ඒකාග්‍රතා

සිංහල විශ්වකෝෂය වෙතින්
16:03, 31 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('යෝග දර්ශනයෙහි සඳහන් වන චිත්ත භූමියකි; සාධන මාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

යෝග දර්ශනයෙහි සඳහන් වන චිත්ත භූමියකි; සාධන මාර්ගයකි; බෞද්ධදර්ශන සම්ප්‍රදායයන්හි ද සඳහන් වන මාර්ගාංගයකි; ධ්‍යානාංගයකි; සර්ව චිත්තසාධාරණ චෛතසිකයකි; චිත්තමහාභූමි ධර්මයකි; සියලු භාරතීය දර්ශනයන් අතර සාධාරණව සම්භාවිත වූ සමාධිවාචක මූල පදයකි.

ප්‍රාග් බෞද්ධ ප්‍රභවයක් ඇති, නිරතුරුව සිත හා සම්බන්ධව උපයුක්ත වූ, ඒකාග්‍ර ශබ්දය උපනිෂද් යුගයේ පටන් භාරතීය දාර්ශනික හා ආගමික ව්‍යවහාරයෙහි සම්භාවිත වූ බවත්, චිත්තශමථය හා යෝගසාධනය ඇසුරින් ක්‍රමවත් අර්ථවිකාශයකට ලක් වූ බවත්, සූත්‍ර යුගයේ දී විශිෂ්ටාර්ථවාචක පාරිභාෂික පදයක් වශයෙන් ‘ඒකාග්‍රතා’ ස්වරූපයෙන් ශෛලිගත වූ බවත් සාහිත්‍යමය සාක්ෂි අනුව පෙනී යයි.

ඒකාග්‍ර ශබ්දයේ ප්‍රයෝග උපනිෂද් ග්‍රන්ථයන්හි ද (මෛත්‍රී.6.27) පුරාණයන්හි ද (භාගවත.4.24) මහාභාරතයෙහි ද (12.12726; 13.3368) භගවද්ගීතාවෙහි ද (6.12; 18.72) රාමායණයෙහි ද (2.23, 28; 71.31; 103.11) දක්නට ලැබේ.

මෙකී ප්‍රයෝග ඇසුරින් ඒකාග්‍ර ශබ්දයේ සාධාරණාර්ථ කෝෂකාරයන් විසින් විවරණය කොට ඇති බව පිළිගත හැකිය. සිතෙහි එකඟ බව, වික්ෂේප රහිත බව, අනාකුල බව, අනන්‍යසාධාරණ බව ඒකාග්‍ර ශබ්දයෙන් ගම්‍ය වන අර්ථ වශයෙන් කෝෂකාරයෝ දක්වති (අමරකෝෂ, 3.2.29; අභිධානචින්තාමණි, 1458; මේදිනීකෝෂ,121; ශබ්දකල්පද්‍රැම, 1.294).

යෝග දර්ශනයට මෙන් ම බෞද්ධ දර්ශනයට ද පොදුවේ පවත්නා පාරිභාෂික පදයක් වූ ඒකාග්‍රතා ශබ්දය බ්‍රාහ්මණ සංස්කෘතියට හා ශ්‍රමණ සංස්කෘතියට අයත් පැරණි චින්තකයන් හා ශාස්තෘන් අතර ප්‍රචලිත වූ විමුක්ති මාර්ගයන්ගේ සමාන ලක්ෂණ හකුළුවා දක්වයි.

දෙවියන් යැදීමෙන් හා පිදීමෙන් බාහිර වශයෙන් විමුක්තිය පසක් කළ නොහැකි බවත් සත්‍යාභිසමයේ ඒකායන මාර්ගය අධ්‍යාත්ම ශාන්තිය (අජ්ඣත්තසන්තී) බවත් පසුකාලීන වෛදිකයන් අතර කෙමෙන් කෙමෙන් ප්‍රචලිත වීම නිසා ඉන්ද්‍රිය සංවරය ආදිචරණ කොට අධිචිත්ත ශික්ෂාමාර්ග උපනිෂද් යුගය වන විට ප්‍රමාණවත් පරිදි භාරතය තුළ පැතිරී විසිරී ගිය බව අනුමාන කළ හැකිය. ඊශ්වරවාදය හා ආත්මවාදය ගුරු කොටගත් ආචාර්යවරුන් අතර මේ ශික්ෂාමාර්ග යෝග ස්වරූපයෙන් වැඩුණු අතර අනීශ්වරවාදය හා අනාත්මවාදය ගුරු කොටගත් බෞද්ධයන් අතර ඒ ශික්ෂාමාර්ග භාවනා ස්වරූපයෙන් වැඩුණු බව ඓතිහාසික කරුණු අනුව පිළිගත හැකිය. යෝග දර්ශනය හා බෞද්ධ දර්ශනය අතර අන්‍යෝන්‍ය වශයෙන් බලවත් සම්පර්කයක් පැවති බව ඒකාග්‍රතා පිළිබඳ විවරණයෙන් වඩාත් ස්ඵුට වේ.

යෝග දර්ශනාගත ඒකාග්‍රතා

යෝග යනු චිත්ත වෘත්තියේ නිරවශේෂ නිරෝධයයි (යොගඃ චිත්ත වෘත්ති නිරෝධඃ - යොගසූත්‍ර 1, 2). මෙකී චිත්ත වෘත්තීන් ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය හා අවිද්‍යා - අස්මිතා - රාග - ද්වේෂ - අභිනිවේශ සංඛ්‍යාත සංස්කාර මගින් උත්පාදනය කරනු ලබන බැවින් අභ්‍යාසයෙන් හා වෛරාග්‍යයෙන් තොරව ශමථයකට පත් කළ නොහැකිය. ගුණ විශේෂය අනුව මිනිස් සිත භූමි වශයෙන් වර්ග කොට දැක්විය හැකිය. ක්ෂිප්ත, මූඪ, වික්ෂිප්ත, ඒකාග්‍ර, නිරුද්ධ යනුවෙන් ව්‍යාසපාදයෝ සිතෙහි භූමි පංචකයක් දක්වති (යොගභාෂ්‍ය, 1.1). ක්ෂිප්ත වූ සිත රජස්ගුණ බාහුල්‍යය නිසා නිරතුරුව චංචලය; බහිර්මුඛය; ව්‍යාවෘතය. මූඪ සිත තමෝගුණ බාහුල්‍යය නිසා විවේක බුද්ධියෙන් තොරය; පියවි වශයෙන් අලසය; කාර්යය සාධනයෙහි ලා අකර්මණ්‍යය. වික්ෂිප්ත සිත සත්ත්වගුණය නිසා විටෙක ස්ථිරය ; එහෙත් බොහෝ විට අස්ථීරය; සුඛසහගත විෂයෙහි ඇලෙනසුලුය; දුක්ඛසහගත විෂයයන් නුරුස්නාසුලුය. ක්ෂිප්ත,මූඪ, වික්ෂිප්ත යනුවෙන් හැඳින්වෙන මේ සිත් තුන සමාධියට ප්‍රතිපක්ෂය; යෝග සාධනයට අයෝග්‍යය. සිව්වැනි චිත්තභූමිය වූ ඒකාග්‍ර සිත සාකල්‍යයෙන් සත්ත්ව ගුණයෙන් අනූන බැවින් ද වික්ෂේපයෙන් තොර බැවින් ද නාමරූප වශයෙන් ලැබෙන යම් අරමුණක් වේ ද එහි ස්ථිරව පිහිටයි; එම අරමුණ පිළිබඳ අවිපරීතඥානය ලබයි. ඒකාග්‍ර සිත සාකල්‍යයෙන් බහිර් වෘත්තියෙන් තොරය. පස්වැනි චිත්තභූමිය වූ නිරුද්ධ සිත නිර්මල සත්ත්ව ගුණයේ සම්පර්කය නිසා චිත්ත වෘත්තීන්ගේ නිරවශේෂ නිරෝධය සලසයි. ඒකාග්‍ර සිත ද නිරුද්ධ සිත ද වෛරාග්‍යය හා යෝග සාධනය පිණිස සර්ව ප්‍රකාරයෙන් යෝග්‍යයි.

යෝග සාධනයේ සමාරම්භය ඒකාග්‍රතාවයි. එනම් රූපධර්ම - නාමධර්ම - ඊශ්වරාදි වශයෙන් ලැබෙන යම් එක් අරමුණක් කෙරෙහි අනන්‍ය සාධාරණ වශයෙන් චිත්තසමාධිය පිහිටුවීමයි. විවිධ අරමුණු විෂයෙහි ව්‍යාවෘත වූ සර්වාර්ථතා නමැති චිත්තවෘත්ති ස්ථිර ලෙස හා නිරන්තර ලෙස පාලනය කිරීමෙන් ඒකාග්‍රතාව සැලසේ. විවේක බුද්ධියෙන් තොර වූ පුද්ගලයා දුර්දාන්ත, අවිනීත හැඟීම් මගින් පාලනය කරනු ලබයි. එම නිසා ස්වීය චිත්තවෘත්ති කෙරෙහි බුද්ධියේ ආධිපත්‍යය පිහිටුවීම යෝගියා සතු පළමු කාර්යයයි. යෝගසාධනය ඒකාග්‍රතාවෙන් ආරම්භ වන්නේ ඒ නිසා මැයි. චිත්තවෘත්තීන් උපදවන ඉන්ද්‍රිය හා සංස්කාර ඒකාග්‍රතාව මගින් පාලනය කරනු ලබයි. මෙකී පාලන ශක්තිය ලත් යෝගියා චිත්තප්‍රවාහය අභිමත පරිදි නැවැත්වීමටත් ස්වීය අවධානය අභිමත අරමුණක් කෙරෙහි පිහිටුවීමටත් සමත් වෙයි. විචිත්‍ර අරමුණු කෙරෙහි ඇති වන ඇලීම්, බැඳීම් නිසා නිරන්තරයෙන් වික්ෂිප්ත වූ සිත වෛරාග්‍යයෙන් දමනය කටයුතුයි. සිතෙහි ප්‍රසාදය, ස්ථීරත්වය හා ඒකාග්‍රතාව ප්‍රගුණ කිරීම සඳහා කරුණා, මෘදුතා, උපේක්ෂා, සුඛ, දුඃඛ, පුණ්‍ය, අපුණ්‍ය යන විෂයයන් භාවනා කිරීම හිතකර බව යෝගදර්ශනය දක්වයි. නිරන්තරයෙන් ප්‍රගුණ කළ අභ්‍යාසයෙන්, සාධනයෙන් හා කායික නිරෝගතාවෙන් තොරව ඒකාග්‍රතාව ලබාගත නොහැකිය. එම නිසා යෝග දර්ශනය සමාධිලාභය සඳහා අනුපූර්ව උපාය මාර්ගයක් දක්වයි. යම-නියම-ආසන-ප්‍රාණායාම-ප්‍රත්‍යාහාර-ධාරණ-ධ්‍යාන-සමාධි යන අෂ්ටවිධ යෝගාංග අධ්‍යාත්ම සංවර්ධනය පිණිස අනුපිළිවෙළින් දක්වා ඇත (යෝගසූත්‍ර II, 29). පළමු යෝගාංගය යටතේ අහිංසා-සත්‍යය-අත්තේය-බ්‍රහ්මචර්‍ය්‍යය හා අපරිග්‍රහය ප්‍රගුණ කිරීමෙන් යෝගියා ශීල විශුද්ධිය ලබයි. දෙවැනි යෝගාංගය යටතේ හෙතෙම ශෞචය-සංතෝෂය, තපස, ස්වාධ්‍යාය හා ඊශ්වර ප්‍රණිධානය යන ගුණාචාර ප්‍රගුණ කරයි. ආසන හා ප්‍රාණායාම යන යෝගාංග හා ඒකාග්‍රතා අභ්‍යාසය අනුව හෙතෙම පිළිවෙළින් නිශ්චලත්වය ද ක්‍රමවත් ආශ්වාස-ප්‍රශ්වාසය ද සිතෙහි වික්ෂේපරහිතබව ද ලබයි. ප්‍රත්‍යාහාරය යටතේ හෙතෙම බාහිර ලෝකයෙන් ඉවත්ව අධ්‍යාත්මය තුළ වෙසෙයි. ඒකාග්‍රතා සහිත ධාරණාධ්‍යාන හා සමාධි යන අන්තරංග සාධන මගින් හෙතෙම සම්ප්‍රඥාන සමාධිය ලබයි. ධාරණා යනු එක් විෂයයක් කෙරෙහි සිත පිහිටුවීම බැවින් එය ඒකාග්‍රතාව ම බව පෙනෙතත් මේ දෙක අතර සියුම් වෙනසක් විද්‍යමානය. සිතෙහි වික්ෂිප්ත බව වළක්වන ඒකාග්‍රතාව පූර්වගාමී අවස්ථාවකි. වික්ෂේපයෙන් තොර වූ සිත අවබෝධය පිණිස එක් අරමුණක රඳවන ධාරණාව එහි ම පශ්චාද්ගාමී පරිණත අවස්ථාවකි.

එක් අරමුණක පිහිටුවනු ලැබූ ධාරණාව හෙවත් අරමුණුවලින් බාධා නොලැබ එම අරමුණෙහි ම නිරන්තර වශයෙන් පැවැත්වීම ධ්‍යානයයි. එහි ද ඒකාග්‍රතාව අන්තර්ගතය.

ධ්‍යානයට අනතුරුව ලැබෙන අවසාන යෝගාංගය සමාධියයි. ඒකාග්‍රතාව මෙහි ලා අග්‍රඵල ලබයි.

අතීන්ද්‍රියඥානාභිසමයේ ඒකායන මාධ්‍යය ඒකාග්‍රතාවයි. මෙය වැඩීමේ ක්‍රමය නිර්දේශ කොට දක්වන අධිමානසික ශික්ෂාව විශිෂ්ට අධ්‍යාත්ම විද්‍යාත්මක සිද්ධාන්ත ගුරු කොටගත් විවිධ දර්ශනයන්ට එක සේ පිළිගත හැකි විය. ආස්තික සම්ප්‍රදායයට අයත් දර්ශන අතර ද ජෛනාදි බාහිර දර්ශන අතර ද ඒකාග්‍රතා ශික්ෂාව එක සේ සම්භාවිත වූයේ මේ නිසා මැයි.

බෞද්ධ දර්ශනාගත ඒකාග්‍රතා

මේ ඒකාග්‍රතා ශබ්දය බෞද්ධ දර්ශනයෙහි හා චරණයෙහි ලා උපයුක්ත වූ මූල පදයකි. නිරතුරුව සිත හා සම්බන්ධව සඳහන් වන ඒකාග්‍රතා ශබ්දය පාලි සාහිත්‍යයෙහි චිත්තෙකග්ගතා, චිත්තස්සෙකග්ගතා යන රූපද්වයෙන් දැක්වේ. පාලි සඟි පොත්වල ද ථෙරවාදී අභිධර්ම ප්‍රකරණවල ද ඒකාග්‍රතා ශබ්දය නොයෙක් තැන නොයෙක් අර්ථ නිරූපණය කිරීම සඳහා උපයුක්ත වී ඇති බව පැහැදිලිව පෙනේ.

නාමධර්මයක් හෝ රූපධර්මයක් හෝ අරමුණු වශයෙන් ගෙන එහි සිත පිහිටුවීමෙන් ප්‍රගුණ කොට ගනු ලබන සිතෙහි එකඟබව එකග්ගතා ශබ්දයෙන් ගම්‍ය වන සරල අර්ථයයි. එකග්ග ශබ්දයට සූත්‍රාන්තයන්හි යොදා ඇති සමාහිත නමැති අධිවචනයෙන් ද මේ බව වඩාත් ස්ඵුට වේ (අංගුත්තර, I.70; II.14, 29; III.391). සූත්‍රාන්තාගත ධ්‍යාන විස්තරයන්හි සඳහන් වන “චෙතසො එකොදිභාව” යන ශබ්දය ද අර්ථ වශයෙන් චිත්තෙකග්ගතා ශබ්දයට බෙහෙවින් සමාන වූවකි.

රාගාදි ක්ලේශයන් හා විතර්කාදි ඖදාරික චෛතසික ඒකාග්‍රතාවෙන් සංසිඳේ. එබැවින් ඒකාග්‍රතාව අවික්‍ෂෙප සංඛ්‍යාත සමාධියයි. මේ අර්ථයෙන් ඒකාග්‍රතා ශබ්දය සමාධි ශබ්දයේ අධිවචන වශයෙන් සූත්‍රාන්තයන්හි දැක්වේ. ඒකාග්‍රතාව සමාධිය ම බවත් සතර සතිපට්ඨානය සමාධි නිමිති බවත් සතර සම්‍යක් ප්‍රධානය සමාධි පරිෂ්කාර බවත් ඒ ධර්මයන්ගේ ම ආසේවනය සමාධි භාවනාව බවත් බුදුහු චුල්ලවෙදල්ල සූත්‍රයෙහි දේශනා කරති (යා ච ඛො ආවුසො විසාඛ චිත්තස්ස එකග්ගතා අයං සමාධි. චත්තාරෝ සතිපට්ඨානා සමාධිනිමිත්තා චත්තාරො සම්මප්පධානා සමාධි පරික්ඛාරා යා තෙසං යෙව ධම්මානං ආසෙවනා භාවනා බහුලීකම්මං අයං තත්ථ සමාධිභාවනා - මජ්ඣිම.I.301).

සමාධියේ විශිෂ්ට ලක්ෂණය ඒකාග්‍රතාවයි. ධ්‍යානය එහි ආසන්න කාරණය වේ (එකග්ග ලක්ඛණො සමාධි. තස්ස ඣානානි පදට්ඨානං-නෙත්ති. 287).

බුදුන්ගේ මූලික දේශනාව චතුරාර්‍ය්‍ය සත්‍යයයි. සිව්වැනි සත්‍යය වූ මාර්ග සත්‍යයේ අටවැනි පියවර සම්‍යක් සමාධියයි. ඒකාග්‍රතාව මෙකී සමාධිය ම බැව් ධම්මසංගණි පකරණයෙහි අවධාරණයෙන් දැක්වේ. චිත්තස්සෙකග්ගතා ශබ්දය එහි ලා මෙසේ විවරණය වේ: කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා ? යා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති, සංඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්‍රියං සමාධි බලං සම්මාසමාධි අයං තස්මිං සමයෙ චිත්තස්සෙ කග්ගතා හොති - ධම්මසංගණී, 15.

පෙළෙහි දැක්වෙන මේ නිර්වචනය තවදුරටත් තහවුරු කරමින් බුද්ධඝෝෂපාදයෝ ද මෙසේ විවරණ ලියති: චිත්තස්ස එකග්ගභාවො චිත්තෙකග්ගතා සමාධිස්ස එතං නාමං - අත්ථසාලිනි, 118. බෞද්ධ මහායාන සම්ප්‍රදායයන්හි දී ද මේ විවරණය සම්භාවිත වූ බව අසංගපාදයන්ගේ හා ස්ථිරමතිපාදයන්ගේ විවරණ මගින් ද ප්‍රකට වේ.

මේ විවරණ අනුව ඒකාග්‍රතාව මාර්ගාංගයක් වශයෙන් ද බෞද්ධයන් සැලකූ බව පැහැදිලිය.

ඒකාග්‍රතා, සමාධි යන ශබ්ද අධිවචන වශයෙන් යෙදෙතත් ඒ දෙක අතර අර්ථ වශයෙන් පැහැදිලි වෙනසක් ද අවශ්‍ය තැන අවබෝධ කටයුතු බව අටුවාවන්හි දක්වා ඇත. මාර්ගාංග, ධ්‍යානාංග වශයෙන් යෙදෙන ඒකාග්‍රතාව චිත්තාංග වශයෙන් යෙදෙන ඒකාග්‍රතාවෙන් වෙනස් කොට දැක්වීම පිණිස බුද්ධඝෝෂපාදයෝ පළමු කී ඒකාග්‍රතාවට කුසල ශබ්දය පූර්ව පදය වශයෙන් යොදති. මේ අනුව කුසලචිත්තෙකග්ගතා යනු නෛර්‍ය්‍යාණික සමාධියේ අධිවචනයයි.

ඒකාග්‍රතාව සමාධියේ අධිවචන වශයෙන් වෙනත් බෞද්ධ සම්ප්‍රදායයන්හි ද දක්වා ඇත. “සමාධි ශ්චිත්තස්‍යෛකාග්‍රතා” යනුවෙන් යශෝමිත්‍රපාදයෝ ඒකාග්‍රතා ශබ්දය විවරණය කරති. යෝගයෙන් සිත එක් අරමුණක පැවැත්වීම ඒකාග්‍රතා බැවින් එය ම සමාධි වශයෙන් සැලකිය හැකි බව පෙන්වා ඇත (යද්යොගාච්චිත්තං ප්‍රබන්ධෙන එකත්‍රාලම්බනෙ වර්තතෙ ස සමාධි: - ස්ඵුටාර්ථාහිධර්මකෝෂව්‍යාඛ්‍යා, 42).

යෝග දර්ශනයෙහි මෙන් ම බෞද්ධ දර්ශනයෙහි ද ඒකාග්‍රතාව ක්‍රමවත් ලෙස ප්‍රගුණ කිරීම සඳහා අනුපූර්ව ශික්ෂාවක් නිර්දේශ කොට ඇත. බුදුන් වදාළ විමුක්තිය පසක් කර ගැනීමේ අටියෙන් ඒකාග්‍රතාව ප්‍රගුණ කිරීමට එළඹෙන ශ්‍රාවකයා පළමුව ශිලය ප්‍රගුණ කටයුතුයි. ඉන්ද්‍රීය සංවරය මත ශීලය තහවුරු වෙයි. චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට රූපාදි අරමුණු ලක් වූ විට ඒ අරමුණු කෙරෙන් නිමිති හා අනුව්‍යංජන උපාදන වශයෙන් නොගැනීමට ඔහු වගබලා ගත යුතුයි. පාපක අකුසල ධර්මයන් වැළක්වීම පිණිස නිබඳව සිහි එලවා කටයුතු කිරීම අවශ්‍යයි. අභිජ්ඣාව, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච-කුක්කුච්චය හා විචිකිඡාව දුරු කිරීමෙන් කුසල් සිත් වැඩීමටත් ඔහු උත්සාහවත් විය යුතුයි.

කාමච්ඡන්දාදි නීවරණ ධර්ම බැහැර කොට සිතෙහි උපක්ලේශ දැන අවබෝධ කොටගත් ශ්‍රාවකයා අතින්ද්‍රිය වශයෙන් සිත දියුණු කිරීම පිණිසත් සිතෙහි ප්‍රභාස්වර තත්ත්වය එමගින් පසක් කරගැනීම පිණිසත් ක්‍රමවත් අයුරින් ධ්‍යාන වඩයි. විතර්ක, විචාර, ප්‍රීති, සුඛ හා ඒකාග්‍රතා යන අංග පංචකයෙන් සමන්විත ප්‍රථමධ්‍යානය වඩා පසුව විතර්කාදි ඖදාරික අංග කෙමෙන් බැහැර කරන ශ්‍රාවකයා ඒකාග්‍රතාව විවිධ දැහැන් මගින් තව තවත් දියුණු තියුණු කරයි. මේ අනුව ඒකාග්‍රතාව ධ්‍යානාංගයක් වශයෙන් ද බෞද්ධයන් සැලකූ බව පැහැදිලිය.

ඒකාග්‍රතා චෛතසිකය සංවේදනාත්මක, සංජානනාත්මක හා සංචේතනාත්මක යන අංශත්‍රයකින් සමන්විත බව පැහැදිලි කටයුතුයි. ප්‍රථමධ්‍යාන අවස්ථාවෙහි දී ධ්‍යානාංග වශයෙන් ලැබෙන විතර්කය හා විචාරය එහි සංජානනාත්මක අංශය දක්වයි. ප්‍රීතිය හා සුඛය එහි සංවේදනාත්මක අංශය ප්‍රකට කරයි. චේතනා වීර්‍ය්‍යාදි චෛතසික එහි සංචේතනාත්මක අංශය පළ කරයි (මජ්ඣිම. III, 25). පරිපූර්ණ ආධ්‍යාත්මික ප්‍රගතිය පිණිස ඒකාග්‍රතාව උපකාරි වන අයුරු මෙයින් පෙනී යයි.

ඒකාග්‍රතාව ක්‍රමවත් ලෙස ප්‍රගුණ කිරීමේ භාවනා ක්‍රම අභිධර්ම යුගයේ දී වඩාත් දියුණු විය. රාගාදි ක්ලේශයන් හා විතර්කාදි චෛතසිකයන් සංසිඳුවීම පිණිස ඒකාග්‍රතාව උපයෝගී කොටගත් භාවනා ක්‍රමය ශමථභාවනා යනුවෙන් ප්‍රකටය. ඒකාග්‍රතා ශමථය වැඩීම පිණිස අභිධර්මය සතළිස් කර්මස්ථානයක් දක්වයි. දස කසිණය, දස අසුභය, දස අනුස්සතිය, සතර අප්පමඤ්ඤාය, එක් සංඥාවක්ය, එක් ව්‍යවස්ථානයක්ය, සතර ආරූප්‍යය යනුවෙන් මෙකී කමටහන් හැඳින්වේ.

මාර්ගාංග වශයෙන් ද ධ්‍යානාංග වශයෙන් ද ශමථ වශයෙන් ද උපයුක්ත වන ඒකාග්‍රතාව භාවනාමය ධර්මයක් බවත් එබැවින් කුසල සෝභනාදි ලක්ෂණයන්ගෙන් අනූන චෛතසිකයක් බවත් පැහැදිලිය.

කුසලාකුසල ගුණයෙන් විප්‍රයුක්ත වූ එහෙත් කුසලාකුසල සිතිවිලි හා නිරතුරුව යෙදෙන චෛතසිකයන් වශයෙන් ද ඒකාග්‍රතාව බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන්හි උපයුක්ත වේ. බෞද්ධ ඥාන මීමාංසාගත ඉන්ද්‍රියඥාන විභාගයෙහි ලා ඒකාග්‍රතාව උපයුක්ත වන්නේ මෙකී අර්ථයෙනි.

දීඝාදි ආගමයෙහි සඳහන් වන අයුරු ඉන්ද්‍රිය විඥානයේ ප්‍රාදුර්භාවය පිණිස අනිවාර්‍ය්‍ය වශයෙන් අවශ්‍ය වන ප්‍රත්‍යයෝ තිදෙනෙකි. පියවි ගුණයෙන් යුත් නොබිඳුණු චක්ෂුරාදි ඉන්ද්‍රියයක් ද රූපාදී අරමුණක ආපාථගමනයක් ද එයින් නිපන් සමන්වාහාරයක් ද විඥානයේ උපත සඳහා අවශ්‍යයි (යතො ච ඛො ආවුසො අජ්ඣත්තිකං වෙව චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති - මජ්ඣිම. I. 190). මෙහි ලා සමන්වාහාරය යනුවෙන් නම් කොට ඇත්තේ ඉන්ද්‍රියාරම්මණය කෙරෙහි පුද්ගලයාගේ සිතෙහි හටගන්නා අවධානයයි. චක්ෂුරාදි ඉන්ද්‍රියයන්ට රූපාදි විවිධ විචිත්‍ර අරමුණු රාශියක් නිබඳව නිරන්තරව ලක් වන බැවින් යම් එක් අරමුණක් කෙරෙහි අවධානයක් නොමැතිව කිසිවක් පිළිබඳ පැහැදිලි දැනුමක් ඉන්ද්‍රියානුසාරයෙන් පුද්ගලයාට ලබාගත නොහැකිය. ඉන්ද්‍රිය හා ඉන්ද්‍රියාරම්මණයේ ආපාථගමනය පමණක් ඇතිව එහෙත් එයින් නිපන් සමන්වාහාරය නොමැතිව විඥානභාගයේ ප්‍රාදුර්භාවයන් නොයෙදෙන බව සඟි පොත්වල සඳහන් වන්නේ මේ නිසා මැයි. මෙකී සමන්වාහාරය අභිධර්ම යුගයේ දී එකග්ගතා වශයෙන් හඳුන්වා දී ඇත.

ඉන්ද්‍රිය විඥාන විභාගයෙහි ලා ථෙරවාදි ආභිධර්මිකයෝ සෑම සිතක ම අනිවාර්‍ය්‍යයෙන් පවත්නා චිත්තාංග නොහොත් චෛතසික සතක් නම් කරති. ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනස්කාර යන මේ සප්ත චෛතසිකය සියලු සිත්වලට සාධාරණ බැවින් සබ්බ චිත්තසාධාරණ යනුවෙන් හඳුන්වා ඇත (චෙතසික විභාග - අභිධම්මත්ථසංගහ බ.).

සූත්‍රයන්හි සමන්වාහාර ස්වරූපයෙන් පළ වීමෙහි දී ඒකාග්‍රතා යනුවෙන් දැක්වෙන මෙය භාවනාමය චෛතසියක් නොවන බවත් ආගමික යත්නයෙන් තොරව හෝ සත්වයන්ගේ සංවේදනාත්මක, සංජානනාත්මක හා සංචේතනාත්මක අනුභූතියෙහි ලා ප්‍රකටව ක්‍රියාත්මක වන්නා වූ මනෝවිද්‍යාත්මක ශක්ති විශේෂයක් වන බවත් පෙනේ.

සෑම සිතක ම අවශ්‍ය අංගයක් වශයෙන් ඒකාග්‍රතාව ඇතුළත් වන බව වෛභාෂික සම්ප්‍රදායයට අයත් ආභිධර්මිකයෝ ද ඔවුන්ගේ චෛත්ත විභාග අනුගමනය කරන වෙනත් සම්ප්‍රදායයන්ට අයත් ආචාර්‍ය්‍යවරු ද පිළිගනිති. වෛභාෂික මතය අනුව සියලු සිත්වලට සාධාරණ වූ අවශ්‍ය චෛත්ත ධර්ම දශකයකි. වෙදනා-චෙතනා-සංඥා-ඡන්ද-ස්පර්ශ-මති-ස්මෘති-මනස්කාර-අධිමුත්ති හා සමාධි යන මේ චෛත්ත දශකය චිත්තමහා භූමික ධර්ම යනුවෙන් හැඳින්වේ (අභිධර්මකෝෂ, II. 24).

මෙහි සමාධි ශබ්දයෙන් නම් කොට ඇත්තේ ඒකාග්‍රතාව බව අභිධර්මකෝෂව්‍යාඛ්‍යාවෙහි සඳහන් කොට ඇත (ස්ඵුටාර්ථා. 42).

බෞද්ධ දර්ශනයෙහි පරිණත අවස්ථාව පිළිබිඹු කරන විඥානවාදී සම්ප්‍රදාය තුළ යෝග දර්ශනය හා බෞද්ධ භාවනා ක්‍රම අතර සාමග්‍රිය හා සංයෝගය සැලකිය යුතු පරිදි දක්නට ලැබේ. යෝග සම්ප්‍රදායයෙහි මෙන් බෞද්ධ යෝගාචාර සම්ප්‍රදායයෙහි ද දර්ශනයට වඩා චරණයට මුල් තැන ලැබේ. තථාගතගර්භ නමින් යෝගාචාරීන් හඳුන්වන අධ්‍යාත්මය පිළිබඳ ආර්‍ය්‍යඥානයට ඇතුළු වන දොරටුව සමාධිසංඛ්‍යාත ඒකාග්‍රතාව බව සද්ධර්ම ලංකාවතාර සූත්‍රය පවසයි (ඒකාග්‍රස්‍යෛතදධිවචනං තථාගතගර්භශ්වප්‍රත්‍යාත්මාර්‍ය්‍යඥාන ගොචරසෛත්‍යතත් ප්‍රවෙශො යත් සමාධිඃ පරමො ජායත ඉති - ලංකා. 21).

(කර්තෘ: ඩබ්ලිව්.ඇස්. කරුණාරත්න)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකාග්‍රතා&oldid=11489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි