ඔලිඳ

සිංහල විශ්වකෝෂය වෙතින්
10:38, 11 අගෝස්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(අබ්රුස් ප්‍රෙකටෝරියුස් - Abrus precatorius L.). බහුවාර්ෂික...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(අබ්රුස් ප්‍රෙකටෝරියුස් - Abrus precatorius L.). බහුවාර්ෂික වල්ලි ශාකයකි. එහි කඳ දිගු පර්ව සහිතය. කොළ පක්ෂවත්ය. ප්‍රාක්ෂය (rachis) අඟල් 3ක් පමණ දිගය. එහි පාදය ඝනය. පත්‍රිකා 20 සිට 24 දක්වා ඇත. ඒවා සම්මුඛය; අඟල් 3ක් පමණ දිගය. කොළ ඉක්මනින් වැටෙනසුලුය. පත්‍රිකාවල යටි පැත්ත මඳක් බූ සහිතය. පුෂ්ප කුඩාය; ළා දම්පාටය. ඒවා කක්ෂීය සංයුක්ත ඒකාක්ෂවල හට ගනී. මණිය තරමක් සේද වැනිය. ඔලිඳ කරල් අඟල් 1½ක් පමණ දිගය; පැතැළිය; තියුණු තුඩක් සහිතය. මේරූ කරල පුපුරා විවෘත වේ. එහි කපාට දෙක ඇඹරී ඇට විසිරී යයි. කරලක ඇට 4ක් පමණ තිබේ. ඇටය අඟල් ¼ක් පමණ දිගය; ගෝලාකාරය; ඔප සහිතය. එය සාමාන්‍යයෙන් තද රතුපාටය. මුදුනේ කළු පැල්ලමක් තිබේ.

නිවර්තන ප්‍රදේශවල මේ ශාකය දක්නට ලැබේ. ලංකාවේ පහත රට වියළි ප්‍රදේශවල එය බහුලය. බර කිරීම සඳහා රන්කරුවෝ ඔලිඳ ඇට භාවිතා කරති. ඔලිඳ වැලේ මුල ඉන්දියානු වැල්මී (Indian liquorice) වශයෙන් හැඳින්වේ. ඔලිඳ වැල් ලෙගුමිනාසේ කුලයෙහි පපිලියොනාට උප-කුලයට අයත්ය.

ආයුර්වේද මතය

ඔලිඳ වැල සකුබසින් ගුඤ්ජා, උච්චටා ආදි නම්වලින් හඳුන්වනු ලැබේ. රක්ත, ශ්වේත වශයෙන් එහි ප්‍රභේද දෙකකි. බීජය හාත්පස රතු පැහැයෙන් යුක්තව මුදුන කළු පැහැයෙන් යුක්ත වූයේ රතු ඔලිඳයි. හාත්පස සුදුපැහැ සහිතව මුදුන කාලවර්ණ වූ බීජ ඇත්තේ සුදු (එළ) ඔලිඳය. ඔලිඳ දෙවර්ගය ම තික්තය; උෂ්ණය; කසටය; රුචිකරය; බල වඩයි; හිසකෙස් වඩයි; ඡවිගත රෝග නසයි. විෂ, පිත්ත, ව්‍රණ, කෘමි, කණ්ඩුති, කුෂ්ඨ, ශ්ලේෂ්ම, ජ්වර, මුඛ ශීර්ෂ නේත්‍ර රෝග, වාත, භ්‍රම, ශ්වාස, ආදිය නැති කරයි. ඔලිඳ ඇට වමන කාරකයි. ඔලිඳ මුල් රුජා පහ කරයි. කොළ විෂ නසයි. ඔලිඳ ශීත වීර්ය ඇත්තේ යයි ද මතයකි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔලිඳ&oldid=11531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි