ඒකාවේරිය

සිංහල විශ්වකෝෂය වෙතින්
15:53, 28 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('[රෞවොල්ෆියා සෙර්පෙන්ටීනා - Rauwolfia serpentina (L.) Benth. ex Kurz.]. අඩ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

[රෞවොල්ෆියා සෙර්පෙන්ටීනා - Rauwolfia serpentina (L.) Benth. ex Kurz.]. අඩියක් දෙකක් උසට වැඩෙන ඍජු, කාෂ්ඨීය, බහු වාර්ෂික ශාකයකි. එහි මුල දිගය, ඝනය, වටකුරුය; අග්‍රය දක්වා ක්‍රමයෙන් හීන් වේ. එක් වලයක (whorl) කොළ 3ක් හෝ 4ක් තිබේ. කොළය අඟල් 3 සිට 5 දක්වා දිගය; අඟල් 2ක් පමණ පළලය, ලන්සාකාරය; බූවක් නැත. කොළදාරය තරංගීය. කොළයේ උඩ පැත්ත දීප්තිමත් පලාවන් පාටය. යටි පැත්ත එපමණ දීප්තිමත් නොවේ. හිමාලය ප්‍රදේශය වැනි තද ශීතල පෙදෙස්වල වැවෙන ඒකාවේරිය පැළෑටිවල කොළ සිසිර ඍතුවේ දී වැටේ. රතු නටු සහිත කක්ෂීය බහු-අක්ෂවල (cymes) මල් හටගනී. මණිය රතුය. මුකුටය ළා රතට හුරු සුදුපාටය. ඵලය මිමි. 6ක් පමණ දිග අෂ්ටිලයකි. එය ඉදුණු විට තද දම්පාටය.

ලංකාව, ඉන්දියාව, බුරුමය, ජාවා ආදි ප්‍රදේශවල ඒකාවේරිය වැවේ. ලංකාවේ එය දක්නට ලැබෙන්නේ මූදු මට්ටමේ සිට අඩි 2,000ක් පමණ උස් වූ තෙතමන හා සෙවණ ඇති ප්‍රදේශවලය. ඉන්දියාවේ ගංගා නම් නදියේ තැනිතලාවල ද සිම්ලාහි සිට ඇසෑම් දක්වා හිමාලයේ බෑවුම්වල ද බටහිර හා නැගෙනහිර ඝාට් කඳුවැටිවල ද මේ පැළෑටිය වැවේ. මෑතක දී සිට ඒකාවේරිය බහුල ලෙස වවනු ලැබේ. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ඒකාවේරිය මුල් විශාල ප්‍රමාණයක් ලංකාවෙනුත් ඉන්දියාවෙනුත් පිටරට යවන ලදි.

ඒකාවේරිය මුල් පුරාතනයේ සිට ම ඖෂධයක් වශයෙන් ඉන්දියාවේ භාවිත විය. ඒකාවේරිය මුල් නිද්‍රාජනක ඖෂධයක් බව මිනිසුන් බොහෝ කලක සිට දැන සිටි බව පෙනේ. ඒකාවේරිය මුල්වලින් ලබා ගන්නා සාරය රුධිර පීඩනය අඩු කරන බවත් නින්ද නොයෑම හා මානසික ආබාධ වැනි රෝගවලට මනා ඖෂධයක් වන බවත් දැන් දැනගෙන තිබේ.

විවිධ ආබාධ බොහෝ ගණනාවකට පිළියමක් වශයෙන් ආයුර්වේදයෙහි ඒකාවේරිය හඳුන්වා ඇතත් බටහිර රසායන විද්‍යාඥයෝ 1931 වන තුරු ඒ ගැන කිසි සැලකිල්ලක් නොදැක්වූහ. ඒ වර්ෂයේ දී සිඩික් හා සිඩික් (Siddique and Siddique, Journal of the Indian Chemical Society, 8, 1931) විසින් ඒකාවේරිය මුල්වලින් ඇල්කලොයිඩ පහක් ලබාගන්නා ලදි. ඒවා අජ්මලින් (ajmaline), අජ්මලිනින් (ajmalinine), අජ්මලිසින් (ajmalicine), ස’පෙන්ටින් (serpentine) හා ස’පෙන්ටිනින් (serpentinine) යන නම්වලින් හඳුන්වන ලදි. කොළ දවා ගත් අළුවල පොටෑසියම් කාබනේට්, පොස්පේට්, සිලිකේට්, යකඩ හා මැංගනීස් ඇත. ඒකාවේරිය පිළිබඳ අධ්‍යයනයට සැබෑ අනුබලය ලැබුණේ 1952 දී රෙස’පින් (reserpine) නමැති ඇල්කලොයිඩය එහි මුල්වලින් ලබාගත් පසුවය. මේ පිළිබඳ ගෞරවය මුලර්, ෂ්ලිට්ලර් හා බයින් (Muller, Schlittler and Bein, Experientia, 8, p. 338, 1952) යන අයට හිමි වේ. ඒකාවේරියවල තිබෙන මන්දාතතික (hypotensive) හා ගමක (sedative) ගුණයේ සක්‍රිය මූලය රෙස’පින්ය. එය ලබාගත් දා පටන් අද දක්වා මේ ශාකයෙන් ඇල්කලොයිඩ 20ක් පමණ ලබාගෙන තිබේ. කලින් සඳහන් කරන ලද ඇල්කලොයිඩ හයත් සමග පහත සඳහන් ඒවා මේ ශාකයෙන් ලබාගන්නා වඩා වැදගත් ඇල්කලොයිඩ වේ: රෞවොල්ෆිනින් (rauwolfinine), රෞපින් (raupine) හෙවත් සාර්පජින් (sarpagine), රෞහිම්බින් (isorauhimbine), රෙස’පිනින් (reserpinine), යොහිම්බින් (yohimbine). ඇල්කලොයිඩ හැර ඔලෙයොරෙසින් ද ස්ටෙරොලයක් (sterol) ද අසංතෘප්ත ඇල්කොහොල ඔලෙයික් අම්ලය ද ෆුමාරික් අම්ලය ද ග්ලූකෝස් ද සුක්රෝස් ද ඔක්සිමෙතිල් ඇන්ත්‍රක්විනෝන්වල ව්‍යුත්පන්නයක් ද ඛනිජ ලවණ ද ඒකාවේරිය මුල්වල ඇත.

මේ ශාකය පිළිබඳව ඉන්දියාවේ වන පර්යේෂණ ආයතනය මගින් පවත්වන ලද පර්යේෂණවලින් වැදගත් කරුණු රැසක් අනාවරණය වී ඇත. මුල්වල අඩංගු ඇල්කලොයිඩ ප්‍රමාණය 0.94% සිට 1.28% දක්වා වෙනස් වන බව මාස 6 සිට අවුරුදු 4 දක්වා වයස් වූ ශාකයන් පිළිබඳව කරන ලද පර්යේෂණවලින් දැනගෙන තිබේ. ශාකයක මුල්වලින් ලබාගත් උපරිම ඇල්කලොයිඩ ප්‍රමාණය 1.70%කි. ශාකයේ වර්ධනය අවුරුදු 4ක් පමණ වන තෙක් එහි මුලෙන් ලබාගත හැකි ඇල්කලොයිඩ ප්‍රමාණයේ වැඩි වෙනසක් නොපෙනේ. මේ පරීක්ෂණවලින් බැසගත් තවත් වැදගත් නිගමනයක් නම් මුලේ කාෂ්ඨමය කොටසෙහි තිබෙන ඇල්කලොයිඩ ප්‍රමාණයට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් මුලේ පොත්තෙහි තිබෙන බවය. මුලේ පොත්තෙන් ලබාගත හැකි ඇල්ක‍ලොයිඩ සාමාන්‍ය ප්‍රමාණය 2.29% වන අතර මුලේ කාෂ්ඨමය කොටසෙහි තිබෙන්නේ 0.30%ක් පමණි.

ඒකා‍වේරිය ශාකය සාර්ථක ලෙස වැවිය හැකිය. ශාකයේ මුල හොඳින් වර්ධනය වීමට වැලි සහිත ලෝම් පස වඩා සුදුසු බව පෙනේ. ශාකය ප්‍රචාරණය කිරීමට ඉතා හොඳ ක්‍රමය බීජ මගිනි. කඳේ හා මුලේ කැබලි කපාලීමෙන් ද ශාකය වර්ධක ලෙස ප්‍රචාරණය කරනු ලැබේ. කෘමීන්ගෙන් හෝ දිලීරවලින් හෝ ශාකයේ රෝග ඇති නොකෙරේ.

රෞවොල්ෆියා ඩෙන්සිෆ්ලෝරා (R. densiflora. Benth. ex. Hook. f.) නමින් තවත් විශේෂයක් ලංකාවේ දක්නට ලැබේ. කඳුකර ප්‍රදේශයේ අඩි 6,000ක් පමණ උස ප්‍රදේශ දක්වා එය වැවේ. මේ ශාකයෙනුත් රෙස’පින් ඇල්කලොයිඩය ලබාගෙන තිබේ. එහෙත් එහි තිබෙන මේ ඇල්කලොයිඩයේ ප්‍රමාණය කුඩාය. ඒකාවේරිය අපොසිනාසේ (බ.) කුලයට අයත්ය.

ආයුර්වේද මතය

සංස්කෘත පොත්වල නාකුලී, සර්පගන්ධා, චන්ද්‍රිකා යන නම්වලින් හැඳින්වෙන්නේ ඒකාවේරිය බව පැහැදිලි වේ. නූතන විද්‍යාත්මක පරීක්ෂණයන්ගෙන්, අධික රුධිරපීඩනය අඩුකරන ගුණයක් ඒකාවේරියවල ඇති බව සොයාගැනීමට පෙර ද මෙහි මදකාරී ගුණයක් ඇති බව පැරැණියන් දැන සිටි බවට සාධක තිබේ. පශු වෛද්‍ය ක්‍රමයේ යෙදෙන ඇතැම් බෙහෙත්වලට කලෙක සිට ම ඒකාවේරිය යොදන බව පශු වෛද්‍යවරු කියති. සර්ප විෂට ද යෙදේ. මුල තිත්ත බලකාරක ද්‍රව්‍යයකි. එසේ ම එහි ශමනකාරී ගුණය ද පවතී. මේ නිසා ළමයින් නිදිකර තැබීම පිණිස බිහාරයේ ඇතැමුන් මේ ද්‍රව්‍යය උපයෝගී කරගන්නා බව සඳහන් වේ.

මේ සඳහා යොදනුයේ ඉතා සුළු මාත්‍රාවකි. මාත්‍රාව වැඩි වුවහොත් ශ්වසනය අවරෝධ කර මරණය පවා සිදු කරයි. එසේ වනුයේ නිදිමත වැඩි කිරීම නිසායි; ශ්වසනය පාලනය කරන මධ්‍යස්ථානය පීඩා කිරීම නිසායි.

ඒකාවේරිය ගස මුළුමනින් ගෙන කෂාය කර බීමෙන් ගර්භාශය මිරිකේ. මේ නිසා ගැබිණියකට ඒකාවේරිය අහිතයි. ගබ්සා වීම සිදු විය හැකි හෙයිනි.

නූතන විද්‍යා පර්යේෂණ අනුව ඒකාවේරිය ගසෙන් වෙන් කොට ලබා ගන්නා රසායනික පදාර්ථ තනි තනිව යෙදීමක් ආයුර්වේද චිකිත්සාවේ නොමැත. ගස මුළුමනින් ම ගන්නා අතර කෂාය වශයෙන් හෝ චූර්ණය අනෙක් අනුපානයත් සමඟ හෝ ගන්නා නිසා හෘදයේ ශක්තිය හීන කිරීමක් හෝ ස්නායූන්ගේ ක්‍රියා හීන කිරීමක් හෝ ක්ෂණිකව සිදු නොවේ.

කෙසේ නමුත් ඒකාවේරිය තනි බේතක් සේ යෙදීම - විශේෂයෙන් වැඩි මාත්‍රාවක් දිගු කලක් යෙදීම - නොමනා බව දත් පැරැන්නන් ඒකාවේරිය භාවිතය බොහෝ සේ ඈත් කළ බව පෙනේ. සර්ප දෂ්ටයේ දී බාහිර යෝග සඳහා යොදා ගනු ලැබේ. රුධිර පීඩනය අඩු කිරීම පිණිස මුල් චූර්ණය යෙදීම නූතන ඇතැම් ආයුර්වේද වෛද්‍යවරයන් විසින් කරනු ලැබේ.

(කර්තෘ: විලියම් අල්විස්)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකාවේරිය&oldid=11484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි