ඇලෙක්සැන්ඩර් III (2)
(1845-1894). රුසියාවේ (සාර්) අධිරාජයෙකි. ඇලෙක්සැන්ඩර් II සාර් අධිරාජයාගේ දෙවැනි පුත්රයාය. දෙවැනි පුත්රයා වූ හෙයින් මුල් අවුරුදු විස්ස තුළ ඔටුන්න හිමි කුමරුවකුට යෝග්ය අධ්යාපනයක් ඔහුට නොලැබිණි. මේ කාලය තුළ ඔහු ලැබූයේ යුද්ධ අධ්යාපනයක් පමණි. 1865 දී ඔහුගේ වැඩිමහල් සොහොයුරා මිය ගියෙන් හෙතෙම රාජ්ය උරුමක්කාරයා වී 1881 දී සාර් ධුරයට පත් විය.
තුන්වැනි ඇලෙක්සැන්ඩර් බොහෝදුරට ඔහුගේ පියාට වඩා වෙනස් චරිතයක් ඇත්තෙක් විය. රාජ්ය පාලනයේ දී අවශ්ය වන්නේ ඒකාධිපති බලයය යනු ඔහුගේ විශ්වාසය විය. රජකම ලැබූ අවස්ථාවේ පටන් ම ඔහුගේ උත්සාහය වූයේ විප්ලවවාදී හැඟීම් මැඩපැවැත්වීමය. එමෙන් ම රුසියාව කෙරෙහි වූ විදේශීය බලපෑම ද නොඉවසූ තුන්වැනි ඇලෙක්සැන්ඩර් එය ද ඉවත් කිරීමට හැම උත්සාහයක් ම දැරීය. මේ නිසා දේශපාලන වශයෙන් මොහු ප්රතිගාමියකු යයි සැලකිය හැකි වෙතත් ඔහුගේ පාලනය යටතේ රුසියාවේ ආර්ථික තත්වය දියුණු වූ බව පෙනෙයි. විදේශ කටයුතුවල දී ඔහු බොහෝ දුරට සාමකාමී ප්රතිපත්තියක් අනුගමනය කළේය. රුසියාව කෙරෙහි බිස්මාර්ක් අනුගමනය කළ ප්රතිපත්තියට ඔහු විරුද්ධ වුවත් ජර්මනිය සමඟ ආරාවුලක් ඇති වීම වැළැක්වීමට මුල දී කටයුතු කළේය. ජර්මනියේ චාන්සලර් පදවියෙන් බිස්මාර්ක් ඉවත් වීම හා රුසියානු ජර්මන් සම්බන්ධය අවසාන වීමත් සමඟ ම ඇලෙක්සැන්ඩර් රුසියානු විදේශ කටයුතු පිළිබඳ වැදගත් වෙනසක් ඇති කළේය. ඔහු ප්රංසය සමඟ මිත්ර සම්බන්ධකම් ඇතිකර ගත්තේ මෙයින් පසුය.
(සංස්කරණය: 1967)