ඇලම්
(Alum). පොටෑසියම් සල්ෆේට් ද්රාවණයක් ඇලුමිනියම් සල්ෆේට් ද්රාවණයකට එකතු කර මිශ්රණය ස්ඵටිකීකරණය කළහොත් ලක්ෂණ නිර්වර්ණ ස්ඵටික සෑදේ. මේ ස්ඵටිකවල සංයුතිය K2S04. Al2 (SO4)3. 24 H2O හෙවත් KAl (SO4)2. 12 H2O යන රසායන සූත්රයෙන් ප්රකාශ කළ හැකිය. වෙළඳ සැලේ සාමාන්ය ඇලම් (සීනක්කාරම්) යන නමින් හැඳින්වෙන මේ සංයෝගය ද්වියෝග ලවණයකි (double salt).
කථාව්යවහාරයේ දී මෙය ඇලම් යනුවෙන් හැඳින්වුණ ද රසායන විද්යාවේ ඇලම් යන්න යෙදී ඇත්තේ සමරූපතාවට (isomorphism) ඉතා වැදගත් නිදසුනක් සේ දැක්වෙන සල්ෆේට් මාලාවකටය. සාමාන්ය ඇලම් හෙවත් සීනක්කාරම්වල අඩංගු පොටෑසියම් වෙනුවට ඇමෝනියම් කාණ්ඩය (NH4) හෝ සෝඩියම්, රුබීඩියම්, රිදී, සීසියම් හා තැලියම් වැනි ඒකසංයුජ (monovalent) ලෝහයක් හෝ යෙදෙන්නට පුළුවන. තවද ඇලුමිනියම් වෙනුවට ක්රෝමියම්, මැංගනීස්, යකඩ, කොබෝල්ට්, ගැලියම්, ඉරිඩියම්, වැනේඩියම් හා ටයිටේනියම් වැනි ත්රිසංයුජ (trivalent) ලෝහයක් යෙදෙන්නට පුළුවන. ඒකසංයුජ ලෝහයක් හෝ ඛණ්ඩකයක් සමඟ ත්රිසංයුජ ලෝහයක් හෝ ඛණ්ඩකයක් සාදන ස්ඵටික ජල අණු 24ක් සමග අෂ්ටතල (octahedra) හෝ ඝන (cubes) හෝ වශයෙන් ස්ඵටිකීකරණය වන ද්වියෝග සල්ෆේටවලට හෝ සෙලිනේටවලට (selenates) ඇලම් යන නාමය දැන් භාවිත කරනු ලැබේ. මෙසේ ලැබිය යුතු හැම ඇලම් ලවණයක් ම පිළියෙල කොට නැත. ඒවායින් 47ක් පමණ පිළියෙල කොට ඇත.
ඇලම්වල ද්රාව්යතාව බෙහෙවින් වෙනස් වේ. සෙ. 90° දී යම් ජල ප්රමාණයක දිය විය හැකි පොටෑෂ් ඇලම්වල බර ජලයේ බර මෙන් කීප ගුණයක් වේ. ජලීය (aqueous) ද්රාවණ දුර්වල අම්ල මෙන් ක්රියා කරයි. ඇලුමිනියම් සල්ෆේට් ඇලම්වල කහට ආම්ලික රසක් ඇත. සාමාන්ය ඇලම් පරෙස්සමින් රත් කළ හොත් සෙ. 100° දී එය සම්පූර්ණයෙන් ම නිර්ජල කළ හැකිය. ශීඝ්ර ලෙස රත් කළ හොත් සැහැල්ලු සවිවර ද්රව්යයක් සෑදේ. ඉහළ උෂ්ණත්වයක දී තවදුරටත් රත් කළහොත් ඇලුමිනියම් සෙස්ක්විඔක්සයිඩ් ලැබේ.
විකිණීමට ඇති ප්රධාන ඇලම් වර්ගය වන පොටෑෂ් ඇලම් බොහෝ කොට ම ලබාගන්නේ ලියුසයිට් (leucite) නමැති ඉතාලි ඛනිජයෙනි. යකඩ ඇලම් [ෆෙරික් ඇමෝනියම් සල්ෆේට් (NH4)2 SO4Fe2 (SO4)3. 24 H20] ලක්ෂණ, දම්පාට ස්ඵටික වශයෙන් දක්නට ඇත්තේය. වෙළඳ වැදගත්කමක් ඇති තවත් ඇලම් වර්ගයක් නම් ක්රෝම් ඇලම් [ක්රෝමියම් පොටෑසියම් සල්ෆේට් K2 SO4. Cr2 (SO4)3. 24 H20] ය. බොහෝ කර්මාන්තවල ඇලම් වර්ග පාවිච්චි කරනු ලැබේ. සායම් පෙවීම, කඩදාසි සෑදීම, හම් පදම් කිරීම, ජලය පිරිසිදු කිරීම ආදියට ඇලුමිනියම් ඇලම් පාවිච්චි කරත්. ක්රෝම් ඇලම් සායම් පෙවීම හා හම් පදම් කිරීම පිණිස යොදනු ලැබේ.
(සංස්කරණය: 1967)