ඇලබාමා
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්යයේ දකුණුමධ්යම කොටසට අයත් ජනපද රාජ්යයකි. කපු නිපදවීම සම්බන්ධයෙන් අනික් සියලු ජනපද අභිභවා සිටින හෙයින් ‘කපු ජනපදය’ යනුවෙන් ද හැඳින්වෙන මෙය ප්රමාණයෙන් ව.සැ. 51,609කි. මෙය බටහිරින් මිසිසිපි, උතුරින් ටෙනසී, නැගෙනහිරින් ජෝජියා යන ජනපදවලින් ද දකුණින් ෆ්ලොරිඩාවෙන් සහ මෙක්සිකෝ බොක්කෙන් ද සීමා වී තිබේ. මෙම ජනපදය කෝරළ 67කට බෙදා තිබේ.
මෙහි උතුරු ප්රදේශය හරහා ඇපලේචියන් කඳුවැටිය විහිදී යයි. ලුකවුට්, ටැලාඩීගා, සෑන්ඩ් යන කඳුවැටි ද කම්බර්ලන්ඩ් සහ පීඩ්මොන්ට් යන සානු ද ටෙනසී, කූසා යන ගංගා නිම්න ද ප්රදේශයෙහි ප්රධාන භූමි ලක්ෂණයි. මධ්ය ප්රදේශය බ්ලැක් ප්රෙයාරි තැනිතලාවයි. දකුණු භාගය ඉතා පහත් මුහුදුබඩ තැනිතලාවයි. ටැලා ඩීගා වැටියෙහි පිහිටි අඩි 2407ක් උසැති චිහෝ මේ ජනපදයෙහි උස ම ශිඛරයයි. ඊසාන කඳුකරයෙන් නිරිත බලා ගලන කහාබා, කූසා සහ ටැලාපූසා යන ගංගා එක් වීමෙන් සෑදෙන ඇලබාමා ගඟ ජනපදයේ මධ්යම සහ නිරිත දිග තැනිතලාව හරහා ගලයි. බ්ලැක් වොරියර් නමැති ශාඛාව සහිත ටොම්බිග්බි ගඟ වයඹදිග උස්බිමෙන් නික්මී දකුණ බලා ගලා ඇලබාමා ගඟට එකතු වී මොබිල් සහ ටෙන්සෝ යනුවෙන් දෙකට බෙදී මොබිල් වරායට ගලා බසී. නැගෙනහිරෙහි දකුණ බලා ගලන චැටාහූචි ගඟ ඇලබාමා-ජෝජියා මායිම වෙයි. කෝනේක, යෙලෝ සහ පී යන කුඩා ගංගා ද දකුණු තැනිතලාවේ වෙයි. උතුරෙහි මිසිසිපි ගඟේ ප්රධාන අත්තක් වූ ටෙනසී ගඟ නිරිත දෙසට ද ඉක්බිති බටහිර හා වයඹ දෙසට ද ගලා ටෙනසී ජනපදයට පිවිසෙයි. සැ. 30ක් දික් වූ ද සැ. 10ක් පමණ පළල් වූ ද මොබිල් බොක්ක ඉදිරිපිට වැලි වැටි සහ වැලි දූපත් පවතී. මාටින්, මීචල් සහ ලේ යන විල් ද ටෙනසී ගඟ හරහා ඉදි කරන ලද වේලි නිසා ඇති වී තිබෙන ජලාශ ද ඇලබාමාවේ ඇත.
මේ ජනපදයේ උෂ්ණත්වය පැ. 48.2° සිට පැ.81.7° දක්වා වෙනස් වේ. එක සේ පැතිරී පවතින වාර්ෂික වර්ෂාපතනය අඟල් 52කි.
පසේ ස්වභාවය අනුව ජනපදය තීරු සතරකට බෙදේ. මුහුදුබඩ කැළෑ තීරයෙහි පස වැලි සහිතය, නිසරුය. එහෙත් පෝර යෙදීම හේතු කොටගෙන එය ඵලදායීව පවතී. මීට උතුරින් කළු (පස්) තීරය පිහිටා ඇත්තේය. හුනු මැට්ටෙන් සෑදුණු මෙහි පස කපු සහ තණකොළ වගාවට හිතකරය. කඳුකරයෙහි දියළු පසින් යුත් ගංඟා නිම්න ද වැලි මැට්ටෙන් සැදුණු උස් බිම් ද පවතින අතර, උතුරේ ටෙනසී නිම්නයෙහි ඇත්තේ ඉතා සාරවත් කළු සහ රතු මැටි බහුල පසය.
මෙහි භූමි ප්රදේශයෙන් තුනෙන් දෙකොටසක් ම වනයෙන් වැසී තිබේ. දැව නිෂ්පාදනය අතින් මේ ජනපදය දකුණු ජනපද අතුරින් ප්රධාන තැන ගන්නේ මේ නිසාය. ඇලබාමා ජනපදයේ වෘක්ෂලතාදිය ද විවිධය, බහුලය. මෙහි වැවෙන පැළෑටි වර්ග 41,500කටත් අධික සංඛ්යාවක් අතරෙහි විවිධ මීවන වර්ග විශේෂ ස්ථානයක් ගනී.
යකඩ හා රට අඟුරු ප්රධාන කොට ඇති ඛනිජ මෙහි බහුල වශයෙන් සම්භ වීම කර්මාන්ත වර්ධනයට මහත් ආධාරයකි. වානේ නිෂ්පාදනයට අත්යවශ්ය වූ රටඅඟුරු, යපස් සහ හුනුගල් එකිනෙකට සමීපව පිහිටා තිබේ. මෙහි වැඩි වශයෙන් යපස් ලැබෙනුයේ බ’මිංහැම් නගරය අවට නගරය අවට ප්රදේශයෙනි. බීබ්, වෝකර් සහ ජෙෆර්සන් යන කෝරළ හෙමටයිට් වර්ගයේ රටඅඟුරු ගැන ප්රසිද්ධය. මිනිරන්, ඛනිජතෙල් සහ කිරිගරුඬ මෙහි ඇති අනික් වැදගත් ඛනිජ ද්රව්යයි. රන්, රිදී, ඊයම් සහ තඹ ද හාරගනු ලැබේ.
ඇලබාමා ජනපදය ප්රධාන වශයෙන් ගොවි ජනපදයක් වශයෙන් හැඳින්විය හැකිය. මෙහි ප්රධාන ම වගාව කපුය. අවුරුද්දකට කපු මිටි දස ලක්ෂයකට අධික ප්රමාණයක් උපදවන අතර කපු ඇටවලින් තෙල් ද සිඳගනු ලැබේ. ධාන්ය වර්ග, විශේෂයෙන් බඩ ඉරිඟු, විශාල වශයෙන් නිෂ්පාදනය කැරෙන අතර බතල, බෝංචි සහ එළවළු ද සැලකිය යුතු ප්රමාණයක් වගා කරනු ලැබේ. ඌරන් ද මස් සහ කිරි පිණිස ගවයන් ද ඇති කිරීම හුදෙක් කපු සඳහා යෙදී තිබුණු කළු පස් තීරයේ ඉතා දියුණු තත්වයක පවතින කර්මාන්තයකි. මීමැසි පාලනය ද සරුය.
බ'මිංහැම් නගරය යකඩ සහ වානේ කර්මාන්තය පිළිබඳව උසස් ස්ථානයක් උසුලයි. රෙදිපිළී නිෂ්පාදනය අතින් ද ඇලබාමා ජනපදය වැදගත් තැනක් ගනී. ඇමෙරිකාවේ විශාල ම රෙදිකම්හල්වලින් කීපයක් මෙහි ඇත්තේය. අනික් කර්මාන්ත අතර කඩදාසි කර්මාන්තය, රසායන කර්මාන්තය හා ආහාර ද්රව්ය නිෂ්පාදනය වැදගත්ය. ටෙනසී, ටැලාපූසා, චැටාහූචී යන ගංගා නිම්නවල උපදවන කි.වො. 2,000,000ක ජලවිදුලි බලය ද කර්මාන්ත දියුණුවට විශාල ආධාරයකි.
මේ ජනපදයෙහි විශේෂ ලක්ෂණයක් නම් අන් කිසිදු ජනපදයක නැති තරම් අභ්යන්තර ජලමාර්ග තිබීමයි. ටෙනසී ගංගා කොටස දිගට ම යාත්රාවලට ගමන් කළ හැකිය. වොරියර්, ටොම්බිග්බි සහ මොබිල් යන ගංගා මගින් බ'මිංහැම් ප්රදේශයත් මොබිල් වරායේ පිහිටි මොබිල් තොටත් සම්බන්ධ ව පවතී. මෙහි මහා මාර්ග සැ. 15,000ක් පමණ වන අතර සැ. 5,000කට වඩා දුම්රිය මාර්ග ඇත්තේය.
1852 දී රජය මගින් දෙනු ලබන අධ්යාපනය මොබිල් අවට ප්රදේශයට පමණක් සීමා වී තිබුණු නමුත් 1854 දී එය ජනපදය මුළුල්ලේ ම ව්යාප්තව ගියේය. ඒ ඒ කෝරළවල උසස් පාසැල් ක්රමය ආරම්භ වූයේ 1907 දීය. කාර්මික සහ වෙළඳ අධ්යාපන ආයතන රාශියක් ද විශ්වවිද්යාලයක් ද මේ ජනපදයෙහි වේ.
ජනපදයේ අගනුවර මොන්ට්ගෝමරි (106,525) ය. ඇලබාමා ගඟබඩ කළුපස් තීරයෙහි පිහිටි එය කපු සහ ගවමස් මධ්යස්ථානයකි. ප්රධාන වෙළඳ නගරයකි. සමීපයෙහි යකඩ සහ අඟුරු කෙත් ඇති නිසා ගොවි උපකරණ ආදිය නිෂ්පාදනය ද මෙහි කරනු ලැබේ. බ'මිංහැම් (326,037) විශාල ම නගරය වේ. යකඩ සහ වානේ භාණ්ඩ, කපුපිළී සහ විද්යුත් උපකරණ මෙහි ප්රධාන නිෂ්පාදනයි. මොබිල් (139,000) එක ම තොටයි. කපු, අඟුරු, දැව සහ සිමෙන්ති ප්රධාන නිර්යාතයි. නැව් සෑදීම ප්රධාන කර්මාන්තයකි. ටස්කාලුසා (46,396) අසල ඇලබාමා විශ්වවිද්යාලය පිහිටා තිබේ. ගැඩ්ස්ඩන්, ඇනිස්ටන් සහ බෙසමර් වෙනත් ප්රධාන නගර වෙයි. මුළු ජනපදයේ ජනගහනය වන (1950) 3,061,743න් 32%ක් නීග්රෝවරු වෙති.
ආණ්ඩුව
මේ ජනපදයෙහි විධායක මණ්ඩලය ආණ්ඩුකාර තැන, උපආණ්ඩුකාර තැන, ඇටෝර්නි ජනරාල්, ජනපද ලේකම්, ජනපද ගණකාධිකාරි, භාණ්ඩාගාරික, කෘෂිකර්ම හා කර්මාන්ත කොමසාරිස් සහ අධ්යාපන පරිපාලක යන නිලධාරීන්ගෙන් සමන්විතය. ව්යවස්ථාදායක මණ්ඩලය සෙනෙට් සභාවකින් සහ නියෝජිත මන්ත්රී මණ්ඩලයකින් යුක්ත වෙයි. පළාත්පාලනය පිළිබඳ ඒකකය වූකලි කෝරළයයි. මේ ආයතන පාලනය වන්නේ කොමසාරිස් මණ්ඩලයක් මගිනි.
ඉතිහාසය
ඇලබාමා සීමාවට පළමුවෙන් (1539) පිවිසි යුරෝපීය ජාතිකයෝ ස්පාඤ්ඤවරුය. මෙහි ප්රථම ජනාවාසය (1711) වූකලි ප්රංස ජාතිකයන් විසින් පිහිටුවන ලද මොබිල් නගරයයි. රතු ඉන්දියානු ලොම්හම් (furs) සම්බන්ධයෙන් ඉංග්රීසීන් හා ප්රංස ජාතිකයන් අතර ඇති වූ සටන්වල දී මේ ප්රදේශය ඉංග්රීසි ජාතිකයනට අත් විය. 1817 දී මිසිසිපි ප්රදේශයේ නැගෙනහිර භාගය සමඟ ඇලබාමා ප්රදේශය (territory) වශයෙන් සංවිධානය වූ මෙය ජනපදයක් ලෙස එක්සත් ජනපද රාජ්යයට ඇතුළත් වූයේ 1819 දීය.
(සංස්කරණය: 1967)