එළු සිලෝ සතකය
බුද්ධචරිතයෙහි අසිරිමත් තැන් නඟා ගෙන ගුණ ප්‍රකාශ කෙරෙමින් බුද්ධාභිවාදනය සඳහා ලියන ලද එළු සිලෝ සියයෙකින් යුත් ග්‍රන්ථයෙකි. ‘පනික්කි’ නම් මැතිවරයකුගේ ආරාධනායෙන් මෙය රචනා කළ බව ග්‍රන්ථාවසානයෙහි දක්වාලූ නමුදු මෙහි කතුවරයා කවරෙක් දැයි කිසි තැනෙක සඳහන්ව නැත. ජයවර්ධනපුර කෝට්ටේ රජ පැමිණි ශ්‍රී පරාක්‍රමබාහු නරේන්ද්‍රයන්ට ආශීර්වාද කොට ඇති හෙයින් එරජුගේ රාජ්‍යසමය වූ පසළොස් වැනි සියවසෙහි මෙය රචනා කළැයි සිතිය හැකිය. මෙහි ප්‍රමාණය මාලිනී, වසන්තතිලකා, ශාර්දූල වික්‍රීඩිතාදි වෘත්තවලින් බඳනා ලද සිලෝ 102කි.
මෙහි කතුවරයා කවරකු වුව ද එතෙක් කල් සිංහල කවීන් භාවිතයට නොගෙන තුබූ වර්ණ ඡන්දසට අයත් වෘත්තයන්ගෙන් ස්වකීය නිබන්ධය කෙරෙමින් හෙළ කවිය අමුතු මඟකට හරවන්නට වෑයමක් කළ බව පෙනේ (එළු සිලෝ කාව්‍ය බ.). 1956 දී පඩිකාර මුහන්දිරම් ජී.එච්. අභයවික්‍රම මහතාගේ සංස්කරණයකින් මෙය මුද්‍රණය විය.
(සංස්කරණය: 1974)