ඔත්තු සේවය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:49, 2 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සාමාන්‍යයෙන් තරගකාරී හෝ සතුරු රටක හෝ ඇතැම් වි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සාමාන්‍යයෙන් තරගකාරී හෝ සතුරු රටක හෝ ඇතැම් විට මිතුරු රටක හෝ මධ්‍යස්ථ රටක යුද්ධ කටයුතු, කර්මාන්ත, වෙළහෙළඳාම, දේශපාලන තත්ත්වය යනාදිය පිළිබඳ රහස් ලබාගැනීමට යොදනු ලබන ක්‍රියාමාර්ග ඔත්තු සේවය යනුවෙන් ගැනේ. ඒ සමඟ ම තම රටේ රහස්‍ය කරුණු එළිදරව් විය නොදී ආරක්ෂා කර ගැනීම ද එහි ම සංගෘහීත වේ. ඔත්තු සේවය ප්‍රධාන කොට ම යුද්ධ කටයුතුවලටත් සාමය පවතිද්දී ආරක්ෂක කටයුතුවලටත් අදාළ වුව ද සාමාන්‍ය රා‍ජ්‍යෝපාය කටයුතු, ආර්ථික කටයුතු හා කාර්මික කටයුතු පිළිබඳ තොරතුරු එක්කාසු කර ගැනීම හා ආරක්ෂා කර ගැනීම ද එහි කාර්‍ය්‍යයකි. ඔත්තු සේවය යනු රහස් සපයා ගැනීම පමණක් නොවේ. ඒවා ක්‍රමානුකූලව එක්රැස්කිරීම, ඒවායේ වටිනාකම හා විශ්වාසභාවය තක්සේරු කිරීම හා ඒවා ඇසුරෙන් නිගමනවලට එළඹීම ද ඊට අයත් වේ.

ඔත්තු සේවාවන්හි කාර්‍ය්‍යභාරය වැඩිවීමත් සමඟ ලබාගත් රහස් විවිධ විෂයයන් යටතේ වර්ග කොට දැක්වීම අපහසු වන තරමට වර්ග සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. කලින් යුද්ධ කටයුතු සම්බන්ධ සියලු තොරතුරු යුද්ධ විෂයෙහි ලා සැලකුණ ද දැනට ඒවා පාබල හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා ආදි වශයෙන් ද ඉන් එකක් එකක් පාසා තවදුරටත් සංවිධානය, ශක්තිය, ව්‍යාප්තිය, ප්‍රහාරක අවි, ආම්පන්න, පුහුණුව, යුද්ධෝපාය යනාදි වශයෙන් ද බෙදා තිබේ. යුද්ධ සැලසුම් හා එම ව්‍යාපාර සඳහා අවශ්‍ය වූ භූමි, සාගර හා ගුවන් තොරතුරු අඩංගු භූගෝල විද්‍යාත්මක තොරතුරු සංඛ්‍යාත විෂය දැන් ස්ථාන වර්ණනාත්මක, ජල විද්‍යාත්මක, කාලගුණ විද්‍යාත්මක යනාදි අනුවිෂයයන් යටතේ සංගෘහිත වේ. කලකට පෙර භූගෝල විද්‍යාව යටතේ ම අංශයක්ව පැවැති ප්‍රවාහණය දැන් පුළුල් ප්‍රධාන විෂයක් බවට පත් වී තිබේ. ප්‍රහාරක ආයුධ හා යුද්ධ ආම්පන්න ශීඝ්‍ර ලෙස දියුණු වී ඇති මෙකල ඒවා පිළිබඳ කාර්මික තොරතුරු දැන ගැනීම ජාතියක ආරක්ෂාව අතින් අතිශයින් වැදගත් වූ ඔත්තු සේවා අංශයක් බවට පත් වී ඇත. කාර්මික අංශයේ ම ඒක දේශයක් වූ විද්‍යාත්මක ඔත්තු සේවා ක්ෂේත්‍රයෙහි න්‍යෂ්ටික ආයුධ, ඉලෙක්ට්‍රෝනික උපකරණ, ප්‍රක්ෂේපක අස්ත්‍ර, ටෙලි විදුලි සම්බන්ධන, රසායනාත්මක හා ජීව විද්‍යාත්මක සටන් ක්‍රම ආදිය සංගෘහීත වේ.

දේශපාලන, ආර්ථීක හා සමාජ විද්‍යාත්මක තොරතුරු රැස්කිරීම ද ජාතියක යුද්ධ සන්නද්ධ හමුදා හා විදේශ සේවා සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වී තිබේ. සතුරන් විය හැකි රාජ්‍යයන්ගේ පාලන ව්‍යූහය, දේශපාලන කණ්ඩායම්, එම රාජ්‍යවල ප්‍රතිපත්ති හා පරමාර්ථ, කර්මාන්ත සංවිධානය, සමාජ සංවිධානය ආදිය යුද්ධ සැලසුම් කරන්නන් හා ප්‍රතිපත්ති හැඩගස්වන්නන් මැනවින් දැන සිටිය යුතුය යනු යුද්ධ ශිල්පඥයන් වැඩිදෙනාගේ පිළිගැනීමයි. දෙවන ලෝක යුද්ධයේ දී නාට්සිවරුන්ගේ සෝවියට් ආක්‍රමණය අසාර්ථකවීමට මූලික හේතුව සෝවියට් දේශය පිළිබඳ එබඳු තොරතුරු නාට්සිවරුන් නොදැන සිටීම හෝ උපයෝගී කර නොගැනීම බව කියනු ලැබේ.

ඉතිහාසය

යුද්ධ කටයුතු සම්බන්ධයෙන් ඔත්තු සේවයේ ඇති වැදගත්කම ඉතිහාසගත වකවානුවේ ආරම්භයේ පටන් ම ඒත්තු ගැනී තිබුණු කරුණකි. ඔත්තු සේවය ගුප්ත විද්‍යාවක් වශයෙන් සැලකූ මිසර දේශවාසීන් අතර අවුරුදු පන්දහසකට අධික කාලයකට පෙර පවා මොනවට සංවිධානය කරන ලද චරපුරුෂ සේවයක් තිබිණ. හෝමර්ගේ ඉලියඩ් නම් මහා කාව්‍යයේ ද බයිබලයේ පරණ ගිවිසුමේ ද ඔත්තුකරුවන් ගැන සඳහන් වේ. බුද්ධකාලය පිළිබඳව කෝසල සංයුක්තයෙහි එන කථා පුවතක බුදුන්වහන්සේ කෝසල රජුට කරුණු පහදා දෙමින් කර ඇති ප්‍රකාශයකින් තාපස වේශය චරපුරුෂයාගේ ආරක්ෂාව පිණිස උපයෝගී කරගත් බව පෙනේ. යුධිෂ්ඨිර රජු දුර්යෝධන රජුගේ තොරතුරු සෙවීම පිණිස අයෝධ්‍යා පුරයට වනවැසියකු තවුස් වෙස් ගන්වා යැවූ සැටි මහාභාරතයෙහි සඳහන්ය. චීනයේ යුද්ධ ශිල්පය පිළිබඳව සුන්ත්සු නමැත්තා විසින් ක්‍රි.පූ. 500 දී පමණ ලියන ලද ග්‍රන්ථයෙහි එක් පරිච්ඡේදයක් ඔත්තු සේවය වෙනුවෙන් වෙන් කොට ඇත.

කෞටිල්‍ය

චරපුරුෂ සේවය ගැන කරුණු විස්තර වන ඉතා පැරණි භාරත දේශීය ග්‍රන්ථය කෞටිල්‍යයන්ගේ අර්ථ ශාස්ත්‍රයයි. එය ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂය පමණේ දී නිෂ්පාදිත ග්‍රන්ථයක් හැටියට සලකනු ලැබේ. එහි චරපුරුෂයන් හඳුන්වා ඇත්තේ ගූඪ පුරුෂ නමිනි. ඔත්තු සේවය පිළිබඳ විශිෂ්ට අවබෝධයක් ඇති අමාත්‍යයන්ගේ උපදෙස් අනුව රජු විසින් චරපුරුෂයන් තෝරා ගත යුතු යයි කෞටිල්‍ය කියයි. ස්වකීය ස්ථානයෙහි වෙසෙමින් රජුගේ යහපත සඳහා ඔත්තු බලන චරපුරුෂයෝය, ඒ ඒ තැන්වල හැසිරෙමින් ඔත්තු සපයන සංචාරක චරපුරුෂයෝ යයි චරපුරුෂ සේවය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත කොට දැක්වේ.

මොවුනතුරෙන් සංචාරක චරපුරුෂ ගණයට අයත් වූවන් තීර්ථ අටළොසක් කරා ගොස් ඔත්තු සේවයෙහි යෙදිය යුතුයි. මෙහි තීර්ථ නමින් හඳුන්වා ඇත්තේ මන්ත්‍රී, පුරෝහිත, සේනාපති, යුවරාජාදි අටළොස් දෙනෙකි. මොවුන්ගේ පෞද්ගලික චරිත, ක්‍රියා මාර්ග, අදහස් උදහස් ආදිය ගැන කරුණු සෙවීම සඳහා කුබ්ජ, ලකුණ්ටක, කිරාත, බධිර, මූක, මුග්ධ, අන්ධ යන මොවුන්ගේ වෙස් ගත් පුරුෂයන් ද පාත්‍ර, නළු, ගායකාදීන්ගේ වෙස් ගත් ස්ත්‍රීන් ද යෙදිය යුතු බව කෞටිල්‍ය කියයි. ඔවුන් විසින් සපයනු ලබන වාර්තා වෙනත් ඔත්තු කාරයන් දෙකොටසක් ලවා තවදුරටත් පරීක්ෂා කරවනු ලැබේ. එහෙත් එම පරීක්ෂණ පැවැත්විය යුත්තේ ආරංචි සැපයූ ඔත්තුකාරයන්ට නොදැනුවත්වය. මේ තුන් කොටසින් ම ලැබුණු ආරංචි එක සමාන නම් එය සත්‍ය ලෙස පිළිගත යුතුය. නිතර ම වාගේ ඔත්තුකරුවන්ගෙන් ලැබෙන ආරංචි සමාන නොවූ විට රහසිගතව ඔවුන්ට දඬුවම් පැමිණවීම හෝ ඔවුන් සේවයෙන් අස්කිරීම කළ යුතුය.

චරපුරුෂ සේවය සඳහා තෝරාගත්තවුන්ගේ තත්ත්වය හා සුදුසුකම් ද ඔවුන් විසින් උගත යුතු හා ඉටු කළ යුතු දෑ ආදිය ද පිළිබඳ සෑහෙන විස්තරයක් කෞටිල්‍යයන්ගේ අර්ථ ශාස්ත්‍රයේ ඇතුළත්ය. ඔවුන්ගෙන් සමහරෙක් සාමුද්‍රිකාදි ලක්ෂණ, අංගවිද්‍යා, වශීකරණ, අන්තර්ධාන විද්‍යා, ඉන්ද්‍රජාල, ධර්මශාස්ත්‍ර, නිමිති, ශකුණාදි විද්‍යා ද උගත යුතුය. ඇතැම් චරපුරුෂයන් විසින් අන්‍යයන්ගේ ක්‍රෑර ක්‍රියා, රජුගේ ධනයට හානි පමුණුවන්නන්, රජුට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නන් හා රාජ සේවයෙහි නියුක්ත වූවන්ගේ පිරිසිදුබව ආදි කරුණු පිළිබඳව වාර්තා සැපයිය යුතුය. සංචාරක චරපුරුෂ සේවයට සම්බන්ධ වූවෝ අග්‍රාමාත්‍ය, අමාත්‍ය, පූජක, සේනාපති, ඔටුන්න හිමි කුමරු යන අය ගැන ද, දොරටුපාලයන්, අන්තඃපුර භාර නිලධාරියා හා වෙනත් නිලධාරීන් ගැන ද ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියා මාර්ග හා ඔවුන් මහජනයා ඉදිරිපිට හැසිරෙන ලීලාව ගැන ද බලකොටු, දුර්ග, පිටිසර පළාත්, රාජ්‍ය සීමා, වනාන්තර, ජනශ්‍රැති, රටවැසියාගේ සතුට හෝ නොසතුට, රජයේ දෙපාර්තමේන්තු අටළොස ආදි කරුණු පිළිබඳව ද වාර්තා සැපයිය යුතුය. මේ හැර සාමය නැති කර භේද ඇති කිරීම් ආදි කටයුතු සඳහා ද චරපුරුෂයන් යෙදිය යුතුය.

රටවැසියා අතර පවත්නා කටකතා වාර්තා කිරීම ද ඔත්තුකාරයන්ට අයත් කාර්‍ය්‍යයක් බව කෞටිල්‍ය සඳහන් කරයි. රටවැසියාගෙන් සමහරකු රජු කෙරෙහි ප්‍රසාදය ද ඇතැමකු අප්‍රසාදය ද දක්වන බව දැන ගත් විට රජු විසින් තමා කෙරෙහි ප්‍රසාදය දක්වන්නන්ට සංග්‍රහ කිරීමෙන් ද අප්‍රසාදය දක්වන්නන්ට සැනසිලිදායක ලෙස කටයුතු කිරීමෙන් හෝ තෑගි දීමෙන් හෝ ඔවුන් අතර භේදකාරී බිජුවට වැපිරීමෙන් හෝ දඬුවම් කිරීමෙන් ද යථා තත්ත්වයට පමුණුවා ගත යුතුය. අයකැමියා විසින් රටෙහි සාමයට බාධා කරන්නන් මැඩීම සඳහා ඔත්තුකාරයන් බොහෝ දෙනකු යෙදිය යුතු බව ද කෞටිල්‍ය කියයි. ඔවුන් ලවා විනිශ්චයකාරයන්, විවිධ දෙපාර්තමේන්තුවලට අයත් අල්ලස් ගන්නා අධ්‍යක්ෂකයන්, හොරකාසි නිපදවන්නන්, පරදාරපරපුරුෂසේවීන්, සොරුන්, මංපහරන්නන් හා වෙනත් අපරාධකරුවන් පරීක්ෂා කරවිය යුතුයි. අධිකරණ කටයුතුවල දී පවා චරපුරුෂයන්ගෙන් දැනගත් කරුණුවලට කෞටිල්‍ය ප්‍රමුඛස්ථානයක් දී තිබේ.

පැරණි ලංකාවේ

මුගලන් කුමරු මැරවීම සඳහා පළමුවන කාශ්‍යප රජු අස්ගොව්වකු හා අරක්කැමියකු චරපුරුෂයන් හැටියට යැවූ නමුත් ඒ කාර්යය ඔවුනට ඉටු කර ගත නොහැකි වූ බවත් සිලාමේඝ සේන රජු දඹදිවට පලා ගිය තම සතුරකු වූ මහින්ද කුමරු චරපුරුෂයන් ලවා මැරවූ බවත් අභයනාග කුමාරයා තම මයිල් ශුභ දේවයන් ඔත්තුකාරයකු කරවා රාජ්‍යය පැහැර ගත් බවත් පොළොන්නරු පුර විසූ වික්‍රමබාහු ආදිපාදයන් තමනට විරුද්ධව තුන්බෑ රජවරුන් යුද්ධයට සූදානම් වන බව චරපුරුෂයන්ගේ මාර්ගයෙන් දැනගත් බවත් මහා පරාක්‍රමබාහු රජු කුමාර කාලයෙහි පටන් ම චරපුරුෂයන් හැසිර වූ බවත් ඒ රජුගේ සේනාව ගජබා රජු අල්ලාගන්ට පොළොන්නරුවට ගිය අවස්ථාවේ දී කලින් එනුවර නවතා සිටි චරපුරුෂයන් විසින් නගරද්වාරය විවෘත කළ හෙයින් කිසිදු අවහිරයක් නොමැතිව සේනාවට නගරයට ඇතුළු විය හැකි වූ බවත් මහාවංසයෙහි සඳහන් වේ.

මහා පරාක්‍රමබාහු රජු මායා රටේ පාලකයා වීමටත් පෙර ම විවිධ වෙස් ගත්තවුන්ගෙන් යුත් විසිතුරු ඔත්තු සේවයක් සංවිධානය කළ බව මහාවංසයේ ‘පරමණ්ඩල ප්‍රවෘත්ති නිර්ණය’ නම් වූ පරිච්ඡේදයෙහි මෙසේ දක්වා ඇත: “කුමර තෙමේ ගජබා රජහු දැකීමෙන් හටගත් සන්තෝෂය ප්‍රකාශ කෙරෙමින් කිහිප දිනක් ගෙවා ඒ රජහුගේ බැහැර මඬුලුවැසි ජනයන් කෙරෙන් ආදර ඇත්තවුන් හා එසේ ම කලකිරුණන් මොනවට දන්නා පිණිස නොයෙක් උපා දන්නා එසේ ම නානා දේශ භාෂායෙහි දක්ෂ වූ ස්වාමිභක්ති පුරස්සර කොට ඇති කිසි (චරපුරුෂ) කෙනකුන් තෝරාගෙන උන් අතුරෙනුදු විෂ වෙදකම්හි නිපුණයන් නයි කෙළවන්නවුන් සෙයින් හැසිරවී. විධානයෙහි දක්ෂ ඒ කුමාර තෙමේ සාමුද්‍රිකාදි නොයෙක් ලක්ෂණ දන්නා ජනයන් වෙණ වයන සැඩොල් බමුණු ආකාර දරන්නවුන් කෙළේය. දෙමළ ආදි නොයෙක් දෙනා අතුරෙන් නෘත්‍යගීතයන්හි දක්ෂවූවන් සම්රූ ආදි කෙළි දක්වන්නවුන් බඳු කොට හැසිරවී. කදා මුදු වළලු ආදි බඩු අරගෙන වෙස් වළා හැසිරෙන්ට සැලැස්විය. කුඩ සැරයටි ආදි පිරිකර ගෙන තවුස්වෙස් දරා සැදැහැ ඇත්තවුන් සෙයින් ගමක් ගමක් පාසා චෛත්‍ය වන්දනා කරන්නවුන් සෙයින් සැරිසරන්ට මෙහෙයීය. ගම් නියම්ගම්හි වෙදකම් කරමින් හැසිරෙන්ට පිළියම්හි දක්ෂයන් යෙදීය. (තවද) ඒ කුමර අක්ෂරවිද්‍යා ආයුධවිද්‍යා ආදියෙහි බාලයන් හික්මවනු දන්නවුන් ද එසේ ම රසක්‍රියා දන්නවුන් ද එසේ ම භූතවිද්‍යා දන්නවුන් ද රන්කම් ආදියෙහි නිපුණ නොයෙක් ශිල්පීන් ද ඒ ඒ කර්ම කෙරෙමින් හැසිරෙන්ට අණ කෙළේය” (ම.ව. 66. 127-139). කෝටල්ල (කෞටිල්‍ය) ආදි නොයෙක් නීතියෙහි පරතෙර පැමිණියකු ලෙස මහාවංසයෙහි ම හැඳින්වෙන (ම.ව. 64. 3-5) පැරකුම්බා කුමරු චරපුරුෂ (ඔත්තු) සේවය පිළිබඳ කෞටිල්‍යයන්ගේ උපදෙස් මෙහි ලා අනුගමනය කළ බව සැලකේ.

නිශ්ශංකමල්ල රජු ස්වදේශය මෙන් ම පරදේශයන් ද චරපුරුෂයන්ගේ ඇසින් නිරතුරු දැකබලා ගත් බව “ස්වමඬළ පරමඬළය චාරචක්ෂුසින් සතතයෙන් දකුතුදු” යනාදි වශයෙන් එරජුගේ ගල්පොත ශිලාලිපියේ සඳහන් වේ ( ශි.ලි.සං. 11, 106 පිටුව, 7).

නූතන ඔත්තු සේවය

පෙර පටන් ම ඔත්තු සේවය සෑම රාජ්‍යයක ම වැදගත් අංශයක් වුව ද අපරදිග රටවල ක්‍රමානුකූල සංවිධානාත්මක ඔත්තු සේවයක් ආරම්භ වූයේ මධ්‍යතන යුගයේ දී යයි කිව හැකිය. මේ යුගයේ ඔත්තු සේවය හා තානාපති සේවය එකිනෙකට කොතරම් සම්බන්ධව තිබුණේ ද යත් තානාපතිවරු ඔත්තුකාරයන්ට නොදෙවෙනි සේ සලකනු ලැබූහ. වෙනිසියානු සමූහාණ්ඩුව ඔත්තු දැනගැනීමේ අදහස පෙරදැරි කොටගෙන ම විවිධ රටවලට තානාපතිවරුන් යවා බොහෝදුරට අංග සම්පූර්ණ වූ වාර්තා ඔවුන් ලවා සපයා ගන්නා ලදි. 1 වැනි එලිසබත් රැජිනගේ සමයෙහි එංගලන්තයේ ඔත්තු සේවය භාරදූර ව්‍යාපාරයක් බවට පත් විය. යුරෝපයේ, විශේෂයෙන් ස්පාඤ්ඤයේ, රහස් ලබාගැනීම සඳහා සර් ෆ්රැන්සිස් වොල්සිංහම් විසින් එය සංවිධානය කරන ලදි. ඔහු තම පෞද්ගලික ධනය පවා ඒ සඳහා යෙදවීල. ඈන් රැජිනගේ සමයේ ඔත්තු සේවා සංවිධායකයා වූ ඩැනියල් ඩිෆෝ නූතන බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. ප්‍රංසයේ ද ඔත්තු සේවයට වැදගත් තැනක් හිමි විය. නැපෝලියන්ගේ යුද්ධ පැවැති කාලයේ දී පෘථුල ලෙස කෙරුණු එම සේවය ඔහුගේ ජයග්‍රහණවලට බෙහෙවින් උපස්තම්භක විය. අනෙක් අතට, නැපෝලියන්ගේ යුද සැලසුම් පිළිබඳ සැබෑ තොරතුරු ප්‍රංසයේ සිටි නියෝජිතයන් මගින් වෝටර්ලූ සටනට පෙර දැනගන්නට ලැබීම වෙලිංටන් ආදිපාදවරයාට බලවත් රුකුලක් විය.

ඇමෙරිකාවේ සිවිල් යුද්ධයේ දී දෙපක්ෂය ම ඔත්තු සේවයෙන් ලද පිහිට අතිවිශාලය. එක්සත් ජනපද රාජ්‍යයෙන් ඉවත් වූ ජනපදවලින් සැදි කොන්ෆෙඩරෙට් පක්ෂය 1861 ජූලි මස ලත් ජයග්‍රහණයට බොහෝදුරට හේතු වූයේ ස්ත්‍රියක විසින් වොෂිංටනයෙන් සපයන ලද නිවැරදි වාර්තායි. යුද්ධයේ මුල් අවුරුද්ද තුළ එම පක්ෂය කෙතරම් කාර්යක්ෂම යුද ඔත්තු සේවයක් පිහිටුවා ගත්තේ ද කිවහොත් ලින්කන් ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ හැම රැස්වීමක ම සම්පූර්ණ වාර්තා දෙදිනක් ඇතුළත ඊට ලබාගත හැකි විය. දෙපක්ෂය ම ස්ත්‍රීන් ද ඔත්තු සේවයේ යෙදවූහ. ඔවුන්ගෙන් කෙනකු වූ බෙල් බොයිඩ් නම් සුප්‍රකට රූමතිය වෙඩි පහර මධ්‍යයේ ෆෙඩරල් කඳවුරු මැදින් ගොස් ‘ස්ටෝන්වෝල්’ ජැක්සන් සෙනෙවියාට දුන් තොරතුරු ෆෙඩරල් බලඇණි තුනක පරාජයට මුල් විය.

1870 දී, ප්‍රංස-ජර්මන් යුද්ධයට කලින්, ජර්මන් ඔත්තුකාරයන් 30,000ක් ප්‍රංසයේ සිටි බව කියනු ලැබේ.

පළමුවැනි ලෝක යුද්ධ සමයේ දී බ්‍රිතාන්‍ය ඔත්තු සේවය ඉතා සාර්ථක ලෙස කටයුතු කරමින් ලොව පතළ කීර්තියක් අත්කර ගත්තේය. යුද්ධය පටන් ගත් වහා ම එක්සත් රාජධානියේ හුන් සතුරු නියෝජිතයන් සියල්ලන් ම පාහේ හීන්සීරුවේ අත්අඩංගුවට ගැනීමටත්, ජර්මන් නාවික රහස් ලේඛන ක්‍රමය වටහා ගැනීමෙන් සතුරු යුද්ධ නෞකාවන්ගේ වංහුං කලක් බ්‍රිතාන්‍ය අද්මිරාල්ති මණ්ඩලයට කල් තියා දැන ගැනීමටත් පිළිවන් වූයේ MI5 නමැති එකී ඔත්තු සංවිධානයේ පිහිටෙනි.

යුද්ධකාරී රටවල මෙන් ම මධ්‍යස්ථ රටවල ද ඔත්තු සේවයේ යෙදුණු බොහෝ දෙනකු හුන් ඒ යුද්ධ අවධියේ නමගිය ඔත්තුකරුවෙක් වූයේ මිත්‍රපක්ෂයට ඇමෙරිකානු ආධාර ලැබීම කඩාකප්පල් කරනු වස් 1915 දී ඇමෙරිකාවට යවනු ලැබූ කපිතන් ෆ්‍රාන්ට්ස් ෆොන් රින්ටේලන් නමැති ජර්මන් ජාතිකයායි. එතෙක් මෙතෙක් වඩාත් ම ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ 1905 සිට යුරෝපයේ අගනුවරවල් හා වෙනත් නගර කිහිපයක ඔත්තු බලමින් සිට 1917 දී ප්‍රංසයේ දී හිසගසා දමනු ලැබූ මාටා හරි නමින් දන්නා ඕලන්ද ජාතික කාන්තාවය.

දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමට බොහෝ කලකට පෙර ම විදෙස් ඔත්තු ලබාගැනීමේ හා තම රහස් ආරක්ෂා කර ගැනීමේ ඔත්තු සේවය රාජ්‍ය තාන්ත්‍රික හා යුද්ධ විෂයක රහස් පිළිබඳ කරුණුවලට පමණක් සීමා නොකොට එහි ක්ෂේත්‍රය පුළුල් කරනු ලැබීය. සතුරන් විය හැකි රටවල යුද්ධ ශක්තිය කෙරෙහි බලපාන ඒවායේ කාර්මික හා විද්‍යාත්මක රහස් සොයාගැනීම ප්‍රධාන පරමාර්ථයක් බවට පත් විය.

ඔත්තු සේවය වූකලි දුටුවන් වශී කරවනසුලු ඔත්තුකාරියන්, වෙස්වළාගැනීම්, හොර විදේශ ගමන් බලපත්‍ර, හැංගිහොරා හමුවීම් යනාදිය ආශ්‍රිතව කෙරෙන්නක්ය යනු සාමාන්‍ය මහජනයාගේ පිළිගැනීමයි. මෙවැනි උපක්‍රම දැනුදු ඉඳහිට යොදනු ලැබුව ද ප්‍රයෝජනවත් ඔත්තු තොරතුරුවලින් වැඩි හරියක් අද ලබාගන්නේ පුවත්පත්, සංචාරකයන් හා වෙළඳ ව්‍යාපාරිකයන් වැනි එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සාමාන්‍ය මාර්ගයන්ගෙනි.

ජාත්‍යන්තර ඔත්තුකාරයා වූකලි 20 වැනි සියවසේ පහළ වූවෙකි. අනිවාර්යයෙන් ම වාගේ මොහු සිය රට දැය කෙරෙහි ඇල්මක් නැත්තාවූ ද බොහෝවිට රට දැය කෙරෙහි කලකිරීමට පත්ව සිටින්නා වූ ද අයෙකි. මොවුනතුරින් බොහෝ දෙන නම් දරාපු අපරාධකරුවෝයි. වැඩියක් ම හොඳින් ගෙවන ස්වාමියකු වෙනුවෙන් සේවය කරන්නාවූ ද පළමු ස්වාමියා පාවා දී හෝ ඊටත් වඩා හොඳින් ගෙවන දෙවැන්නකුහට සේවය කිරීමට නිතර සෑදී පෑදී සිටින්නාවූ ද මෙවැන්නන් විසින් සපයනු ලබන තොරතුරුවල වටිනාකමක් ඇත්තේ කලාතුරකිනි. ඔත්තු සේවය වෘත්තියක් වශයෙන් කරන අය අල්ප වශයෙන් හෝ විශේෂ හදිසි අවස්ථාවල දී පමණක් හෝ යෙදවීම අද සාමාන්‍ය සිරිතයි.

දෙවන ලෝක යුද්ධ සමයේ දී ඔත්තු සේවයේ ක්ෂේත්‍රය බෙහෙවින් පුළුල් වූ අතර ඒ කටයුතු ඉතා කාර්යක්ෂම ලෙස කෙරෙන්නට විය. නව විද්‍යාත්මක සොයා ගැනීම් හේතුකොටගෙන තොරතුරු සපයා ගැනීමේ මං බහුල විය. ගුවන්යානාවලින් ගොස් ඈත අහසේ සිට ඡායාරූප ගැනීමෙන් ඔත්තු බැලීමේ ක්‍රමය මගින් හමුදාවන් වාඩිලා සිටින තැන්, යුද්ධෝපකරණ ගබඩා කොට ඇති තැන් ආදි යුද ලකලෑස්ති අනාවරණය කරගත හැකි විය. ගුවන් විදුලි පණිවුඩ අතරමඟ දී අල්ලා ගැනීමත් ඉතා ම සංකුල රහස් ලේඛන ක්‍රම පවා හැඳිනගැනීමේ හැකියාවත් උපයෝගී කොට ගෙන තොරතුරු එක්රැස් කරගැනීම ඔත්තු බැලීමේ සාමාන්‍ය ක්‍රියා මාර්ගයක් බවට පත් විය.

ජපනුන් ප'ල් (හාබර්) වරායට පහර දීමට කලින් ඔවුන්ගේ රහස් ලේඛන ක්‍රමය ඇමෙරිකානු ඔත්තු සේවයට දැනගන්ට ලැබී, ඔවුන් සතුරු අරමුණු ඇතිව සිටින වග ඇමෙරිකාව දැන සිටිය ද ඔවුන් පහර දෙන්ට යන්නේ හරියට ම කොතැනට ද, කොයි වේලේ ද, කොයි ආකාරයට ද යන්න කල් තියා දැනගැනීමට අසමත් වූ බව මෙහි ලා සැලකුව මනායි.

දෙවන ලෝක යුද්ධයේ දී එංගලන්ත-ඇමෙරිකා ඔත්තු සේවයේ කේන්ද්‍රස්ථානය වූයේ බ්‍රිතාන්‍ය රහස් සේවයයි. ජර්මනියේ හා ජර්මනුන් අල්ලා ගෙන හුන් රටවල සිදු වූ වැදගත් සිද්ධීන් සියල්ලක් ගැන බ්‍රිතාන්‍ය ඔත්තුකාරයෝ පරිපූර්ණ වාර්තා සැපයූහ. ඇමෙරිකාවෙන් පැරෂූට් මගින් ප්‍රංසයට යවන ලද පුහුණු ඔත්තුකරුවන් හා කඩාකප්පල්කාරීන් බොහෝදෙන නිසා නෝර්මන්ඩී ආක්‍රමණය කෙරෙද්දීත් ඊට කලිනුත් ජර්මන් භටකණ්ඩායම් පහකට ක්‍රියා විරහිතව සිටීමට සිදු වූ බව අයිසන්හවර් සෙනෙවිතුමා කියා ඇත.

සෝවියට් දේශයට ජර්මන් ප්‍රහාර එල්ල වීමට පෙරත් පසුත් සෝවියට් ඔත්තු සේවය, ජපානයේ හුන් රිචඩ් සෝර්ග නමැති ජර්මන් පුවත්පත් වාර්තාකරු හා ඔහුගේ සහායකයන් මගින්, ජර්මනුන්ගේ ප්‍රධාන අරමුණු හා කාර්‍ය්‍ය පටිපාටි සියල්ලක් සම්බන්ධ තොරතුරු නොඅඩුව ලබා ගත්තේය. ජර්මන් සේනාංක 170ක් සෝවියට් දේශ සීමාව ඔස්සේ වාඩිලා සිටින බවත් ජූනි 20 වැනි දා ඒ මුළු කඳවුර දිගේ මොස්කව් නුවර බලා පහර දීමට යන බවත් 1941 මැයි 12 වැනි දා, එනම් ජර්මනුන් රුසියාව ආක්‍රමණය කිරීමට සති පහකට කලින් සෝර්ග දක්වා සිටියේය. 1944 දී ජපනුන් විසින් සෝර්ග මරණයට පමුණුවන ලදි.

ජර්මන් ඔත්තු සේවයේ ක්‍රියාකාරිත්වය නිසා එංගලන්තයේ ‘රෝයල් ඔක්’ නම් යුද්ධ නෞකාව 1939 දී ස්කොට්ලන්තයේ ස්කාපා ෆ්ලෝ වරායේ දී ගිල්වා දැමීමට ජර්මනුන්ට හැකි විය. මීට ඔත්තුව කීවේ අවුරුදු කිහිපයක් ආරූඪ නමකින් ස්කොට්ලන්තයේ වාසය කළ ජර්මන් යුද්ධ නෞකා බලඇණියේ හිටපු කපිතන් කෙනකු වූ අල්ෆ්‍රෙට් වේරිං නමැත්තා කෙටිතරංග ට්‍රාන්ස්මීටරයක් මගිනි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔත්තු බැලීමේ වැඩවල වෙනසක් ඇති වීමට හේතු වූ අලුත් සාධක පහළ විය. ජාත්‍යන්තර දේශ සීමා අලුතෙන් සලකුණු විය. ශත වර්ෂ ගණනක් මුළුල්ලේ ස්වාධීනව හුන් රාජ්‍ය සෝවියට් රුසියාවේ අනුචරයන් බවට පත් විය. යටත් විජිත හා ආරක්ෂිත රටවල් පූර්ණ ස්වාධීනතාව ලැබීය. මේ මහා විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් දහස් ගණන් ජනයාට සිය ගම රට අත්හැර අන් රටක සරණ සොයා යෑමට සිදු විය. මේ තත්වය යටතේ ඔත්තුකාරයන්ට පිටරටවලට රිංගා ගැනීම පහසු විය. මේ හැරුණු විට ලෝකයෙන් වැඩි හරිය කොමියුනිස්ට්වාදී හා බටහිර ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් පිල් දෙකකට බෙදී යෑමෙන් අලුත් වර්ගයක දේශද්‍රෝහී කොට්ඨාස පහළ විය. බටහිර රටවල වගකිවයුතු තනතුරු දැරූ දැනඋගත් ඇතැමෙක්, තමන් විශ්වාස කළ පරිදි උත්කෘෂ්ට අභිප්‍රායයන් මගින් පොලඹවනු ලැබ, කොමියුනිස්ට්වාදයට ගැතිබැතිකම් දක්වන්නට වූහ. අනෙක් අතට කොමියුනිස්ට් රටවල ඇතැම් අය බටහිර රටවලට පැමිණ දේශපාලන රැකවරණ ලබාගත්හ.

ඔටාවා නුවර සෝවියට් තානාපති කාර්යාලයේ නිලධාරියකු වූ ඉගෝර් ගුසෙන්කෝ 1945 සැප්තැම්බර් මාසයේ දී කැනඩාවට එකතු වූ පසු බ්‍රිතාන්‍යයේ ඉතාමත් ම රහසිගත න්‍යෂ්ටික පර්යේෂණවල යෙදී හුන් ක්ලව්ස් ෆුක්ස් හා ඇලන් නන් මේ නමැත්තන් කරගෙන ගිය ඔත්තු සැපයීම් ක්‍රියා කලාපය අනාවරණය විය. ඔවුන්ගේ මේ දේශද්‍රෝහී වැඩ, එතෙක් බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව පමණක් දැන සිටි පරමාණු බෝම්බය තැනීමේ ක්‍රමය රුසියාවටත් දැනගැනීමට බෙහෙවින් ඉවහල් වූවා විය හැකිය. 1951 දී ඇමෙරිකාවේ ජූලියස් හා එතල් රෝසන්බ'ග් යුවළ සෝවියට් ආණ්ඩුවට පරමාණු බෝම්බ පිළිබඳ රහස් යැවීමේ වරදට වරදකරුවන් කරනු ලැබ අභියාචන ගණනාවකට පසු 1953 දී මරණයට පමුණුවන ලදහ.

1960 ගණන්වල දී ඉමහත් ප්‍රසිද්ධියක් ලත් ඔත්තු බැලීම වූයේ ‘කිම්’ ෆිල්බි නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් බ්‍රිතාන්‍ය ඔත්තු සේවය ඇතුළත සිටිමින් ම සෝවියට් රුසියාව වෙනුවෙන් එකොළොස් අවුරුදු කලක් තිස්සේ අසු නොවී කරන ලද්දයි. ඇමෙරිකාවේ ප්‍රධාන ඔත්තු ඒජන්සිය (CIA) හා සම්බන්ධකම් සහිතව බ්‍රිතාන්‍ය ඔත්තු සේවයේ ප්‍රධානියා බවට 1949 දී පත් කරන ලද මොහුගේ ක්‍රියාකලාපය හෙළිදරව් වූයේ 1963 දී මොහු රුසියාවට පලා ගිය විටය. ඔහුගේ තනතුර නිසා ඔහු සිය හාම්පුතාලාට වටනා තොරතුරු සැපයීමට හැකි තත්ත්වයක හුන් බව නොකිවමනායි. ඔහුට සහාය වූ ඩොනල්ඩ් මැක්ලීන් හා ගයි බ’ජස් නමැති බ්‍රිතාන්‍ය රාජ්‍ය දූතයන් දෙදෙනා ෆිල්බිගෙන් අනතුරු හැඟවීමක් ලැබ 1951 දී එංගලන්තයෙන් රුසියාවට පලා ගොස් සිටියහ.

අනෙක් අතට, ඇමෙරිකාව හා එක්සත් රාජධානිය වෙනුවෙන් ඔත්තු බැලීමේ වරදට 1963 දී මොස්කව් නුවර දී වරදකරු කරනු ලැබූ ග්‍රෙවිල් වින් නමැති බ්‍රිතාන්‍ය වෙළඳ ව්‍යාපාරිකයා එංගලන්තයේ රාජකීය යුද්ධ නෞකා බලඇණිය පිළිබඳ ඔත්තු බලා අසු වී 1961 දී දීර්ඝ සිර දඬුවමකට නියම කරනු ලැබ දඟගෙයි හුන් ත්‍රොෆිමෝවිච් මොලෝඩී නමැති රුසියන් ජාතිකයා වෙනුවට හුවමාරු කර ගන්නා ලදි. එසේ ම ඇමෙරිකාවේ ප්‍රධාන ඔත්තු ඒජන්සිය (සී.අයි.ඒ.) වෙනුවෙන් ඔත්තු බලන අය ලොවපුරා ම සිටින බව නොරහසකි. 1952 දී සී.අයි.ඒ. නියෝජිතයෝ දෙදෙනෙක් කොමියුනිස්ට් චීනයේ දී අල්ලාගන්නා ලදහ. ඈත ගුවනේ සිට ඔත්තු බැලීම සඳහා සී.අයි.ඒ විසින් 1960 දී රුසියාවට යවන ලද ෆ්රැන්සිස් ගේරි පවර්ස් නමැත්තාගේ ගුවන් යානාව බිම හෙළා ඔහු අල්ලා ගනු ලැබීය. ඔහු ද 1957 දී රුසියාව වෙනුවෙන් ඇමෙරිකාවේ ඔත්තු බලා අසු වී තිස් හවුරුදු සිර දඬුවමකට නියම කරන ලද ඉවනෝවිච් ආබෙල් නමැත්තා වෙනුවට 1962 දී හුවමාර කර ගන්නා ලදි. 1962 දී ඇමෙරිකාව ඈත අහසේ සිට ක්‍යුබාවේ ඔත්තු බැලීම් විශාල වශයෙන් කොට ඉතා වටනා තොරතුරු ලබා ගැනීමට සමත් විය. ඔත්තු බැලීම් බොහෝ සේ කෙරෙන වෙනත් පෙදෙස් නම් දෙකට බෙදුණු ජර්මනියේත් ඊශ්‍රායෙලය හා අරාබි රටවල් අතරත්ය.

වර්තමාන ජාතික ඔත්තු සේවා සංවිධාන

හැම රටක ම ඔත්තු සේවා සංවිධාන බෙහෙවින් එක හා සමානය. පිටරටවල දේශපාලන, ආර්ථික හා කාර්මික තොරතුරු එක්කාසු කරගැනීමත් තම රටේ රහස් ආරක්ෂා කර ගැනීමත් කාර්‍ය්‍යභාරය කොට ඇති උත්තරීතර අධිකාරී සංවිධානයක් හැම රටක ම අගනුවර ඇත. රටින් පිට තානාපති කාර්යාල වැනි තන්හි ඔත්තු සංවිධාන නියෝජනය කරනු ලැබේ. ත්‍රිවිධ හමුදාවන්ට අදාළ තොරතුරු එක්කාසු කිරීම හා ඒවා හළා පොළා බැලීම එම සේවාවන්ට ම අයත් කාර්යය මණ්ඩල මගින් කෙරේ.

මෙසේ සාමාන්‍ය කාර්‍ය්‍ය සංවිධානය හා තොරතුරු රැස්කිරීමේ ක්‍රම හැම රටකට ම පාහේ පොදු වුව ද රටේ රහස් ආරක්ෂා කර ගැනීමේ ක්‍රම අතින් කැපී පෙනෙන වෙනසක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වැඩි හරියක රටේ වලංගු සාමාන්‍ය නීතිය අනෙක් පුරවැසියන් කෙරෙහි මෙන් ම රහස් ආරක්ෂා කරගැනීමේ කටයුතුවල නියුක්ත හමුදා හා පොලිස් නිලධාරීන් කෙරෙහිත් එකාකාරව බලපවත්වන හෙයින් එය උල්ලංඝනය නොවන පරිදි රහස් රැක ගැනීමට ඇති මං සීමා සහිතය. අන් බොහෝ රටවල රහස් රැකගැනීමේ වගකීම භාරව ක්‍රියා කරන රහස් පොලීසිය කෙරෙහි සිරභාරයට ගැනීමේ හා ප්‍රශ්න කිරීමේ විශේෂ බලතල පවරා තිබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔත්තු_සේවය&oldid=11554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි