ඇලෙක්සැන්ඩර් III (1)

සිංහල විශ්වකෝෂය වෙතින්
09:40, 13 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(මහා ඇලෙක්සැන්ඩර්) (ක්‍රි.පූ. 356-323). ලෝක ඉතිහාසයේ ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(මහා ඇලෙක්සැන්ඩර්) (ක්‍රි.පූ. 356-323). ලෝක ඉතිහාසයේ මහා රණ ශූරයකු හැටියට කීර්තියට පත් ප්‍රතාපවත් මැසිඩෝනියානු අධිරාජයෙකි. මැසිඩෝනියාවේ දෙවැනි පිලිප් රජතුමාගේ පුත්‍රයා වූ මොහු උපන්නේ පෙලා නගරයේය. ඇලෙක්සැන්ඩර් ළමා කාලයේ සිට ම අධ්‍යාපනය ලැබුවේ ඇරිස්ටෝටල් යටතේ බවත් ඇරිස්ටෝටල් විසින් ඔහුට එවක දැනගෙන තුබුණු සෑම විද්‍යාවක් පිළිබඳව ම වාගේ ශික්ෂණයක් ලබා දෙන ලද බවත් කියනු ලැබේ. ඇරිස්ටෝටල් වෙතින් ඔහු වඩාත් ම උගත්තේ රාෂ්ට්‍ර පාලනය පිළිබඳව යයි ද කියති.

කුඩා කල සිට ම රණශූරභාවයක් දැක්වූ ඇලෙක්සැන්ඩර් 16 හැවිරිදි වියෙහි දී මැසිඩෝනියාවේ උතුරු මායිමේ කඳුකර ගෝත්‍රිකයන්ගේ කැරැල්ලක් මැඩපැවැත්වීමට සමත් විය. ඇලෙක්සැන්ඩර්ගේ මව වූ ඔලිම්පියාස් කෙරෙන් ඔහුගේ පියා වූ පිලිප් රජු වෙන් වූයෙන් ඇලෙක්සැන්ඩර් සිය මවත් සමඟ එපිරස් බලා ගියේය. පිය පුත් දෙදෙන අතර අසමගිය පැවතියේ ටික කලක් තුළ පමණි. ඇලෙක්සැන්ඩර් නැවතත් මැසිඩෝනියාවට පැමිණියේය.

ඇලෙක්සැන්ඩර් මැසිඩෝනියාවේ සිහසුනට පත් වූයේ 19 වැනි වියෙහි දීය. පිලිප්ගේ මරණයෙන් පසුව මැසිඩෝනියා සිහසුනට උරුම කීවේ ඇලෙක්සැන්ඩර් පමණක් නොවේ. එහෙත් හමුදාවේ ආධාරය ඇතිව අන් සියලු දෙන මැඩීමට ඇලෙක්සැන්ඩර් සමත් විය. තම පියා ජීවිතක්ෂයට පත් කළවුන්ට දඬුවම් පැමිණවීමෙන් පසුව ඇලෙක්සැන්ඩර් කොරින්ත් දක්වා ආක්‍රමණයක් මෙහෙයවීය. කොරින්ත්හි පැවති සභාවක දී පර්සියානුන්ට විරුද්ධව සංවිධානය කරන ලද ආක්‍රමණය මෙහෙයවීමට ඇලෙක්සැන්ඩර් තෝරාගන්නා ලදි. සුළු ආසියාවේ ග්‍රීක නගර පර්සියානු ආදිපත්‍ය‍යෙන් මුදාගැනීම සඳහා සේනා සංවිධානයකර තිබුණේ ඇලෙක්සැන්ඩර්ගේ පියා වූ පිලිප් රජු විසිනි.

යුරෝපයේ තමා සතු පෙදෙස්වල පාලනය සඳහා ඇන්ටිපේටර් නමැත්තා පත් කළ ඇලෙක්සැන්ඩර් ක්‍රි.පූ. 334 වසන්ත ඍතුවේ දී පර්සියානු ආක්‍රමණය ආරම්භ කළේය. ඔහුගේ හමුදාව 30,000ක පාබල සේනාවකින් හා 5,000ක අශ්වාරෝහක හමුදාවකින් සමන්විත විය. මේ හැරෙන්නට විද්‍යාඥයන් සහ ඉතිහාසඥයෝ ද හමුදාව කැටිව ගමන් ගත්හ. හෙලස්පොන්ට් පසු කිරීමෙන් පසුව ඇලෙක්සැන්ඩර් විසින් පළමුවෙන් ම අල්ලා ගන්නා ලද්දේ ට්‍රෝයි නගරයයි. එහෙත් පර්සියානුන් සමඟ ප්‍රථමයෙන් ම ඔහු ගැටුණේ ග්‍රනිකස් නදිය අසබඩ දීය. මෙහි සිටි පර්සියානු ක්ෂත්‍රපයන් පරාජය කිරීම සුළු ආසියාවට පිවිසෙන දොරටුව විවෘත වීම ලෙස සැලකිය හැකියි. මෙයින් පසුව සුළු ආසියාවේ ග්‍රීක නගර සියල්ල අත්පත් කර ගැනීමට ඇලෙක්සැන්ඩර්ට හැකි විය. ග්‍රීක නගර අල්ලාගැනීමෙන් පසුව ඒවායේ පාලනය අලුතින් සකස් කිරීම ඔහුගේ ප්‍රධාන කාර්‍ය්‍යයක් විය. සයිලීසියාව හරහා නැවතත් ආක්‍රමණය මෙහෙයවූ ඇලෙක්සැන්ඩර් ඉසස් නම් ස්ථානයේ දී ඩේරියස්ගේ හමුදා දෙවැනි වරටත් පරාජය කළේය. මෙයින් පසුව දමස්කස් නගරය අල්ලාගන්නා ලදි. මෙහි දී ඩේරියස්ගේ රජ පවුලේ සියලු දෙන ම පාහේ ඇලෙක්සැන්ඩර්ගේ සිරකරුවන් බවට පත් වූහ. පිනීසියන් නගර අල්ලාගැනීමෙන් පසුව ඇලෙක්සැන්ඩර්ට තුන් වැනි ඩේරියස්ගෙන් සාම ගිවිසුමකට ඇතුළු වීමට කැමැත්ත දක්වමින් ලිපියක් ලැබිණි. එහෙත් මේ වන විට ඇලෙක්සැන්ඩර්ගේ පරමාර්ථය වූයේ මුළු ලෝකය ම යටත් කර ගැනීමයි. එහෙයින් ඩේරියස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. ක්‍රි.පූ. 332 දී පලස්තීනය සහ මිසරය ඇලෙක්සැන්ඩර්ට යටත් විය. මිසරවාසීන් විසින් ඇලෙක්සැන්ඩර් පාරාවෝ හැටියට පිළිගන්නා ලදි. මිසරවාසීන් සතුටු කිරීම සඳහා ඇලෙක්සැන්ඩර් පාරාවෝවරුන්ට අයත් ආගමික චාරිත්‍ර සියල්ල පිළිපැද්දේය. මිසරයේ පාලනය ද සංවිධානය කළේය. ඉන් පසු මෙසපොටේමියාවට බලා පිටත් වූ ඇලෙක්සැන්ඩර් යුප්‍රටීස් හා ටයිග්‍රිස් තරණය කළ ද සිය මෙසපොටේමියා ප්‍රදේශය රැකගැනීමට ඩේරියස් කිසි උත්සාහයක් නොකළේය. අවසාන වශයෙන් ග්‍රීක-පර්සියානු හමුදා මුණගැසුණේ ඇරබෙලා අසල වූ ගෝගමීලාවේ දීය. ක්‍රි.පූ. 331 දී වූ මේ සටනේ දී පර්සියානු හමුදාවෝ අන්ත පරාජයට පත් වූහ. මෙයින් පසු පර්සියානු ආධිපත්‍යය බොහෝ දුරට අවසන් විය. බැබිලෝනියාවට ජයග්‍රාහක ලීලාවෙන් ඇතුළු වූ ඇලෙක්සැන්ඩර් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. පාලන කටයුතුවල දී අයිරාන ජාතිකයන්ගේ සහයෝගය ලබාගැනීම මෙයින් වැදගත් තැනක් ගත්තේය. බැබිලන් සහ සූසා යන නගරවල සිටි ක්ෂත්‍රපවරුන්ට නැවතත් පාලනය භාරදෙන ලදි. ක්‍රි.පූ. 330 දී ඇලෙක්සැන්ඩර් ඇකිමේනියානු අධිරාජ්‍යයේ අගනුවර වූ පර්සිපොලිස් නගරයට ඇතුළු විය. ඔහු පර්සිපොලිස් නගරයේ නැවතී සිටිද්දී ඇති වූ ගින්නකින් ඇකිමේනියානු රාජමාළිගය සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේය. මේ සිද්ධියට ඇලෙක්සැන්ඩර් කෙතෙක් දුරට සම්බන්ධ වී ද යන්න පිළිබඳව ඇත්තේ මතභේදයකි.

ඇලෙක්සැන්ඩර් රජු නැවතත් සටන් ආරම්භ කළේ ගොගමීලා සටනින් පැරදී පලාගිය ඇකිමේනියානු අධිරාජ තුන්වැනි ඩේරියස් අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ අවස්ථාවේ දී බැක්ට්‍රියාවේ ක්ෂත්‍රප තැන විසින් ඩේරියස් මරාදමන ලදි. ඩේරියස්ට අවසාන ගෞරව පැවැත්වීමෙන් පසුව බැක්ට්‍රියාවේ ක්ෂත්‍රප තැනට දඬුවම් පමුණුවනු පිණිස නැවතත් ඇලෙක්සැන්ඩර් සටන් ආරම්භ කළේය. මේ කාලය වන විට ඇලෙක්සැන්ඩර් මැසිඩෝනියාවෙන් පිටත් වී අවුරුදු 4, 1/2ක් පමණ ගත වී තිබිණි. මේ හේතුවෙන් ඔහුගේ හේවායන් අතර නොසන්සුන්බවක් පැවැත්තේය. ඇලෙක්සැන්ඩර්ගේ චතුර කථිකත්වය හේතු කොටගෙන ඔවුන් නැගෙනහිර ආක්‍රමණයට කැමැති කරවාගැනීමට ඔහුට හැකි විය. ඇලෙක්සැන්ඩර් විසින් පෙරදිග රජවාසල්වල වූ ආචාරවිධි ආදිය අනුගමනය කිරීමට පටන් ගන්නා ලද්දේත් මේ කාලයේ දී මය. මේ වන විට ඇලෙක්සැන්ඩර් ඇකිමේනියානු රාජකීය වස්ත්‍රවලින් සැරසීමටත් පුරුදු වී සිටියේය.

ක්‍රි.පූ. 329 වන විට ඔහු ඇකිමේනියානු අධිරාජ්‍යයේ නැගෙනහිර දේශසීමාව දක්වා ආක්‍රමණය කොට තිබිණි. මෙහි දී ජක්සාටේස් නදිය අසල පදිංචිව සිටි සිතියන්වරුන් හා සොග්ඩියන්වරුන් මැඩපැවැත්වීමට ඔහුට හැකි විය. පර්සියානු අධිපතියකුගේ දුවණිය වූ රොක්සැනා හා ඇලෙක්සැන්ඩර් විවාහ වූයේ මෙහි දීය. මේ ප්‍රදේශයේ කිහිප ස්ථානයක ම ඇලෙක්සැන්ඩ්රියා යන නමින් නගර කිහිපයක් ම ඇලෙක්සැන්ඩර් විසින් පිහිටුවන ලදි.

ඉන්දියානු ආක්‍රමණය

ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණ අතර ඉන්දියානු ආක්‍රමණයට අයත් වන්නේ ද්විතීය ස්ථානයකි. ඔහු ඉන්දියාව ආක්‍රමණය කළේ ඇකිමේනියානු අධිරාජ්‍යයේ අවසාන ප්‍රදේශය ද ලබාගැනීමේ අභිලාෂයෙනි. මේ අවස්ථාව වන විට ග්‍රීකයන් ඉන්දියාව ගැන දැනසිටියේ පර්සියානුන්ගේ මාර්ගයෙනි. ඇකිමේනියානු අධිරාජයන්ගේ භාණ්ඩාගාරයට ඉන්දියානු ප්‍රදේශවලින් විශාල ආදායමක් ලැබුණු බව ග්‍රීකයන් දැන සිටින්නට ඇත. ඉන්දියාව ආක්‍රමණය කිරීමේ දී ඇලෙක්සැන්ඩර් තුළ තවත් පරමාර්ථයක් විය. ග්‍රීක කථාවන්හි සඳහන් හෙරක්ලීස්, ඩයනීසියස් යන වීරවරයන්ගේ ආක්‍රමණයන් අභිභවා සිටීමට ඔහු තුළ ආශාවක් තිබිණි. ඇලෙක්සැන්ඩර් හින්දුකුෂ් කඳුවැටිය තරණය කළේ ක්‍රි.පූ. 327 වසන්ත ඍතුවේ දීය.

ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දියානු ආක්‍රමණයේ අවස්ථා කිහිපයක් දැක්විය හැකිය. හින්දුකුෂ් කඳු වැටියේ සිට ඉන්දු නදිය දක්වා ප්‍රදේශ ආක්‍රමණය කිරීම ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැකිය. මේ සඳහා ඔහු තම සේනාව කොටස් දෙකකට සංවිධානය කෙළේය. ඉන් එක් කොටසකට භාර වූයේ කාබුල් මිටියාවත ඔස්සේ ඉන්දු නදිය යටත් කිරීමයි. ඉන්දු නදිය වෙත ළඟා වූ පසු ඇලෙක්සැන්ඩර්ගේ සේනාවට ඉන් එතර වීමට කටයුතු සැලසීම ඔවුන්ට නියම වී තිබිණි. අනෙක් කොටස රැගත් ඇලෙක්සැන්ඩර් එයට තරමක් උතුරින් ආක්‍රමණය මෙහෙයවිය. මේ අවස්ථාවේ දී රණකාමී ගෝත්‍ර කිහිපයක් හා සටන් කිරීමට ඔහුට සිදු විය. මෙයින් අස්සකනොයි වැනි සමහරුන්ගේ නම් පාණිනීගේ අෂ්ටාධ්‍යායී නම් ව්‍යාකරණ ග්‍රන්ථයේ ද සඳහන් වේ. මේ සටන්වල දී ඇලෙක්සැන්ඩර්ට සිසිකොට්ටොස් (සිසිගුප්ත) යන ප්‍රාදේශීය රජකුගේ ආධාරය ලැබුණු බව දක්වේ.

ඉන්දියානු ආක්‍රමණයේ දෙවැනි අවස්ථාව ලෙස සැලකිය හැක්කේ ඉන්දු නදියේ සිට බීයාස් නදිය දක්වා ප්‍රදේශ යටත් කරගැනීමයි. මේ අවස්ථාව වන විට තක්ෂශිලාවේ රජු වූ අම්භී (ඔම්ෆිස්) තමා ඇලෙක්සැන්ඩර්ට යටත් බව ප්‍රකාශ කොට තිබිණි. අම්භී රජු ඇලෙක්සැන්ඩර්ට පක්ෂ වූයේ ඔහු හා ඣේලම්-චේනබ් නදීන් ආශ්‍රිත ප්‍රදේශවල රජු අතර විරුද්ධතාවක් පැවැති හෙයිනි. ඉන්දියාවේ දී ඇලෙක්සැන්ඩර්ට මුහුණ පෑමට සිදු වූ බලවත් ම විරුද්ධකරු වූයේ ඣේලම්-චේනබ් නදීන් අතර වූ ප්‍රදේශවල රජව සිටි පෝරස් රජතුමාය. අනෙක් රජවරුන් සියලු දෙනා ම පාහේ සටන් නොකර ම තමන්ගේ යටත් බව ප්‍රකාශ කළ ද පෝරස් රජතුමා අවසානය දක්වා ම යටත් වීමට අකමැති විය. ශරීරයේ නව පොළක තුවාළ සිදුවී ඇලෙක්සැන්ඩර්ගේ සිරකාරයකු බවට පත්ව සිටිය දීත් තමාට රජ කෙනකුට මෙන් සැලකිය යුතු යයි පෝරස් එඩිතර ලෙස කියා සිටි බව වාර්තාවේ. ඇලෙක්සැන්ඩර් මොහු ගැන කෙතෙක් පැහැදුණේ ද යත් හේ ඔහුගේ රාජ්‍යය නැවතත් ඔහුට ම පැවරුවේය. මේ හැරෙන්නට අලුත් ප්‍රදේශ කිහිපයක් ද එම රාජ්‍යයට ඈඳා දුන්නේය. පෝරස් පරාජය කිරීමෙන් පසුව බීයාස් නදිය කරා ඇලෙක්සැන්ඩර්ට කිසි විරුද්ධත්වයකට මුහුණ නොපා ම ළඟා වීමට හැකි විය. ප්‍රථම වරට ඇලෙක්සැන්ඩර්ගේ සේනාවක් ඔහුගේ අණට අකීකරු වූයේ මෙහි දීය. බීයාස් නදියෙන් ඔබ්බෙහි තවදුරටත් ගමන් කිරීමට ඔහුගේ හේවායෝ විරුද්ධ වූහ. මේ අවස්ථාව වන විට ඇලෙක්සැන්ඩර්ගේ සේනාවන් අතර ග්‍රීකයන් සිටියේ සුළු කොටසකි. අනික් අතට ඇලෙක්සැන්ඩර්ගේ හේවායන් තම රටින් පිට වී බොහෝ කාලයක් ගත වී ගොස් තිබුණ බැවින් මේ වන විට ඔවුන් සිටියේ තම රටට ආපසු යාමේ තද ආශාවකිනි. තව ද මෙතෙක් කල් ඇලෙක්සැන්ඩර්ට හමු වූයේ සුළු ඉන්දියානු රජවරුන්ය. බීයාස් නදියෙන් එහා ප්‍රදේශයේ වූ බලවත් අධිරාජ්‍යයක් පිළිබඳව හේවායෝ අසා දැන සිටියහ. එනම් බල සම්පන්න නන්ද අධිරාජ්‍යයයි. මෙය ද ඇලෙක්සැන්ඩර්ගේ හේවායන්ගේ ධෛර්‍ය්‍යය හීන වීමට හේතු වන්නට ඇත. තම හේවායන් තවත් ඉදිරියට යෑමට අකැමැති වීම ඇලෙක්සැන්ඩර් ලත් පරාජයක් ලෙස සලකනු ලැබේ. අකැමැත්තෙන් වුව ද හේවායන්ගේ තීරණයට හිස නැමිමට ඔහුට සිදු විය. ආපසු හැරුණු ඇලෙක්සැන්ඩර් ඉන්දු නදිය හරහා ගොස් මුහුදට ළඟා විය. එහි දී තම හමුදාව කොටස් දෙකකට බෙදා ඉන් කොටසක් නියර්කස් නම් යාත්‍රිකයාට භාර කොට බැබිලෝනියාව දක්වා මුහුදු මාර්ගයක් සෙවීම ඔහුට පැවරුවේය. ඇලෙක්සැන්ඩර් අනෙක් කොටස සමග මක්රාන් වෙරළ ඔස්සේ ගමනාරම්භ කළේය. ක්‍රි.පූ. 324 දී ඔහුට සූසා නගරය කරා ළඟා වීමට හැකි විය. මේ වන විට ඇලෙක්සැන්ඩර් ඉන්දියාවේ අවුරුදු 3ක් පමණ ගත කොට තිබිණි.

ඉන්දියාවේ තමා යටත් කළ ප්‍රදේශ තම අධිරාජ්‍යයේ ස්ථිර කොටස් වශයෙන් තබාගැනීමට ඔහු අදහස් කළ බව ඔහු ගත් ක්‍රියාමාර්ගයන්ගෙන් පැහැදිලි වේ. ඔහු ඉන්දියානු ප්‍රදේශ ක්ෂත්‍රප කොටස්වලට බෙදුවේය. එමෙන් ම ඉන්දියාවේ ජනපද කිහිපයක් ද ඔහු විසින් පිහිටුවන ලදි.

ඉන්දියානු ආක්‍රමණයේ ප්‍රතිඵල

ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය කවරාකාරයෙන් ඉන්දියාව කෙරෙහි බලපෑවේ ද යන්න පිළිබඳව ඉතිහාසඥයන් අතර මතභේද පවතී. ඔහුගේ දිග්විජයෙහි මුල් ප්‍රතිඵලය නම් ග්‍රීක ජනපද කිහිපයක් ඉන්දියාවේ බිහි වීමයි. එහෙත් මේ ජනපද ඉන්දියාව කෙරෙහි බලපෑවේ සුළු වශයෙනි. ඇලෙක්සැන්ඩර්ගේ හදිසි මරණයෙන් ටික කලකට පසුව ඒ ජනපද ඉන්දියානුන්ගේ විරෝධය නිසා ඉවත් කරගැනීමට සිදු විය. ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය චන්ද්‍රගුප්ත මෞර්‍ය්‍යයන්ට ඉන්දියාව එක්සත් කිරීමේ කාර්‍ය්‍යයයේ දී අනියම් වශයෙන් උපකාර වන්නට ඇතැයි සමහර ඉතිහාසඥයෝ සලකත්. මේ හැරෙන්නට ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය නිසා පෙරඅපර දෙදිග සම්බන්ධය ඇති විය. ඇලෙක්සැන්ඩර් විසින් ගමන් මාර්ග කිහිපයක් ම සොයාගනු ලැබීම මෙයට බෙහෙවින් උපස්තම්භක විය. මේ මාර්ග වෙළඳාම් දියුණු වීමටත් සංස්කෘතික සම්බන්ධකම් ඇති වීමටත් හේතු විය. පසු කලෙක මෞර්‍ය්‍ය හා යාවනික රජවරුන් අතර ඇති වූ සුහද සබඳතාවන්ට මුල් වූයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයයි. මෙම ආක්‍රමණය මෞර්ය කලාවන්ගේ දියුණුවට අනියම් ලෙසින් ආධාර වූ බව ඉතිහාසඥයන් ඉදිරිපත් කොට ඇති අලුත්‍ ම මතයයි. පර්සිපොලිස් පුරය විනාශ වීමත් සමඟ ම පර්සියානු කලාකරුවන් ඉන්දියාවේ රැකවරණ සොයා පැමිණි බව දැක්වේ. මොවුන් ඉන්දියානු කලා ශිල්ප දියුණුවට ආධාර වන්නට ඇත (ඇකිමේනියානු අධිරාජ්‍යය බ.)

ඉන්දියානු ආක්‍රමණ අවසාන කොට ඇලෙක්සැන්ඩර් බැබිලන් කරා ළඟා වූයේ ක්‍රි.පූ. 323 දීය. ඔහුගේ ජයග්‍රහණයන් නිමිත්තෙන් එහි දී පැවැත්වූ භෝජන සංග්‍රහයකින් පසු අසනීප වූ ඇලෙක්සැන්ඩර් ක්‍රි.පූ. 323 ජූනි 13 වැනි දා මරුමුවට පත් විය. මෙවිට ඔහුගේ වයස 33ක් පමණ විය. ඔහුගේ මළසිරුර ටොලමි විසින් රන් පෙට්ටියක බහා ඇලෙක්සැන්ඩ්රියාවේ තැන්පත් කරන ලදි. එමෙන් ම මිසරයේ ද අනෙක් ප්‍රදේශවල ද ඇලෙක්සැන්ඩර් දේවත්වයෙන් පුදනු ලැබීය. ඇලෙක්සැන්ඩර් ඔහුගේ ජීවිත කාලය තුළ දී ම දේවත්වයෙන් පුදනු ලැබූ කෙනෙකි. දේවත්වය ආරූඪ කරගැනීමේ දී දේශපාලන පරමාර්ථයන් ප්‍රධාන වන්නට ඇතැයි සිතිය හැකියි. තමාගේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ඇලෙක්සැන්ඩර්ට මෙය උපකාරී වන්නට ඇත. රජවරුන් දෙවියන් ලෙස සැලකීමේ සම්ප්‍රදාය ඇලෙක්සැන්ඩර්ගේ ක්ෂත්‍රපවරුන්ගෙන් ඇති වූ රාජවංශ කෙරෙහි බලපෑ බව යාවනික ඉතිහාසයෙන් පැහැදිලි වේ.

ඇලෙක්සැන්ඩර් අතින් විද්‍යා ශාස්ත්‍ර දියුණුවට මහත් සේවයක් සැලසුණු බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ඇරිස්ටෝටල්ගේ පුස්තකාලය පිහිටුවීමේ දී ඇලෙක්සැන්ඩර්ගෙන් ලැබුණු සහාය ඉතා වැදගත් විය. ඔහුගේ සේනාව සමග ගිය විද්‍යාඥයන් ඔහුගේ නියමයෙන් පෙරදිග දේශයන්ට විශේෂ වූ පැළෑටි සහ සතුන් පිළිබඳ විස්තර හා ආදර්ශ ඇරිස්ටෝටල්හට සැපයූ බව සඳහන් වේ. මේ අනුව උද්භිද විද්‍යාව, සත්ව විද්‍යාව, භූගෝල ශාස්ත්‍රය, මානවවංශ විද්‍යාව යනාදි විද්‍යාවන්හි දියුණුවට ඇලෙක්සැන්ඩර්ගෙන් වටිනා සේවයක් වූ බව කිව හැකිය.

ඇලෙක්සැන්ඩර් විසින් සුළු කාලයක දී ගොඩනඟන ලද විශාල අධිරාජ්‍යය ඔහුගේ මරණයත් සමඟ ම බිඳ වැටිණ. ඔහුගෙන් පසුව රජ වීමට සුදුස්සකු ඔහු විසින් පත් කොට නොතිබිණි. මේ හේතුව නිසා සෙන්පතියන් විසින් ඔහුගේ අධිරාජ්‍යය තමන් අතර බෙදාගන්නා ලදි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලෙක්සැන්ඩර්_III_(1)&oldid=11781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි