ඒකබ්බෝහාරික
(සං. එකව්යාවහාරික). බු.ව. 100 දී පැවැත්වූ ද්විතීය ධර්ම සංගායනාවේ දී ස්ථවිරවාදීන්ගෙන් වෙන්ව ගිය භික්ෂූන් පිහිටුවාගත් මහාසාංඝික නම් වූ ආචාර්ය්යවාදයෙන් අවුරුදු සියයක් ඇතුළත දී බිහි වූ සතළොස් නිකායයන්ගෙන් එකකි. එ්කබ්බෝහාරිකයන් ද මහාසාංඝිකයන් හා ඔවුන්ගේ ම ශාඛාද්වයක් වූ ලෝකෝත්තරවාදීන් හා කෞක්කුටිකයන් ද අතර පොදුව පැවති ඉගැන්වීම් 48ක් වසුමිත්රාචාරීන්ගේ නිකායභේදෝපචරණචක්රයෙහි සඳහන් වේ. ඒ පොදු ඉගැන්වීම් බුද්ධ, බෝධිසත්ව, අර්හත්, ශ්‍රෝතාපන්න යන උතුමන් පිළිබඳව ද චිත්තචෛතසික ධර්ම, ක්ලේශයන්ගේ අනුශයගත හා පර්ය්යවස්ථාන අවස්ථා, අසංඛතය යනාදිය පිළිබඳව ද වේ. තථාගත බුදුවරුන් ලෝකධර්මයට යටත් නොවන බවත්, සියලු තථාගතවරයන්ගේ ධර්මචක්රය එක සමාන නොවන බවත් බෝධිසත්වයන් කලල අවස්ථාවෙහි පටන් අනුක්රමයෙන් වැඩීම් සඞ්ඛ්‍යාත අවස්ථාවන්ට භාජන නොවන බවත්, එතුමන් මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය සඳහා කැමති විට පහත් සත්වයන් අතර උපදනා බවත් අපගේ බුද්ධියෙන් චතුරාර්‍ය්‍යසත්‍යය මැනැවින් අවබෝධ කට හැකි බවත්, සම්‍යක් සංයමය සම්පූර්ණයෙන් ලබාගත් තැනැත්තේ සියලු බන්ධනයන්ගෙන් (යෝගයන්ගෙන්) මිදෙන බවත් එ්කබ්බෝහාරික නිකායයට අයත් මූලික ඉගැන්වීම් අතර වේ.
සෙසු මහාසාංඝික නිකායයන් හා එ්කබ්බෝහාරිකයන් අතර ඉගැන්වීම් අතින් පැවති අත්‍යන්ත සාම්‍යය කරණකොටගෙන වෙන ම නිකායයක් වශයෙන් වැඩි කලක් නොපැවත එ්කබ්බෝහාරික නිකාය සෙසු නිකායයන්හි ම නිමග්න වී ගියේය.
(සංස්කරණය: 1974)