ඔඩොනාටා

සිංහල විශ්වකෝෂය වෙතින්
12:01, 10 අගෝස්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Odonata ). ඉන්සෙක්ටා (බ.) වර්ගයෙහි ටෙරිගෝටා (Pterygota) උප-...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Odonata ). ඉන්සෙක්ටා (බ.) වර්ගයෙහි ටෙරිගෝටා (Pterygota) උප-වර්ගයට අයත් පියාපත් සහිත කෘමි ගෝත්‍රයකි. කූරන්ගෙන් (dragon flies) හා ඩැම්සල් ෆල්යිස් (damsel flies) නම් හීන් කූරන්ගෙන් සමන්විත වූ මේ ගෝත්‍රයෙහි විශේෂ 4,500ක් පමණ ඇත. කුල 17කට හෝ ඊට වැඩි සංඛ්‍යාවකට මේ විශේෂ බෙදා තිබේ. මේ ගෝත්‍රයට අයත් කෘමීහු ලෝකයේ සෑම ප්‍රදේශයක ම වාගේ දක්නා ලැබෙත්. මුන්ගෙන් බොහොමයක් දීප්තිමත් වර්ණයකින් යුක්තය. මුන් සාමාන්‍යයෙන් පියාපත් විහිදාගෙන හෝ සෘජුව තබාගෙන සිටිනු පෙනේ. මේ ගෝත්‍රයට අයත් පරිණත කෘමීහු ද උන්ගේ කීටයයෝ ද ගොදුරු අල්ලාගෙන කති.

ප්‍රමාණයෙන් ලොකු කෘමීහු මේ ගෝත්‍රයට අයත්ය. උන්ගේ ශරීර සිහින්ය. සංකීර්ණ හරස් නාරටි ඇති විනිවිද පෙනෙන එක හා සමාන පටලමය පියාපත් ජෝඩු දෙකක් මොවුනට ඇත. එක් එක් පියාපතක පූර්ව දාරයෙහි තද හරස් නාරටියක් හා කට්ටයක් (notch) දක්නට ලැබේ. උන්ගේ ඇස් ලොකුය. ඒවා නෙරා තිබේ. මේ කෘමියකුගේ සංකීර්ණ ඇස්වල තිබෙන අක්ෂිකාවන්ගේ (ommatidia) සංඛ්‍යාව 30,000කට වැඩි විය හැකිය. අනික් කෘමීන්ට වඩා පැහැදිලි දෘෂ්ටියක් මුන්ට තිබේ යයි සිතිය හැකිය. ඔඩොනාටා ගෝත්‍රයට අයත් කෘමීහු ඉතා කඩිසරය. උන්ට වේගවත් ලෙස පියාසර කළ හැකිය. පියාසර කරමින් ම අනික් කෘමීන් අල්ලා ගොදුරු කර ගැනීමට මොවුහු අනුවර්තනය වී සිටිති. උන්ගේ පාද පාවිච්චි කරනු ලබන්නේ පියාසර කරද්දී වෙනත් කෘමීන් අල්ලාගැනීමට මිස එහා මෙහා යෑමට නොවේ. මේ කෘමීන්ට ඇත්තේ අවශිෂ්ට (vestigial) ස්පර්ශකයි. ගන්ධය පිළිබඳ උන්ගේ දැනීම බෙහෙවින් අඩුය. මුඛය සෑදී ඇත්තේ විකා කෑමටය. පාද කුර්චවල පුරුක් 3ක් ඇත. පෞච්ඡාංග (cerci) කුඩාය; එක පුරුකක් සහිතය. උදරය සිහින්ය; දිගටිය.

මේ කෘමීන් සංවාසයෙහි යෙදෙන්නේ උන් අහසේ පියාසර කරද්දී මය. උන්ගේ බිත්තර ජලයේ දමනු ලැබේ. නැත්නම් ඒවා ජලජ ශාකවල තැන්පත් කරනු ලැබේ. ශිශුවෝ සාමාන්‍යයෙන් ජලයේ ජීවත් වෙති. උන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ මූලික ලෙස ගුද මාර්ගයෙනි. එහෙත් සයිගොප්ටෙරා උප-ගෝත්‍රයේ ශිශුවන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ උදර ජලක්ලෝම මගිනි. කෙළවරෙහි කොකු වැනි ‘හනු’ සහිත දික් කළ හැකි අධරයකින් (labium) ශිශුවෝ ගොදුරු අල්ලාගනිති. හොඳ දෘෂ්ටියක් ඇති නිසා ජලජ කීටයෝ ගොදුරු අල්ලාගනිති. වාර 11 සිට 15ක් දක්වා පිටසැකිලි හළන්නට මොවුනට පුළුවන. ක්‍රමයෙන් රූපාන්තරණය සිදු වන අතර මාස 3 සිට අවුරුදු 5ක් දක්වා ජලයේ ජීවත් වන්නට ද පුළුවන. මොවුහු ජලයෙන් පිටව ඇවිත් අවසාන පිටසැකිලි හැළීම කළ පසු පියාපත් සහිත පරිණත කෘමීන් බවට පරිවර්තනය වෙති.

ඔඩොනාටා ගෝත්‍රය අනිසොප්ටෙරා (Anisoptera) හා සයිගොප්ටෙරා (Zygoptera) යන උප-ගෝත්‍ර දෙකට බෙදා තිබේ. කූරා අනිසොප්ටෙරා උප-ගෝත්‍රයට අයත්ය. අනක්ස් (Anax), අයෙශ්නා (Aeshna), ලිබෙල්ලුලා (Libellula ) හා සිම්පෙට්රුම් (Sympetrum) මේ උප-ගෝත්‍රයට අයත් ගණ කිහිපයකි. හීන් කූරා සයිගොස්ටෙරා උප-ගෝත්‍රයට අයත්ය. කලොප්ටෙරික්ස් (Calopteryx), ලෙස්ටේස් (Lestes) හා ආර්ගියා (Argia) මේ උප-ගෝත්‍රයට අයත් ගණ කිහිපයකි.

ඔඩොනාටා කෘමීන් පළමුවෙන් දක්නට ලැබෙන්නේ ප'මිය (Permian) අවධියේ දීය. මේ වන තෙක් උන් අවුරුදු කෝටි 25ක් පමණ කාලයක් ලෝකයේ ජීවත් වී ඇතැයි සිතිය හැකිය. මේ ගෝත්‍රයට අයත් කෘමීන්ගේ මොළය හා උන්ගේ හැසිරීම උන්ගේ පියාපත්වල පරිණාමයට අනුරූප වන සේ දියුණු වී ඇති බව අපට පෙනේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔඩොනාටා&oldid=11523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි