ප්‍රීඩ්රික් ඒබර්ට්
(Friedrich Ebert) (1871-1925). ජර්මන් සමූහාණ්ඩුවේ ප්‍රථම සභාපතිවරයාය. මුල දී සෑදල තනන්නකු වශයෙන් ජීවත්වෙමින් සිටි හෙතෙම ක්‍රමයෙන් පුවත්පත් කලාවෙහි හා වෘත්තීය සංගම් කටයුතුවල යෙදෙන්නට විය. ඉක්බිති 1905 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (Social Democratic) පක්ෂයේ ජාතික විධායක අංශයේ ලේකම් පදවියට පත් වූ ඒබර්ට් 1913 දී පක්ෂයේ සම සභාපති වශයෙන් තෝරා පත්කර ගනු ලැබීය. ඊට වර්ෂයකට පෙර රයික්ස්ටාක්හි මන්ත්‍රී අසුනක් ද දිනා සිටි ඔහු I වැනි ලෝක යුද්ධය කිරීමට පක්ෂව ක්‍රියා කෙළේය. යුද්ධ කාලයේ දී ඔහු වඩාත් ජනප්‍රියභාවයට පත් විය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනික් නායක ෂයිඩ්මාන් ද සමග එක්ව විල්හෙල්ම් II (කයිසර්) රජු සිංහාසනයෙන් ඉල්ලා අස්විය යුතු බව තරයේ කියා සිටියේය. 1918 නොවැම්බර මාසයේ දී බේඩන්හි මැක්ස් කුමරු තමා දරමින් සිටි අධිරාජචාන්සලර් පදවිය ඒබර්ට් වෙත පැවරීය. 1919 දී රාජාණ්ඩුව වැටුණු පසු පිහිටුවන ලද ජර්මන් සමූභාණ්ඩුවේ තාවකාලික සභාපති හැටියට කෘතහස්ත පාලක ඒබර්ට් තෝරා ගන්නා ලදි. ඉක්බිති එම පදවිය ස්ථිර කරන ලදුව එය 1925 ජූනි අවසානය දක්වා දීර්ඝ කරනු ලැබීය. ඔහු මිය ගියේ පදවි කාලය අවසන් වීමට මාස කීපයකට කලිනි. I ලෝක යුද්ධය නිමවුණු පසු වර්සේල්ස්හි සමාදාන ගිවිසුම අත්සන් කරන ලද්දේ ඒබර්ට් ජර්මන් සමූහාණ්ඩුවේ සභාපති පදවිය දරමින් සිටිය දීය. ලේඛනගත වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අතර උසස් කොට සලකනු ලබන වයිමාර් (Weimar) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගනු ලැබුවේ මොහුගේ කාලයේ දීය.
(සංස්කරණය: 1974)