ඒකත්වවාදය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:45, 27 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Monism). ඒකත්වවාදය ලෝකයේ පරමාර්ථ ස්වභාව පිළිබඳව ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Monism). ඒකත්වවාදය ලෝකයේ පරමාර්ථ ස්වභාව පිළිබඳව කෙරෙන දාර්ශනික විවරණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් බිහිවූවකි. ලෝකයේ පරමාර්ථ ස්වභාවය කිසියම් අර්ථයෙකින් අද්වය (ඒකිය) වූවක්ය යන නිගමනය ඒකත්වවාදී නිගමනයක් වශයෙන් සැලකිය හැකිය. මේ අනුව මුළු විශ්වය ම පරමාර්ථ වශයෙන් මනෝමයය. එසේ නැතහොත් බුද්ධිමයය යන නිගමනය මෙන් ම මුළු විශ්වය ම පරමාර්ථ වශයෙන් භෞතිකය යන නිගමනය ද ඒකත්වවාදී නිගමන වශයෙන් සැලකිය හැකිය. බෞද්ධ දර්ශන සම්ප්‍රදායෙහි එන ශූන්‍යතා දර්ශනය ද ඒකත්වවාදී දර්ශනයක් වශයෙන් හැඳින්වීම යුක්ති යුක්තය. එමෙන් ම භාරතීය චින්තනයෙහි එන ආත්මන් හා බ්‍රහ්මන් යන සත්තාවන්ගේ තාදාත්ම්‍යතාව පිළිබඳ දර්ශනය ඒකත්වවාදයකි. පෙර අපර දෙදිග ම ඈත අතීතයේ සිට පහළ වූ දාර්ශනිකයන් විසින් යම් යම් අවස්ථාවල දී ඒකත්වවාදී දාර්ශනික නිගමනයන්ට පැමිණ ඇති බව දර්ශන ඉතිහාසයෙන් පැහැදිලි වේ.

අපරදිග දර්ශන ඉතිහාසයෙහි ඒකත්වවාදය හැඳින්වීමට ‘Monism’ යන වචනය පළමු කොට යොදන ලද්දේ ක්‍රිස්තියන් වෝල්ප් (1679-1754) නමැති ජර්මන් දාර්ශනිකයා විසිනි. සියල්ල ම මනෝමයය යන විඥානවාදයත් සියල්ල ම භෞතිකය යන භෞතිකවාදයත් හැඳින්වීමට ඒකත්වවාදය යන්න ඔහු යෙදීය. පසුව මානසික හා භෞතික ධර්මයන් තාදාත්ම්‍යය යන දර්ශන න්‍යාය ද මෙම නමින් ම හඳුන්වන ලදි. 19 වන සියවසේ සිට එක ම මූලධර්මයක් පදනම් කොට ගෙන සෑම ධර්මයක් ම විවරණය කෙරෙන න්‍යායයන් ද ලෝකයෙහි පරමාර්ථ ස්වභාවය සමස්තයක් වශයෙන් සලකා කෙරෙන ප්‍රකාශනයන් ද සියලු ලෝක ධර්මයන් අද්වය වූ මූල ධර්මයකට පත් කෙරෙන න්‍යායයන් ද පොදුවේ ඒකත්වවාදී න්‍යායයන් වශයෙන් හඳුන්වා ඇත.

ඈත අතීතයේ සිට ම ඒකත්වවාදය අවධාරණයෙන් ප්‍රකාශ කෙළේ ලෝක ධර්මයන්ගේ ඒකීයත්වයයි. අවිපරිණාමී ස්වභාවයකින් ධර්මයන් කාලයෙහි පැවැත්ම ද අසම්භින්න ස්වභාවයකින් අවකාශයෙහි ව්‍යාප්තව සිටීම ද ගුණාත්මක වශයෙන් ධර්මයන්ගේ අනන්‍යතාව ද පිළිගැනීම ඒකත්වවාදයෙහි ලක්ෂණ වශයෙන් හැඳින්විය හැකිය.

ස්වයංභූත ලෙස පවත්නේ ලෝකය සමස්තයක් වශයෙන් ගත් විට දී පමණක් බව අපරදිග දර්ශනයෙහි ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද්දේ ග්‍රීක චින්තක පාර්මෙනිඩීස් විසිනි. ඔහුගේ මතය පරිදි ඉන්ද්‍රිය වි‍ඥෙය ලෝකය විපරිණාමී නානාවිධ වස්තූන්ගෙන් සමන්විත වන නමුදු එම ඉන්ද්‍රීය විඥෙය ලෝකය සත්‍ය ලෝකය නොවේ. බුද්ධියෙන් අධිගත සත්තාව (Being) පමණක් ම සත්‍ය වෙයි. එම සත්තාවෙහි උත්පාදයක් හෝ නිරෝධයක් දැක්විය නොහැකිය.

පාර්මෙනිඩීස්ගේ ම අනුගාමිකයකු වූ සීනෝ ලෝකයෙහි නානාධාතුකත්වය හා ගතිකත්වය ප්‍රතික්ෂේප කිරීමට ද්වන්ද්වාත්මක (dialectical) තර්ක ඉදිරිපත් කරමින් ඒකත්වවාදී මතය සනාථ කිරීමට උත්සාහ ගත්තේය. බහුත්ව ලෝකයක් පිළිබඳ සංකල්පය පරස්පර විරෝධී බව සීනෝගේ මතය විය. බහුත්ව ලෝකයක් ප්‍රමාණ වශයෙන් අනන්ත වූ විස්තීර්ණතාවකින් ද එමෙන් ම අනන්ත වූ ක්ෂුද්‍රතාවකින් ද යුක්ත විය යුතු බව ද එහෙයින් බහුත්ව ලෝකයක් පිළිබඳ සංකල්පය න්‍යාය විරෝධී වූවක් බව ද ඔහු දැක්වීය.

අපරදිග දර්ශන ඉතිහාසයෙහි ඒකත්වවාදයට කදිම නිදසුනක් වශයෙන් ස්පිනෝසාගේ දර්ශනය ඉදිරිපත් කළ හැකිය. ස්පිනෝසාගේ ‘Ethics’ (ආචාරධර්මය) නම් ග්‍රන්ථයෙහි පළමුවන කොටසින් උත්සාහ ගෙන ඇත්තේ නිරපේක්ෂකව, අහේතුකව, අකෘතකව පවත්නා ස්වයංභූත පදාර්ථ එකක් පමණක් වන බවට සාධනයක් ඉදිරිපත් කිරීමටය. ස්පිනෝසාගේ දර්ශනය නාම හා රූප යන ධර්මයන්ගේ පූර්ණ සාරූප්‍යතාව පිළිගනී. ඒ අනුව නාම ධර්මයන්ගේ ප්‍රවර්තනය කෙරෙහි මෙන් ම රූප ධර්මයන්ගේ ප්‍රවර්තනය කෙරෙහි ද බලපානුයේ එක ම නියමයන්ය. නාම ධර්මයන්ගේ පිළිවෙළ හා සම්බන්ධය ද රූප ධර්මයන්ගේ පිළිවෙළ හා සම්බන්ධය ද අනන්‍ය වූ තාදාත්ම්‍ය වූවක්ය යන්න ස්පිනෝසාගේ ඒකත්වවාදයෙන් දැක්වේ. ස්පිනෝසාට පෙර විසූ දාර්ශනිකයන්ට මහත් ගැටලුවක් වූ එක් දාර්ශනික ප්‍රශ්නයකට ස්පිනෝසාගේ මෙම දර්ශනය ඉතා සරල විසඳුමක් ඉදිරිපත් කරතැයි සිතිය හැකිය. එම ගැටලුව ජීවය හා ශරීරය යන අංශද්වය අතර වන අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳව වූවකි. ස්පිනෝසාගේ දර්ශනයට අනුව නාම ධර්මයන්ගේ ක්‍රියා පද්ධතිය මෙන් ම රූප ධර්මයන්ගේ ක්‍රියා පද්ධතිය ද සමාන්තරව, ස්වාධීනව පවතී. අන්තර්ක්‍රියාකාරිත්වයක් පිළිබඳ ප්‍රශ්නයක් මෙහි දී මතු නොවේ. එක් ධර්ම ක්‍රියා පද්ධතියකට විශේෂ වූ සිදුවීම් එම ධර්මයට ම විශේෂ වූ ප්‍රත්‍යය ධර්මයන් ඇසුරින් විවරණය කළ හැකි වේ. ස්වභාවවාදයට හෝ විඥානවාදයට නැඹුරු නොවන, දෙකට ම මධ්‍යවර්තී වූ, ඒකත්වවාදයක් ස්පිනෝසා විසින් පිළිගන්නා ලද බවක් බැලූ බැල්මට පෙනෙන නමුත් ඒ එසේ නොවූ බව ස්පිනෝසාගේ ඒකත්වවාදය ගැඹුරට විමසන විට පැහැදිලි වේ. ස්පිනෝසා විටෙක ස්වභාවවාදයට ද විටෙක විඥානවාදයට ද නැඹුරු වනු දක්නට ලැබේ. ස්පිනෝසාගේ යථෝක්ත ග්‍රන්ථයෙහි ආරම්භයෙහි දැක්වෙන පරිදි පරමාර්ථ සත්‍යය වශයෙන් සලකා ඇත්තේ ස්වභාව ධර්මයයි (Nature). භෞතික ක්‍රියා පද්ධති වූකලි ස්වභාව ධර්මයෙහි ක්‍රියා සන්තතිය මැයි. එහෙත් අවසානයේ දී ස්පිනෝසා විඥානවාදයට නැඹුරු වී ඇති බව පෙනේ. සියලු ම සත්තාව දිව්‍යමය ජීවනයක් ආශ්‍රය කොට පවත්නා බව පිළිගැනීමෙන් මෙය සිදු වේ. ස්වභාව ධර්මය එම දිව්‍යමය සත්තාව දෘශ්‍යමාන ස්වභාවයට පත් කරයි. මිනිසාට බුද්ධිමය වශයෙන් දෙවියන්ට ප්‍රේම කිරීමෙන් සකල විශ්වය හා සමභාවයට පැමිණ අනන්ත, අවිනශ්වර ස්වභාවයට පත් විය හැකි බව ස්පිනෝසාගේ පිළිගැනීම විය. මෙය විඥානවාදයකැයි නිශ්චය වශයෙන් ම කිව හැකිය.

හේගල්ගේ පරමාත්මය පිළිබඳ සංකල්පය විඥානවාදී පක්ෂයට නැඹුරු වූ ඒකත්වවාදයකට නිදසුනකි. හේගල්ගේ මතය අනුව ලෝකයේ සියලු ධර්මයන් ප්‍රභව කොට ඇත්තේ ආදිකල්පික පරමාත්මයයි (The Absolute). එම ආදිකල්පික පරමාත්මය චින්තාමය වෙයි. මනසෙහි සාරය චින්තනය නිසා පරමාත්මය මනෝමයය. මේ අනුව හේගල්ගේ දර්ශනයෙහි පරම සත්තාව මනස (Mind) හෙවත් ආත්මයයි (Soul). විශ්වය වහනය කෙරෙන මේ ආදිකල්පික ආත්මය කිසියම් විශේෂ පුද්ගලයකුගේ ආත්මයක් නොවේ. එය විශ්ව ව්‍යාපී, අනන්ත, සර්වත්‍රග ආත්මයයි. එය බුද්ධිමය වූ ද තාර්කික වූ ද සත්තාවක් නමුදු දේශ-කාල යන ප්‍රඥප්තීන්ට අනුව පවතින්නක් නොවේ. සකල විශ්වය ම විවරණය කළ යුත්තේ එම මූල ධර්මයට අනුවය. එය මූල ධර්මයක් වශයෙන් ගැණෙනුයේ කාල ප්‍රඥප්තියට අනුව නොවේ. තාර්කික වශයෙන් නැතහොත් බුද්ධිමය වශයෙන් අන් සියල්ලට පූර්වයෙන් එය සැලකිය යුතු හෙයිනි.

හේගල්ගේ පරමාත්මය ශුද්ධ ඒකත්වයක් නොවේ. එය බහුත්වය පූර්ණ වශයෙන් පිටු නොදකී. පරමාත්මය ශුද්ධ ඒකත්වයක් වශයෙන් ගතහොත් එම ඒකත්වයෙන් බහුත්වයක් ගම්‍යමාන විය නොහැකිය. පරමාත්මයෙහි බහුත්වයක් නොමැති නම් එය කෙසේ නම් බහුත්වයේ ප්‍රභවය විය හැකි ද යන පැනය නැඟිය හැකි වේ. පරමාත්මයෙහි අන්තර්ගත විවිධ සංකල්ප න්‍යායාත්මක වශයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධයකින් යුක්තව පවතී. එම සංකල්ප සමූහය ක්‍රමවත් සමස්තයකි. එම සමස්තය ස්වයංභූතය, ස්වසම්පූර්ණය. සත්‍ය වූ වාස්තවික ලෝකය මෙම ඒකත්වයෙන් ගම්‍ය වන්නේ සාධනය පූර්වාවයවයන්ගෙන් ගම්‍ය වන අයුරින්ය.

ඒකත්වවාදයෙන් ප්‍රතිරෝධී ධර්මයන්ගේ තාදාත්ම්‍යතාව ගම්‍ය වේ. පරම සත්තාව ඒකත්වය වේ නම්, එමෙන් ම එම ඒකත්වයෙන් බහුත්වය වහනය වේ නම් බහුත්වය ඒකත්වයෙහි අන්තර්ගත විය යුතුයි. ඒකත්වය ශුද්ධ ඒකත්වයක් විය නොහේ. මෙයින් අදහස් කෙරෙන්නේ ඒකත්වය හා බහුත්වය මෙන් ම සියලු ප්‍රතිරෝධී ධර්මයන් තාදාත්ම්‍ය බවයි. හේගල්ගේ ද්වන්ද්වාත්මක ක්‍රමයේ පදනම වන්නේ මේ මූලධර්මයයි.

එෆ්.එච්. බ්රැඩ්ලි නම් දර්ශනවාදියා ද විඥානවාදී ඒකත්වවාදියෙකි. බ්රැඩ්ලිගේ අවභාසය හා සත්තාව (Appearance and Reality) නම් ග්‍රන්ථයෙහි පළමුවන කොටසින් ඔහු අවභාසයෙහි පරස්පර විරෝධී ස්වභාවය අවධාරණයෙන් පවසයි. දෙවෙනි කොටස සත්තාව සම්බන්ධයෙනි. එහි පරමාත්මයෙහි ස්වභාවය අවධාරණයෙන් කියැවේ. බ්රැඩ්ලිගේ දර්ශනය අනුව හේතුව, ප්‍රත්‍යය, අවකාශය, කාලය, වස්තුව, ආත්මය වැනි ලෝක ව්‍යවහාර සංකල්ප ද ස්වභාවය, ප්‍රාථමික හා ද්විතීයික ගුණ ආදි දාර්ශනික සංකල්ප ද පරස්පර විරෝධීය. මේ සංකල්ප අවභාසාත්මක අංශයට අයත් වේ. දෙවෙනි කොටසෙහි තර්ක කෙරෙන්නේ භාවයන්ගේ පරස්පර විරෝධීතාව ඒවා අවභාසය වශයෙන් සුළු කොට සැලකීමට මුල් වන නිසා ම පරම සත්තාව පරස්පර විරෝධී නොවිය යුතු බවයි. එය සංස්ථිතික විය යුතුය; අවිරෝධී විය යුතුය. එමෙන් ම සත්තාව අනුභූත ස්වභාවයක් දැරිය යුතුය. අනුභූත වූවක් පරස්පරවිරෝධයෙන් තොරව සංකල්පනය නොකළ හැකි බව බ්රැඩ්ලිගේ මතය විය. එමෙන් ම සත්තාව සර්වසම්පූර්ණ විය යුතුය; අනූන විය යුතුය. පවත්නා සියල්ල එයට අයත් විය යුතුය. පරමසත්තාව සංස්ථිතික, අවිරෝධී, අනූන අනුභූතියක් නම් එය ස්වාධීන වූ භාවයන්ගේ බහුත්වයක් විය නොහැකිය. චින්තනය පවත්නා සෑම තැනෙක්හි ම මනෝමය වූ විඥප්තිය හා වාස්තවික භාවය අතර විශේෂය මතු වේ. මේ නිසා චින්තනය ඇති තැන ද පරස්පරවිරෝධය මතු වේ. මේ නිසා පරම සත්තාව හෙවත් පරමාත්මය චින්තනය ඉක්මවයි. පරමාත්මය යනු අව්‍යවහිත අනුභූතියට සදෘශ වූවකි. එහෙත් එය චින්තනාතික්‍රාන්ත ධර්මයකි. යමක් ආධ්‍යාත්මික (spiritual) වන පමණට එය පරම සත්තාවට ආසන්න වන බව බ්රැඩ්ලිගේ නිගමනය විය.

භාරත දේශයෙහි ද දර්ශනයේ ආරම්භයේ සිට ම ඒකත්වවාදී නිගමන ඉදිරිපත් කොට ඇත. හින්දු සහ බෞද්ධ යන සම්ප්‍රදායයන් දෙකෙන් ම කිසියම් ස්වරූපයකින් ඒකත්වවාදය ඉදිරිපත් කරන ලද බව පෙනේ. පළමු කොට ඒකත්වවාදය පිළිබඳ ඉඟියක් වේද - සාහිත්‍යයෙහි ම හමු වේ. ඍග්වේදයෙහි බහුදේව වාදය තුළින් ම ඒකත්වවාදී චින්තනය මතු වන අවස්ථා ඇත. පරම සත්තාව ඒකත්වයය යන චින්තනය “එකං සද් විප්‍රා බහුධා වදන්ති” (ඍ.වේ. 1,164.46) යන වේද මන්ත්‍ර පාඨයෙන් කියැවේ. උපනිෂද් යුගයේ දී එම පරමසත්තාව බ්‍රහ්මන් පදාර්ථය බව දැක්විණි.

බෞද්ධ දර්ශන ඉතිහාසයෙහි මාධ්‍යමික දාර්ශනිකයන් විසින් ආභිධර්මිකයන්ගේ ධර්මවාදය ප්‍රතික්ෂේප කරමින් සර්වධර්ම ස්වභාවය වශයෙන් ශූන්‍යතාව දක්වන ලදි. මුල් බුදු සමයෙහි අනාත්ම දර්ශනය හා ප්‍රතීත්‍ය සමුත්පාද දර්ශනය මුල් කොට ගෙන බිහි වූ මෙම ඒකත්වවාදය ද්වන්ද්වාත්මක තර්ක මගින් ලෝක ව්‍යවහාර සංකල්පයන් වන හේතු, ප්‍රත්‍ය, ගති ආදි සංකල්පයන් පරමාර්ථ වශයෙන් අසත්‍ය බව දැක්වීමෙන් සිද්ධය.

උපනිෂද් ග්‍රන්ථවල ඇති දාර්ශනිත නිගමන සියල්ල අන්‍යෝන්‍ය වශයෙන් අවිරෝධි වන්නේ යයි සැලකිය නොහැකිය. ඇතැම් තන්හි බ්‍රහ්මන් සත්‍යය ද ආත්මන් සත්‍යය ද ලෝකය ද තදාත්ම්‍ය යයි දැක්වෙන අතර වෙනත් තන්හි ඒවා නානාත්ව ධර්මයන් වශයෙන් දක්වා තිබේ. එහෙත් මුල් කාලයේ දී ම උපනිෂද් ධර්මය පරස්පරවිරෝධයෙන් ‍තොර සංස්ථිතික ඉගැන්වීමක් වශයෙන් දැක්වීමට ප්‍රයත්නයන් දරන ලද බව පෙනේ. වේදාන්ත දර්ශනයෙහි ප්‍රධාන න්‍යාය වශයෙන් ඒකත්වවාදය සලකන ලද්දේ එම ප්‍රයත්නය දැරූ ගෞඩපාද, ශඞ්කර වැනි අය විසිනි. ගෞඩපාදයන් විසින් මාණ්ඩුක්‍ය උපනිෂදයට කරන ලද කාරිකාවෙහි උපනිෂදයන්හි පරස්පරවීරෝධී යයි හැ‍‍‍ගෙන ප්‍රකාශනයන් පිළිබඳව විවරණයක් ඉදිරිපත් කරන ලදි. ගෞඩපාදයන්ගේ කාරිකාවෙන් භාරතීය අද්වෛතවාදී දර්ශනයෙහි මූලධර්ම පැහැදිලි කෙරේ. බ්‍රහ්මන් හා ආත්මන් සත්‍යයන්ගේ තදාත්ම්‍ය බව එහි දැක්වේ. ‘මායා’ සංකල්පය එහි ඉදිරිපත් කෙරේ. ගෞඩපාදයන්ගේ දර්ශනයෙහි දැක්වෙනුයේ නානාත්ව වූ ඉන්ද්‍රිය විඥෙය ලෝකය මායාවක් බවයි. අගින් ගිනිගත් දණ්ඩක් භ්‍රමණය කළ කල්හි ඇතිවන අලාත චක්‍ර මායාව මෙන් ලෝකයෙහි නානාත්වය ද මායාවකි. ගෞඩපාදයන්ගේ දර්ශනය කෙරෙහි ද මාධ්‍යමික හා යෝගාචාර බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන් බලපා ඇති බව පෙ‍නේ. බෞද්ධ විඥනවාදීන් විසින් බාහ්‍යාර්ථයන්ගේ අස්තිත්වය ප්‍රතික්ෂේප කිරීම සඳහා උපයුක්ත තර්ක ම ගෞඩපාදයන් විසින් ද යොදන ලදි.

ශංකරයන්ගේ දර්ශනය එක් මූලික පිළිගැනීමක් පදනම් කොට ඇත. එනම් ආත්මන් හා බ්‍රහ්මන් යන සත්‍යයන්ගේ තාදාත්ම්‍යයයි. ආත්ම බහුත්වයක් පිළිබඳ හැඟීම මෙන් ම නානාත්ව ලෝකයක් පිළිබඳ හැඟීම ද මායාවකි. මේ අනුව පරමසත්තාව එකක් පමණි. බහුත්ව ස්වාධීන සත්තාවන් වශයෙන් ඇතිවන සියලු ම උපලබ්ධි මායාවන් මිස සත්‍ය නොවේ. ශඩ්කරාචාර්යයන් පරමාත්මයෙහි අස්තිත්වය සනාථ කළේ නාගාර්ජුනයන් පරමාර්ථයෙහි සත්තාව සනාථ කළ අයුරින් නොවේ. නාගාර්ජුනයන් ලෝක ව්‍යවහාර සංකල්පයන්ගේ පරස්පරවිරෝධීතාව ද්වන්ද්වාත්මක තර්ක මගින් පෙන්වා පරමාර්ථයෙහි සත්‍යය සනාථ කිරීමට යත්න දැරීය. ශංකරාචාර්යයන් ශ්‍රැතිය පිළිබඳ ස්වකීය විවරණය සත්‍ය බව දැක්වීමෙන් ද එම විවරණය ප්‍රත්‍යක්ෂ විරෝධී නොවන බව දැක්වීමෙන් ද පරමාත්මය සනාථ කිරීමට උත්සාහ ගත්තේය. ශඞ්කරාචාර්යයන්ගේ දර්ශනයට අනුව උසස් ම මට්ටමින් පරමාර්ථ සත්‍යය පිළිබඳව ලබන ඥානය සියුම් අන්තර්ඥානයකි. එය ඉන්ද්‍රියඥානයක් හෝ තාර්කික ඥානයක් නොවේ. ලෝකයෙහි ඒකත්වය ශ්‍රැතිය අනුව ද තර්කය අනුව ද ගූඪ අන්තර්ඥානය අනුව ද එකසේ ම සිද්ධ බව ශඞ්කරාචාර්යයන්ගේ මතයයි. 12 වැනි සියවසෙහි ශ්‍රී හර්ෂයන් විසින් ද්වන්ද්වාත්මක තර්ක මගින් ද අද්වෛතවාදය සාධනය කිරීමට උත්සාහ ගන්නා ලදි.

දර්ශන විෂයෙහි පසුගිය අඩසියවස තුළ ඇති වූ වෙනස්කම් නිසා ලෝකයෙහි පරමාර්ථ ස්වභාවය පිළිබඳව චින්තාමය දාර්ශනික විසඳුම් සෙවීම කොතරම් අර්ථවත් වේද යන්න පිළිබඳව සැකය පහළ විය. තාර්කික යථානුභූතිවාදීන් (Logical Positivists) විසින් ‘පරමාත්මය’, ‘පරම සත්තාව’ ආදිය පිළිබඳ න්‍යාය සියල්ල අර්ථ ශූන්‍ය, ආධිභෞතික (metaphysical) න්‍යායයන් වශයෙන් සලකනු ලැබිණි. අනතුරුව බිහි වූ භාෂා විශ්ලේෂණ වාදයෙන් (Linguistic Philosophy) ඒකත්වවාදය හා බහුත්වවාදය වැනි දාර්ශනික න්‍යායයන් ව්‍යවහාර භාෂාව නිසා චින්තනය නොමඟට හැරීමෙන් මතු වන න්‍යායයන් බව හෙළි කෙරේ.

(කර්තෘ: පී.ඩී. ප්‍රේමසිරි)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකත්වවාදය&oldid=11470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි