ඓතරේය

සිංහල විශ්වකෝෂය වෙතින්
15:31, 7 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වෛදික ආචාර්යවරයෙකි. හෙතෙම මහිදාස ඓතරේය යන නමි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වෛදික ආචාර්යවරයෙකි. හෙතෙම මහිදාස ඓතරේය යන නමින් ද හැඳින්විණි. ඉතරා නම් ස්ත්‍රියකගේ පුත්‍රයා වූ හෙයින් ඔහුට ඓතරේය යන මාතෘමූලක නාමය ලැබුණු බව සායණ (බ.) ආචාර්යවරයා පවසයි. ඍග්වේදයට අයත් ඓතරේය බ්‍රාහ්මණය නමැති බ්‍රාහ්මණ (බ.) ග්‍රන්ථයත් ඍග්වේදයට ම අයත් ඓතරේයාරණ්‍යකය නමැති ආරණ්‍යක (බ.) ග්‍රන්ථයත් ඔහු විසින් රචනා කරන ලදැයි කියනු ලැබේ. ඍග්වේදයට අයත් ඓතරේයෝපනිෂදය යන නමින් දන්නා උපනිෂද් (බ.) ග්‍රන්ථය ද ඓතරේයාරණ්‍යකයෙහි ම කොටසක් හෙයින් ඔහුගේ කෘතියක් ලෙස සැලැකෙයි. මහිදාස ඓතරේය යන නම ඓතරේයාරණ්‍යකයෙහි නොයෙක් තන්හි දක්නට ලැබේ. එහෙත් එහි කිසි තැනෙකත් ඔහු විසින් එය රචනා කරන ලදැයි සඳහන් නොවේ.

ඓතරේය ආචාර්යවරයා එක්සිය සොළොස් අවුරුද්දක් ජීවත් වූ බවත් අවසාන කාලයෙහි නොයෙක් විට රෝ දුකින් පෙළුණු බවත් එතෙකුදු වුවත් රෝසතුරාට ඔහුගේ ධෛර්යය මැඩලිය නොහැකි වූ බවත් ඡාන්දෝග්‍ය උපනිෂදයෙන් හා ජෛමිනීය උපනිෂදයෙන් හෙළි වෙයි. ඔහු පිළිබඳ මතු දැක්වෙන විස්තරය ස්කන්ද පුරාණයෙහි එන්නකි.

ඓතරේය තෙමේ හරිත ඍෂිවරයාගේ වංශයෙහි උපන් මාණ්ඩූකි නම් ඍෂිවරයාට දාව ඉතරා නමැත්තියගේ කුසින් බිහි වූයේය. ළදරු කල පටන් ඔහු විෂ්ණු දෙවියන්ට “නමෝ භගවතේ වාසුදේවාය” යන මන්ත්‍රය ජප කරමින් අන් කිසිදු කතාබහක් නැතිව කල් ගෙවූ හෙයින් කළකිරීමට පත් මාණ්ඩූකි ඍෂිවරයා දෙවන විවාහයක් කරගෙන තවත් පුතුන් සිව්දෙනකු ලබාගත්තේය. ඔහු සිව්දෙනා බොහෝ ප්‍රකට උගත්තු වූහ. තම පුතාගේ දුර්වලකම් නිසා තමා අවමානයට භාජන වූ බව සැලැකූ ඉතරා සිය දිවි නසාගැනීමට අදහස් කොට ඒ බව පුතාට දැන්වූවාය. එකල ඔහු විසින් මවට ධර්මඥානය ලබා දී ඇයගේ අදහස් වෙනස් කරවන ලදි. කලකට පසු විෂ්ණු දෙවියෝ ඔවුන් ඉදිරියෙහි පහළව ඔවුන්ට ආශීර්වාද කළහ. පසු කාලයෙහි ඓතරේය තෙමේ හරිමේධ්‍ය නමැත්තාගේ දුවක හා විවාහ වූයේය.

ඓතරේය බ්‍රාහ්මණය අධ්‍යාය සතලිසකින් නොහොත් පඤ්චිකා අටකින් සැදුම් ලද්දේය. එහි ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ සෝම යඥයයි. ඓතරේයාරණ්‍යකය ආරණ්‍යක නමැති කොටස් පසකින් සැදිණි. එහි දෙවන තුන්වන ආරණ්‍යක දෙක නොහොත් දෙවන ආරණ්‍යකයෙහි අවසන් අධ්‍යාය සතර වෙන ම ගෙන ඓතරේයෝපනිෂදය යන නමින් හඳුන්වනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඓතරේය&oldid=11744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි