ්‍රිත ප්‍රදේශ නායකයා විසින් සුළුවෙන් අරඹනු ලැබ පසුව විශාල යුරේසියානු අධිරාජ්‍යයක් බවට පත් වූ තුර්කි අධිරාජ්‍යයයි. 1922 දක්වා නාමමාත්‍රයෙන් පමණක් වුව ද මෙම අධිරාජ්‍යය අඛණ්ඩව පැවැත්තේය.

ඔටෝමන් යනු ‘උස්මාන්ගේ පුත්‍රයෝ’ යන අර්ථවත් උස්මාන්ලි යන්න ඉංග්‍රීසි මුවින් උසුරුවනු ලැබුණු අන්දමයි.

ව්‍යාප්තිය

1299 දී දිග්විජය ඇරඹූ උස්මාන් බයිසන්ටයින් අධිරාජ්‍යයේ ප්‍රිජියාව, බිතිනියාව හා බ්රුසාව වැනි කොටස් ඈඳාගෙන බ්රූසා නගරය සිය අගනුවර කොටගත්තේය. ඔහු පුත් ඕර්ඛාන් (1326-59) සුළු ආසියාවේ ඉතිරිව තිබුණු සියලු ක්‍රිස්තියානු පෙදෙස් ද සෙල්ජුක් තුර්කි ප්‍රදේශ ද යා කොටගෙන ඊජියන් මුහුදු තෙර දක්වා අධිරාජ්‍යය පැතිරවිය. සාමය නොබිඳ ම භූමි හුවමාරු මගින් ඩාර්ඩනෙල්ස් සමුද්‍රසන්ධියෙන් එතෙර ගැලිපොලි නම් යුරෝපා බිම් කොටස ලබා ගැනීමට ද හේ සමත් විය. ඔහු පුත් මුරාද් I (1359-89) ත්රේස් යටත් කොටගෙන 1361 දී අද්‍රියානෝපල් සිය අගනුවර කර ගැනීමෙන් පසු එතෙක් අමීර් (කුමාරයා) නමින් හැඳින්වුණු ඔටෝමන් පාලකවරු සුල්තාන් නැතහොත් පාද්ශාහ් (රාජාධිරාජ) යන නම්වලින් හැඳින්වෙන්නට වූහ.

ක්‍රි.ව. 1402 දී ටිමූර් (ටැමර්ලේන්) නම් වූ සුප්‍රකට මොංගල් ආක්‍රමණිකයා ඔටෝමන්වරුන්ට පහර දී බාජාසෙත් I නම් අධිරාජයා අල්ලාගැනීම නිසා අධිරාජ්‍යයේ ව්‍යාප්තිය කලක් නැවතී තිබිණ. මුහම්මද් I විසින් යළි එක්සත් කැරුණු අධිරාජ්‍යය මුරාද් II හා මුහම්මද් II අධිරාජයන්ගේ කාලයේ දී බෙහෙවින් පුළුල් වන්ට විය. මුරාද් II (1421-51) මැසිඩෝනියාව හා ග්‍රීසියේ කොටසක් යා කොටගත් අතර ඔහුගේ අනුප්‍රාප්තික මුහම්මද් II (1451-81) එවක යුරෝපයේ විශිෂ්ටතම සංස්කෘතික මධ්‍යස්ථානයක්ව පැවති බයිසන්ටයින් අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය අයත් කොටගැනීම මානව ඉතිහාසය කෙරෙහි අතිශයින් බලපෑ සිද්ධියකි. මෙනුවර අගනුවර කොටගත් තුර්කීහු ඔවුන් අතින් ඊට සිදු වූ විනාශයට වන්දි ගෙවෙන සේ විශාල උත්තුංග ප්‍රාසාද, ස්මාරක, දේවස්ථාන, ජලතටාක හා වෙනත් මහජන ගොඩනැඟිලි ආදිය තනා නගරය අලංකාර කළහ.

ඔටෝමන් අධිරාජ්‍යයේ ව්‍යාප්තිය කුළු ගැන්වුණේ සලීම් I හා විභූතිමත් සුලෙයිමාන් සුල්තාන්වරුන්ගේ සමයේ දීය. 1517 දී මමෙලුක්වරුන් පරදා කයිරෝව අල්ලාගත් සලීම් අනතුරුව ඇල්ජියර්ස් ද යටත් කොටගති. හෙතෙම කාලිප් පදවිය ද ඔටෝමන් අධිරාජයන් සඳහා අයත් කොට ගත්තේය. සුලෙයිමාන් I (1520-66) ගේ සමයේ දී හංගේරියාවේ විශාලතර ප්‍රදේශයක් තුර්කියට යටත් වූ අතර ට්‍රාන්සිල්වේනියා, වොලේකියා, මොල්ඩේවියා යන ප්‍රදේශ කප්පම් ගෙවන ප්‍රදේශ බවට පත් විය. සුල්තාන්වරයා ස්පාඤ්ඤ, වැනිසි හා පාප් රාජ්‍ය හමුදා පරදවා ඔරාන්, ට්‍රිපොලි යන අප්‍රිකානු ප්‍රදේශ ද රෝඩ්ස් දූපත ද තම බලමණ්ඩලය යටතට ගත්තේය. ආසියානු ඉම පර්සියාව අභ්‍යන්තරය දක්වා ඈත් කොට ගැනීමට ද හේ සමත් විය. ඕස්ට්‍රියාවට හා ස්පාඤ්ඤයට විරුද්ධව ප්‍රංසය හා මිත්‍රත්වයක් ඇති කොටගත් සුලෙයිමාන් තුර්කි නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කෙළේය. මොහුගේ කාලය තුර්කි සාහිත්‍යය, කලාව හා ගෘහනිර්මාණය පිළිබඳ ස්වර්ණ යුගය ද විය.

ඔටෝමන් සුල්තාන්වරු තම සුවිශාල අධිරාජ්‍යයේ කොට්ඨාසයන් පාලනය කිරීම සඳහා යුද්ධ පාලකයන් පත් කළහ. මුල් අවස්ථාවේ දී ඔවුන් යටතේ සේවය කිරීමට කැමති වූ දක්ෂ ක්‍රිස්තියානින් සිය නිලධාරීන් හැටියට පත් කර ගත්හ. කිතුදහම මුලිනුපුටා දැමීමට තැත් නොකළ ඔවුහු එම භක්තිකයන්ගෙන් දැඩි ලෙස බදු ගැනීමෙන් හා ඔවුන් නිරායුධ කොට දුබල කොට තැබීමෙන් තෘප්තියට පත් වූහ. ක්‍රිස්තියානීන්ගේ දරුවන් තමන් යටතට ගෙන ඉස්ලාම් භක්තිය ගන්වා යුද පුහුණුව දී තුර්කි බසින් ‘යෙනීචෙරි’ (ඉංග්‍රීසි janizary) නමින් හැඳින්වූ ඔවුන් දිග්විජය ව්‍යාපාරයන්හි දී යොදාගත්හ.

පරිහාණිය

සුලෙයිමාන්ගෙන් පසු අධිරාජ්‍යයේ පරිහාණි යුගය එළඹුණේ යයි කිව හැකිය. පශ්චාත්කාලීන සුල්තාන්වරු පාලන කටයුතු විසියර්වරුන්ට පවරා සුඛවිහරණයෙන් මුළු කාලය ම වාගේ අන්තඃපුරයන්හි ගත කිරීම තමන් සතු ප්‍රධාන කාර්යය කොටගත්හ. විද්‍යානවෝදයෙන් පසු යුරෝපයේ සෙසු රාජ්‍ය නූතන යුගයට පා තබා සෑම අංශයකින් ම දියුණුව කරා යද්දී තුර්කිය දිගට ම මධ්‍යතන රටක්ව ම පැවතීම ද යටත් ප්‍රදේශවල පාලක කුමරුන් රාජපාක්ෂික නොවීම ද අධිරාජ්‍යයේ පරාභවය ඉක්මන් කෙළේය. 1565 දී ලෙපාන්ටෝහි නාවික යුද්ධයෙන් එක්සත් වැනිසි, ස්පාඤ්ඤ හා පාප් රාජ්‍ය නාවික හමුදා අනභිභවනීය සේ සලකන ලද ඔටෝමන් තුර්කි නාවික හමුදාව පරදවා ලූහ. එහෙත් යුද්ධාවසානයේ දී අවුලට මුල් වූ සයිප්‍රස් දිවයින තුර්කීනට පාවා දීමට වැනිසි රාජ්‍යයට සිදු විය. සුල්තාන් මුරාද් III (1574-95) පර්සියාවට පහර දී ජෝර්ජියාව, ශෙරවාන්, දාගෙස්තාන්, අසර්බෛජාන් හා ලුරිස්තාන් අයත් කර ගත්තේය. දිගු කලක් ම ඕස්ට්‍රියාව හා යුද වැදී විටින් විට පහර එල්ල කළ ඔටෝමන්වරු 1606 දී ඕස්ට්‍රියා අධිරාජයා ප්‍රථම වරට ‘පාද්ශාහ්’ වරයකු සේ පිළිගෙන සමගි ගිවිසුම් අත්සන් කොට ගත්හ. 1683 දී තුර්කිවරුන් වියනාව අල්ලාගැනීමට දැරූ අවසන් ප්‍රයත්නය ද ප්‍රථම ඒවා මෙන් නිෂ්ඵල විය. 1718 දී ඕස්ට්‍රියන්වරු ඔවුන් හංගේරියාවෙන් පන්නා දැමූහ. 1783 දී ක්‍රිමියාව ඈඳා ගත් රුසියාව කළු මුහුද දක්වා සිය බලය විහිදුවා ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය ඒ ප්‍රදේශයෙහි දැරූ තැන හිමි කර ගත්තේය. 19 වන සියවස මුල දී ග්‍රීසිය තුර්කියෙන් මිදීමේ විමුක්ති සටන ඇරඹූ අතර ඇල්බේනියාව, මිසරය වැනි පෙදෙස්වල ද අධිරාජ්‍යයට විරුද්ධ කැරලි පැනනැඟිණි. මේ අතර කලක සිට ම අධිරාජ්‍ය යෙනීචෙරි හමුදා පෙරළි ඇති කරන්ට වීම ඔටෝමන් අධිරාජ්‍යයේ පරිහාණියට රුකුලක් විය. 1826 යෙනීචෙරීන් දහස් ගණනක් මරා දැමූ සුල්තාන්වරයා එම හමුදාව මුළුමනින් විසුරුවා හැරියේය.

1806, 1829 යන වර්ෂවල තුර්කිය පරදවා කොකේසස් පෙදෙස ද අල්ලාගත් රුසියානුහු කළු මුහුදේ ද ස්වාමිත්වය දැරුවාහු මධ්‍යධරණී සමුද්‍රයට ඇතුළු වන දොරටුව ද පාලනය කිරීමේ අයිතිය ලබාගනු රිසි වූහ. 1854 දී ඇති වූ ක්‍රිමියානු යුද්ධයේ දී මහා බ්‍රිතාන්‍යය, ප්‍රංසය හා ඕස්ට්‍රියාව රුසියාවට විරුදධව තුර්කියේ පක්ෂය ගැනීම නිසා රුසියානු අධ්‍යාශය අසාර්ථක විය. මේ අතර ඕස්ට්‍රියාව අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන ඩාඩනෙල්ස් කෙරෙන් රුසියානු බළ හමුදා ඉවත් කර ගැනීමට බල කොට තුමූ එය අරක්ගත්හ. යළිත් 1877-78 සමයේ දී රුසියන්වරු තුර්කීන් හා යුද වැද ඔවුන් පරදවා ලූහ. ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ යුරෝපීය විජිත සියල්ලක් ඔවුනට අහිමි කිරීමට මෙන් රුසියාව ක්‍රියා කරනු දුටු බටහිර බලවත්තු 1878 දී සුප්‍රසිද්ධ බර්ලින් සම්මේලනය රැස් කොට ඔටෝමන් රාජ්‍යයට නව ජීවනයක් ලබා දුන්හ. එහෙත් බර්ලින් සම්මේලනයෙන් රුමේනියාව, සර්බියාව හා මොන්ටෙනීග්‍රෝව යන ප්‍රදේශවල ස්වාධීනතාව පිළිගන්නා ලදි. 1832 දී බ්‍රිතාන්‍යය මිසරයේ බලාධිකාරය පිහිටුවා ලූහ.

මෙ සමයේ දී අබ්දුල් හමීද් සුල්තාන්වරයා ජර්මනියේ විලියම් කයිසර් II සමග දැඩි මිත්‍රත්වයක් ඇති කරගත්තේය. ජර්මන් කාර්මික විද්‍යාඥයන්ගේ සහායෙන් බැග්ඩෑඩ් නගරය බර්ලින් නුවර හා දුම්රිය මාර්ග මගින් සම්බන්ධකරන ලදි.

1912-13 සමයේ ඇති වූ බෝල්කන් නිදහස් යුද්ධයෙන් තුර්කියට සිය යුරෝපා ප්‍රදේශ මුළුමනින් ම වාගේ නැති වී ගිය නමුත් බෝල්කන් ප්‍රදේශ යුද්ධ අවසානයත් සමඟ ම උනුනුන් හා පොර බදන්නට වීම නිසා තුර්කියට නැවත සිය දේශසීමා පුළුල් කරගත හැකි විය. 1913 දී ජාතිවාදී තරුණ තුර්කීහු අන්වර් පාෂාගේ නායකත්වය යටතේ රාජ්‍ය පෙරළියකින් බලය අල්ලාගත්හ. අන්වර් පාෂා යුද්ධ ඇමති පදවිය ලැබීය.

1914 දී ප්‍රථම ලෝක මහා යුද්ධයේ දී ඔටෝමන් තුර්කිය ජර්මනියේ පක්ෂය ගෙන මුල දී සාර්ථක ලෙස සටන් කළ නමුත් 1917 දී ජෙරුසලම වැටීමෙන් පසු ඔටෝමන් අධිරාජ්‍යයේ බලය මුළුමනින් ම වාගේ බිඳී ගොස් තිබිණි. 1918 ජූලි මාසයේ දී මුහම්මද් සුල්තාන් අභාවයට පත් වන විට තුර්කි හමුදා සෑම පෙරමුණක ම වාගේ පසු බසිමින් සිටියහ. අනතුරුව තුර්කි හමුදා සිරියාවට පසු බැස සිටිද්දී බ්‍රිතාන්‍ය මිත්‍ර පක්ෂයේ කොන්දේසි පිළිගෙන යටත් වීමට කැමැති වූ මුහම්මද් සුල්තාන් බවට පත් විය.

යුද්ධය පරාජයේ අපකීර්තිය මධ්‍යයේ නව සුල්තාන්වරයා 1920 සේව්ර් (Sèvres) ගිවිසුම අත්සන් කෙළේය. ඒ අනුව තුර්කිය ඇනටෝලියා සානුවට සීමා විය යුතු වූ අතර ඊජියානු හා මධ්‍යධරණී වෙරළාශ්‍රිත ප්‍රදේශ ග්‍රීසියට හා ඉතාලියට හිමි විය. ආර්මීනියාව නිදහස ලැබීය.

මේ සම්බන්ධයෙන් තුර්කිය පුරා ඇති වූ බලවත් කැළඹීම තුළින් වේගවත් ජාතික පුනරුත්ථාන ව්‍යාපාරයක් බිහි විය. එහි නායකත්වය මහා යුද්ධයේ දී පෙරමුණ ගෙන සටන් කළ රණශූර ආටාටුර්ක් කෙමල් පාෂා (බ.) දැරීය. පළමුවෙන් ආර්මීනියාව යටත් කළ ඔහු ස්මර්නා කෙරෙන් ග්‍රීකයන් ද පලවා හැරීමෙහි සමත් විය. මේ අතර සුල්තාන්වරයා කොන්ස්තන්තිනෝපලය හැර දමා පැන ගියේය. 1923 දී ලෝසාන් ගිවිසුම මගින් සේව්ර් ගිවිසුම නිෂ්ප්‍රභ කැරිණ. මෙසේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමග කෙමල් පාෂාගේ ප්‍රධානත්වයෙන් තුර්කි ජනරජය පහළ විය (තුර්කිය බ.).

(සංස්කරණය: 1974)