අකන්තාසේ
අකන්තාසේ වනාහි බද්ධදල (gamopetalous) පුෂ්ප ඇත්තාවූ ද්විබීජපත්‍රී (dicotyledonous) ශාක කුලයකි. මේ කුලයට අයත් ශාක නොයෙක් පරිසරයන්හි වැවේ. මේවා පැළෑටි (herbs), පඳුරු (shrubs), ආරෝහක ශාක (elimbers), බිම දුවන ශාක, සෙව්වන්දි (rosette) ශාක යනාදී වශයෙන් විවිධ විය හැකිය. මේ ශාකයන්ගෙන් කිහිපයක් වියළි පරිසරයන්හි වැවේ. එහෙත් මේවායින් බොහොමයක් වැවෙන්නේ තෙත් නිවර්තන වනාන්තරවලය.
අකන්තාසේ ශාකවල කඳන් බොහෝවිට පුරුක් සහිතය; කොළ සාමාන්‍යයෙන් ද්විකාන්තරික (decussate) ය; නිරුපපත්‍ර (exstipulate) ය. කොළදාරය, සම්පූර්ණ (entire) ය. පුෂ්ප මංජරිය සාමාන්‍යයෙන් ද්විභාජී (dichotomous) බහු-අක්ෂයකි (cyme). එහෙත් ඇතැම් විට ඒකාක්ෂ (racemose) පුෂ්ප මංජරීහු ද තනි පුෂ්පයෝ ද වෙත්. නිපත්‍ර (bracts හා නිපත්‍රිකා (bracteoles) බොහෝ විට දක්නට ලැබේ. මේවා සාමාන්‍යයෙන් වර්ණවත්ය. නිපත්‍රිකා නොයෙක්විට ලොකුය. සමහරවිට මේවායින් මල් ආවරණය වී ඇත. මල් ද්විලිංගිකය; යුගරූපී (zygomorphic) ය. සාමාන්‍යයෙන් ඩිම්බකෝෂයට පහළින් මධුග්‍රන්ථි (honey glands) තිබේ. මණිපත්‍ර 4-5 කි; බද්ධය. දල 4-5 කි; බද්ධය. මුකුටය (corolla) සාමාන්‍යයෙන් ද්වි-ඕෂ්ඨී (two-lipped) ය. රේණු 2-4 කි; කලාතුරකින් 5කි; අපිදල (epipetalous) ය. වඳ රේණු (1-3) නොයෙක් විට තිබේ. ඩිම්බ කෝෂය අණ්ඩප දෙකකින් යුක්තය; සමණ්ඩපික (syncarpous) ද්වකෝෂ්ටි ය; (bilocular) ඩිම්බන්‍යාසය (placentation) අක්ෂි ය. ඵලය ද්විකෝෂ්ඨී ස්ඵෝටිකාවකි. ඇට ස්වල්පයක් හෝ විශාල සංඛ්‍යාවක් හෝ තිබෙන්නට පුළුවන. සාමාන්‍යයෙන් ඵල පුපුරා ඇට පිටට විසුරුවා හරින්නේ කොකු වැනි විසර්ජකවල (jaculators) ආධාරයෙනි. (සංස්කරණය:1963)