ඇලරික්

සිංහල විශ්වකෝෂය වෙතින්
13:42, 8 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(370-410). වරක් ලෝකයේ ප්‍රධාන නගරය හැටියට සලකනු ලැබූ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(370-410). වරක් ලෝකයේ ප්‍රධාන නගරය හැටියට සලකනු ලැබූ රෝමය යටත් කිරීම නිසා කීර්තියට පත් විසිගොත් හෙවත් බටහිර ගොත් වර්ගයට අයත් රණ ශූරයෙකි.

රෝම අධිරාජ තියඩෝසියස්ගේ අනියම් භට හමුදාවේ සේනාපතියකු වශයෙන් හෙතෙම අධිරාජ පදවිය උදුරාගැනීමට ඉදිරිපත් වූ ඉයුග්නියස් නමැත්තා මැඩලීය. තියඩෝසියස් යටතේ ඉටු කළ විශිෂ්ට සේවය නිසා යුද්ධසේනාධිනායක පදවියක් ඔහු බලාපොරොත්තු වූ නුමුත් එම අභිමතාර්ථය ඉටු නොවීය. තියඩෝසියස් අධිරාජයාගේ මරණින් පසු එම අධිරාජයාගේ පුත් ආකේඩියස් හා ඔනෝරියස් අතර නැගෙනහිර හා බටහිර වශයෙන් අධිරාජ්‍යය බෙදීයාමත් සමඟ ඒ දෙදෙනා අතර ඇති වූ නොසන්සුන්කම්වලින් ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු සුන්ව සිටි ඇලරික් අදහස් කළේය. මේ අතර විසිගොත් වර්ගයා විසින් ඇලරික් රාජ පදවියකින් පුදනු ලැබීය.

ඉක්බිති හෙතෙම නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ ත්‍රෙස්, මැසිඩොන් හා තෙසලි යන ප්‍රදේශ ආක්‍රමණය කෙළේය. ඔහුගේ ග්‍රීක ආක්‍රමණය දෙවර්ෂයක් පැවතිණ. ඔහු ඇටිකාව විනාශ කළ නමුත් කප්පම් ලැබීම නිසා ඇතන්ස් නගරයට හානි නොකෙළේය. ඉක්බිති හේ පෙලොපොනිසස්හි කොරින්ත්, ස්පාටා, ආගොස් ආදි නගර වනසමින් ඒවා යටත් කෙළේය. එහෙත් ආකේඩියස්ගේ ආධාරයට පැමිණි ස්ටිල්කෝ සෙනෙවියා අතින් පැරදුණු ඇලරික් දිවි ගලවාගෙන පැන ගියේය. ඔහු හා සාමය කැමති වූ ආකේඩියස් 399 දී ඉලිරිකම්හි ආණ්ඩුකාර පදවිය ඔහුට පැවරීය.

ඇලරික් 401 දී බටහිර අධිරාජ්‍යයේ අගනුවර පිහිටි ඉතාලිය ආක්‍රමණය කෙළේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අධිරාජයා මිලාන් නගරය හැරදමා රවෙනා නුවරට ගොස් එය අගනුවර කරගත්තේය. 402 දී හා 403 දී ස්ටිල්කෝ අතින් ඇලරික් දෙවරක් ම පැරදීම නිසා ඔහුට ඉතාලි ආක්‍රමණය කල් දමන්නට සිදු විය. ක්‍රි.ව. 409 දී රණකාමී ඇලරික් නැවත ඉතාලියට ඇතුළුව රෝමයට පහර දුන්නේය. රෝම සෙනෙට් සභාව ඔහු හා සාමයට කැමතිව, ඔනෝරියස්ට විරුද්ධව අට්ටාලස් නම් ග්‍රීකයකු අධිරාජ පදවියට පත් කිරීමට ද ඔහුට ඉඩ දුන්නේය. එහෙත් අට්ටාලස් බලාපොරොත්තු වූ පමණට කාර්යශූර නොවීම නිසා එකොළොස් මසක් ඇවෑමෙන් ඇලරික් ඔහු අධිරාජ පදවියෙන් නෙරපා දැමීය. අනතුරුව ඔනෝරියස් සමග සාකච්ඡා ඇරඹූ නමුත් එද සාර්ථක නොවූයෙන් හෙතෙම නැවත රෝමය ආක්‍රමණය කෙළේය. ක්‍රි.ව. 410 අගෝස්තු මාසයේ දී ජයග්‍රාහක ඇලරික් රෝමයට ඇතුළු විය. අවුරුදු 800ක කාලයක් තුළ දී පළමුවරට රෝමයට සතුරකු ඇතුළු වූයේ එදාය. තෙදිනක් තිස්සේ නගරය කොල්ලකමින්, ජනයා මරාදමමින්, ස්ත්‍රීන් දූෂණය කරමින් හා ගොඩනැඟිලි බිඳ හෙළමින් සිටි සේනාව රැගෙන ඇලරික් දකුණු ඉතාලිය ද වනසා ඉක්බිති අප්‍රිකාව ආක්‍රමණය කිරීමට අදහස් කොට ඒ පිණිස සූදානම් විය. එහෙත් මේ අතර ඔහුගේ මරණය සිදුවීම (410) නිසා විසිගොත්වරුන්ගේ අප්‍රිකා ආක්‍රමණය නැවතිණ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලරික්&oldid=11763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි