ඒක්බතානා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:20, 30 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වයඹදිග ඉරානයේ මෙකල හමදාන් නම් පළාතේ වූ පැරණි න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වයඹදිග ඉරානයේ මෙකල හමදාන් නම් පළාතේ වූ පැරණි නගරයකි. වර්තමාන හමදාන් නගරය පිහිටා ඇත්තේ ද පුරාණ ඒක්බතානා පිහිටි භූමියේ මය. පර්සියාවේ ඔරොන්ටීස් හෙවත් අල්වන්ද් නම් කන්ද පාමුල තැනිතලා ප්‍රදේශයෙහි ඉදි කොට තිබුණු මේ නගරය පැරණි මීඩියාවේ අගනුවර විය. මෙනුවර ගැන බයිබලයේ එස්රා පොතේ සඳහන්ය. ක්‍රි.පූ. 678 පමණේ දී මීඩියාවේ ප්‍රථම රජු වූ දියෝසිස් නමැත්තා විසින් ඒක්බතානා නුවර ගොඩනංවන ලද බව හෙරොඩොටස්ගේ මතයයි. ක්‍රි.පූ. 550 දී ඇකිමීනියානු (පර්සියානු) සයිරස් රජු විසින් යටත් කරගන්නා ලද මෙනුවර එම පෙළපතේ රජුන්ගේ ගිම්හාන නිවාසස්ථානය බවට පත් විය. මහත් ඓශ්වර්යයකින් බැබළෙමින් පැවැති ඒක්බතානා නුවර පර්සියානුන්ගෙන් උදුරා ගත් මහා ඇලෙක්සැන්ඩර් රජ එය කොල්ලකා ගිනි බත් කෙළේය. පාර්තියන් රජවරුන්ගේ අගනුවර වශයෙන් බොහෝ කලක් පැවති ඒක්බතානා නගරය ක්‍රි.ව. 645 දී අරාබීන් අතට පත් විය. වර්තමාන හමදාන් නගරය ඇති වූයේ එපෙදෙස ඉස්ලාමිකයන් අතට පත් වූ පසුය. කීර්තිමත් මුස්ලිම් වෛද්‍ය ග්‍රන්ථ රචකයකු වූ දාර්ශනික අවිසෙනා (බ.) ඔහුගේ අවසන් තුදුස් වසර ගත කෙළේ මෙනුවරය.

නගරය අවට ඇති නොයෙකුත් පැරණි නටබුන් අතර ඇකිමීනියානු සෙල්ලිපි ද වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒක්බතානා&oldid=11488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි