ඔපොසම්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:54, 6 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Opossum). ඇමෙරිකාවේ ජීවත් වන සේපාටික (marsupial) ක්ෂීරපාය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Opossum). ඇමෙරිකාවේ ජීවත් වන සේපාටික (marsupial) ක්ෂීරපායින්ට මේ නාමය භාවිත වෙයි. දකුණු එක්සත් ජනපදයේ සිට දකුණු ආජන්ටිනාව දක්වා මේ සත්තු දක්නට ලැබෙත්. ඇමෙරිකාවට හා ඒ යාබද දූපත්වලට පමණක් මේ සේපාටිකයන් සීමා වී ඇතත් ඈත අතීතයේ දී, විශේෂයෙන් ම තෘතීයක (Tertiary) යුගයේ දී, උන් මීට වඩා බෙහෙවින් ව්‍යාප්තව සිටි බව පෙනේ. ඒ කාලයේ දී ඇතැම් විශේෂ යුරෝපයේ පවා ජීවත් වූ බවට සාක්ෂ්‍ය ඇත.

ගස් උඩ ජීවත් වන මේ සත්තු නිශාචරය. උන්ගෙන් බොහෝ දෙනෙක් කෘමිභක්ෂකය. සමහරු සර්වභක්ෂකය. ඇතැම් ඔපොසම් විශේෂ ප්‍රමාණයෙන් මීයකු තරම් කුඩාය. බළලකු තරම් ලොකු විශේෂ ද ඇත. වඩා රවුම් නොවූ, තරමක් උල් වූ මුහුණක් ද පරිග්‍රාහී (prehensile) දිග වලිගයක් ද ඔපොසම් විශේෂයනට ඇත. කලලබන්ධ ක්ෂීරපායින් වැඩි සංඛ්‍යාවක් සමග මුන් සසඳා බලන කල පෙනෙන්නේ මුන්ගේ දත් අමුතු බවය. උන්ට ඇත්තේ එක් දත් ඇන්දක් පමණි. එහෙත් එක් එක් හනුවක එක දතක් හැළී පසුව ඒ වෙනුවට අලුත් දතක් විකාශනය වන්නට පුළුවන. මෞත්‍ර-ලිංගික (urino-genital) ජම්බාලියක් (cloaca) උන්ට ඇත. කැංගරූ වැනි සේපාටිකයන්ට මනා ලෙස විකාසනය වූ පැසක් (pouch) ඇත. බොහෝ ඔපොසම් විශේෂයනට ද පැසක් ඇතත් මේ පැස කැංගරුන්ගේ පැස මෙන් විකාශනය වී නැත. ඔපොසම්ගේ ශරීරයෙහි පැසක් වශයෙන් දක්නට ලැබෙන්නේ උදරයේ සමෙහි නැමි දෙකක් පමණි.

ඩීඩෙල්පිස් ව'ජිනියානා (Didelphys virginiana) ඇමෙරිකාවේ දක්නට ලැබෙන විශාලතම ඔපොසම් විශේෂය වේ. ප්‍රමාණයෙන් ඌ බල්ලකු තරම් වෙයි. කොරල සහිත දිග පරිග්‍රාහී වලිගයක් ඌට තිබේ. රිදීපාටට හුරු අළුපාට දිග ලොම් ද ඊට යටින් ගහනව පිහිටි කෙටි ලොම් ද ඌට ඇත. උන්ගේ ලොම් වටිනා නිසා ලොම් පිණිස මේ සත්තු මරනු ලැබෙත්. යම්කිසි අනතුරකට මුහුණ පාන්නට සිදු වූ විට මේ සතා බොරුවට මැරුණාක් මෙන් ඇඟවීමෙන් බේරීගනී. ලොම් සහ මස් පිණිස උන් බෙහෙවින් දඩයම් කළත් ශීඝ්‍ර ලෙස බෝ වන හෙයින් උන්ගේ සංඛ්‍යාව දවසින් දවස වැඩි වේ. ගෑනු සතාට වරකට පැටවුන් 6 දෙනාගේ සිට 13 දෙනකු දක්වා ලැබෙන්නට පුළුවන. කලාතුරකින් මීට වැඩි සංඛ්‍යාවක් ද ලැබේ. උපන් විට ම පැටවු පැස තුළට ගොස් එක එකා මවගේ තන පුඩුවක් බැගින් අල්ලා ගනී. මෙසේ දවස් 60ක් පමණ ගත කරති. පැස ඇතුළේ තිබෙන තන පුඩු සංඛ්‍යාව 13කට වැඩි නොවන බැවින් එක් වරකට පැටවුන් 13 දෙනකුට වඩා ලැබුණොත් ඒ වැඩි සංඛ්‍යාව මරණයට පත් වේ. පැටවුන් තරමක් වර්ධනය වී පැසෙන් පිටට ආ විට මව් වලිගය ශරීරයට උඩින් නමාගෙන උන් ඒ වලිගයේ එල්ලාගෙන යන්නීය. පැටවුන් මවගේ වලිගයේ එල්ලී ඉන්නේ උන්ගේ පරිග්‍රාහී වලිගවලිනි.

මෙටකිරුස් නුඩිකවුඩාටුස් (Metachirus nudicaudatus) නමැති දකුණු ඇමෙරිකානු ඔපොසම් ප්‍රමාණයෙන් මීයකු තරම්ය. ලොම් රහිත දිග වලිගයක් ඌට ඇත. උගේ පිට දිගේ කළු ඉරක් වැටී තිබේ. උරුගුවේ, පැරගුවේ හා ආජන්ටිනා යන රටවල ජීවත් වන ලුට්රෙයෝලා ක්රසිකව්ඩාටා (Lutreyola crassicaudata) නමැති ඔපොසම්ට ඝන වලිගයක් ඇත. ඌ තරමක් ලොකු, තද කහපාට සතෙකි. පිලන්ඩර් ලනිගෙරා (Philander lanigera) නමැති ඔපොසම් මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ දක්නට ලැබේ. ඌ අඩි 2ක් පමණ දිගය. උගේ ලොම් රහිත වලිගය දිගය. එය උගේ දිගෙන් භාගයකට වඩා දිගය. මාමෝසා (Marmosa) ගණයට අයත් ඔපොසම් විශේෂයෝ කුඩා සත්තු වෙති. ප්‍රමාණයෙන් මීයකු තරම්ය. ලොම් රහිත දිග වලිගයක් ද ඇස්වටේ කළුපාට සලකුණු ද උන්ට තිබේ. මාමෝසා එලෙගන්ස් නමැති ඔපොසම් විශේෂය ගිම්හානතරණයට (aestivation) කලින් වලිගයේ මේද රාශියක් ගබඩා කර ගනී. ගිම්හානතරණයේ දී උගේ ශරීරයේ නඩත්තුව සඳහා මේ මේද උපකාරී වේ. මාමෝසා විශේෂ සියල්ලට ම පැස් නැත. මධ්‍යම හා දකුණු ඇමෙරිකාවේ ජලයේ ජීවත් වන ඔපොසම් විශේෂය කිරොනෙක්ටේස් මිනිමා (Chironectes minima) නමින් හැඳින්වේ. ඌ ලොකු මීයකු තරම්ය. කොරල සහිත දිග වලිගයක් ඌට ඇත. හොඳින් විකාශනය වූ පැසක් ගෑනු සතාට ඇත. මාළුන් හා කවච උගේ ප්‍රධාන ආහාරය වේ. ජලචර ජීවිතයක් ගත කරන එක ම සේපාටිකයා ඌය.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඇතැම් සේපාටිකයන්ටත් ඔපොසම් යන නාමය ව්‍යවහාර වේ. මොවුහු ඇමෙරිකානු ඔපොසම් විශේෂවලට වෙනස්ය. ඇමෙරිකානු විශේෂයන්ගේ මුහුණ තරමක් උල්ය. උන්ගේ වලිග ලොම් රහිතය. ඕස්ට්‍රේලියානු ඔපොසම් විශේෂයන්ගේ මුහුණ රවුම්ය. උන්ගේ වලිග කෙළවර හැර අනික් කොටස ලොම්වලින් වැසී තිබේ. ඇමෙරිකානු විශේෂවල උඩු හනුවේ කෘන්තක දත් 5ක් ද යටි හනුවේ 4ක් ද තිබේ. ඕස්ට්‍රේලියානු විශේෂයන්ගේ උඩු හනුවේ කෘන්තක දත් 4ක් ද යටි හනුවේ කෘන්තක දත් 3ක් ද තිබේ. මොවුහු වෙනත් කුලයකට අයත්ය. ට්‍රිකොසුරුස් (Trichosurus) හා සූඩොකිරුස් (Pseudochirus) හොඳින් දන්නා ඕස්ට්‍රේලියානු ඔපොසම් ගණ දෙකකි.

ඇමෙරිකානු ඔපොසම් විශේෂ මමාලියා වර්ගයෙහි මාර්සුපියාලියා (Marsupialia) ගෝත්‍රයෙහි ඩිඩෙල්පිඩෙ (Didelphidae) කුලයට අයත්ය. ඕස්ට්‍රේලියානු විශේෂ පලන්ගෙරිඩෙ (Phalangeridae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔපොසම්&oldid=11700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි