ඇලෙක්සැන්ඩර් II
(1818-1881). රුසියාවේ රජ කළ (සාර්) අධිරාජයෙකි. පළමුවැනි නිකොලස් අධිරාජයාගේ වැඩිමහල් පුත්රයා වූ මොහු උපන්නේ 1818 දී මොස්කව් නගරයෙහිය. වසීලි ෂුකොව්ස්කි නම් කිවියා යටතේ මූලික අධ්යාපනය ලත් හෙයින් නිදහස්වාදී හැඟීම් ඔහු තුළ බලපෑවේය. 1855 දී තම පියාගේ මරණයෙන් පසු හෙතෙම සාර් පදවියට පත් විය.
ආභ්යන්තරික ප්රශ්න අතුරින් ඇලෙක්සැන්ඩර්ගේ විශේෂ අවධානය යොමු වූයේ රුසියානු ගැමියන් දාසබවින් මුදා හැරීම කෙරෙහිය. ගැමියන් මුදාහැරීමේ කාර්යය ඉටු කරනු වස් ප්රාදේශීය වශයෙන් විශේෂ මණ්ඩල පත් කළ ඇලෙක්සැන්ඩර් සාර් තෙමේ 1861 දී දාස ක්රමය නීති මගින් තහනම් කළේය. මේ සමඟ ම තවත් ප්රතිසංස්කරණ කිහිපයක් ඔහු ඇති කළේය. ශාරීරික වධහිංසා ඉවත් කිරීම, ප්රාදේශීය වශයෙන් ස්වරාජ්ය තත්වය ඇති කිරීම සහ අධිකරණයෙහි ප්රතිසංස්කරණ ඇති කිරීම මින් සමහරකි. මෙවැනි ප්රතිසංස්කරණ ඇති වූ නමුත් ඇලෙක්සැන්ඩර්ගේ රාජ්ය කාලය විප්ලවවාදී අදහස් දියුණු වූ යුගයක් වශයෙන් සඳහන් කළ හැකිය. මේ හැර අධිරාජ්යය පුළුල් කරගැනීම අතින් ද ඇලෙක්සැන්ඩර්ගේ කාලය වැදගත්ය. කොකේසස් ප්රදේශය සම්පූර්ණයන් යටත් කරන ලද්දේ මෙකලය. එමෙන් ම අධිරාජ්යය තුර්කිස්ථාන් ප්රදේශය ද ඈඳා ගනිමින් නැගෙනහිරට තවදුරටත් ව්යාප්ත විය.
ඇලෙක්සැන්ඩර් II සාර් ධුරයට පත් වන විට ක්රිමියන් යුද්ධය සිදු වෙමින් පැවතිණි. එය තවදුරටත් ගෙන යෑමේ නිෂ්ඵලත්වය දුටු ඇලෙක්සැන්ඩර් මිත්ර ජාතීන් සමඟ සාමදාන ගිවිසුමකට පැමිණියේය. 1857 දී ප්රංසයේ තුන්වැනි නැපෝලියන් පෞද්ගලිකව මුණගැසී එරට සමඟ තිබුණු ආරාවුල් සමථයකට පත් කිරීමට උත්සාහ දැරූ නමුත් එයින් නියම ප්රතිඵලයක් නොවීය. 1877 දී තුර්කිය සමඟ කළ යුද්ධයෙන් ද එතරම් සතුටුදායක ප්රතිඵලයක් ලැබීමට නොහැකි විය.
දෙවැනි ඇලෙක්සැන්ඩර්ගේ මරණය සිදු වූයේ 1881 දී සිදු වූ නාස්තිකවාදීන්ගේ (Nihilists) කුමන්ත්රණයක ප්රතිඵලයක් වශයෙනි.
(සංස්කරණය: 1967)