ඔලෙයියා

සිංහල විශ්වකෝෂය වෙතින්
11:39, 14 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු සයිබීරියාව, ඇලස්කාව, මධ්‍යම ආසියාව හා ජප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

උතුරු සයිබීරියාව, ඇලස්කාව, මධ්‍යම ආසියාව හා ජපානය වැනි ශීත ප්‍රදේශවලින් ශීත ඍතුවේ දී ලංකාවට පැමිණෙන කුරුල්ලන් කිහිප දෙනකුට ඔලෙයියා යන නාමය භාවිත කෙරේ. සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල දී මෙම පක්ෂීහු රංචු වශයෙන් ලංකාවට පැමිණෙති.

ප්ලුවියාලිස් ඩොමිනිකා ෆුල්වා (Pluvialis dominica fulva Gmelin), චරඩ්රියුස් ලෙෂනෝල්ටි ලෙෂනෝල්ටි (Charadrius leschenaulti Lesson), චරඩ්රියුස් මොංගොලුස් අට්රිප්‍රොන්ස් (Ch. mongolus atrifrons Wagler), චරඩ්රියුස් ඩුබියුස් කුරොනිකුස් (Ch. dubius curonicus Gmelin), ස්ක්වටරොලා ස්කොටරොලා (Squatarola squatarola L.) හා අරෙනාරියා ඉන්ටෙර්ප්‍රෙස් ඉන්ටෙර්ප්‍රෙස් (Arenaria interpres interpres L.) යන කුරුල්ලෝ ඔලෙයියා යන නාමයෙන් හැඳින්වෙති.

මේ ඔලෙයියන් සියල්ලනට ම පොදු වූ ලක්ෂණ කිහිපයක් පහත සඳහන් වේ. ඔලෙයියන්ට ශීඝ්‍රයෙන් පියාසර කළ හැකිය. ශීත සෘතුව ගතකිරීමට ලංකාවට පැමිණෙන ඔලෙයියෝ ග්‍රීෂ්ම ඍතුවේ දී ප්‍රජනනය සඳහා උතුරු සයිබීරියාව, ඇලස්කාව වැනි ශීත ප්‍රදේශවලට නැවත යති. මෙසේ ඔව්හු සැතැපුම් දහස් ගණන් පියාසර කරති. උන්ගේ පියාපත් උල්ය; පෙඳය කොටය, ශක්තිමත්ය. ශීත කාලයේ දී උන්ගේ පිහාටුවල පාට ග්‍රීෂ්ම කාලයේ පිහාටුවල පාටට වෙනස්ය. පියාසර නොකරන විට බිම ගැවසෙන ඔවුන් ගස් උඩ ගැවසෙන්නේ කලාතුරකිනි. මේ කුරුල්ලෝ ඇවිදින්නට හා දුවන්නට ඉතා සමත්ය. ඔව්හු කෘමීන්, කවචයන් (crustaceans) හා මෘද්වංශිකයන් (molluscs) ආහාර කොට ගනිති. ඔලෙයියෝ පැළෑටිවල කොළ හෝ ගෙඩි නොකති. ඔව්හු ජලාශයන් ළඟ ගැවසෙති. උන් බොහෝ දෙනකුට එක් එක් පාදයේ ඇත්තේ ඇඟිලි තුන බැගිනි. ඔලෙයියන් බිත්තර දමන්නේ බිමය. පොළොවෙහි නොගැඹුරු වළවල් හාරාගෙන ඒවායේ කූඩු සාදා ගනිති.

ප්ලූවියාලිස් ඔලෙයියා ලංකාවට පැමිණි විට පාතරට නොයෙක් ප්‍රදේශවලට ද තරමක් කඳුකර ප්‍රදේශවලට ද පැතිරී යයි. කුඹුරු අයිනේ ද වැව් අද්දර ද ඌ ගැවසෙයි. ඌ අඟල් 8ක් පමණ දිගය. උගේ හොට කැස්වටුවාගේ හොටට වඩා කොටය. උගේ කකුල් කැස්වටුවාගේ කකුල්වලට වඩා දිගය. ශීත ඍතුවේ දී උගේ පිටේ පිහාටු දුඹුරුපාටය. අතරින් පතර කහපාටත් දක්නට ලැබේ. මුහුණේ වැඩි කොටස සුදුපාටය. බඩ පැත්තත් සුදුපාටය. කකුල් තද අළුපාටය. ග්‍රීෂ්ම සෘතුවේ දී උගේ පිටේ පිහාටු කළුපාටය. අතරින් පතර කහපාටත් ඇත. මුහුණ හා උගුර කළුපාටය. අප්‍රේල් මාසයේ දී මේ ඔලෙයියා ලංකාවෙන් පිට වී ආපසු උතුරු සයිබීරියාවට යන විට උගේ පිහාටු මේ පාටය. ශීත ඍතුවේ දී ඔලෙයියාගේ පෙනුම ග්‍රීෂ්ම ඍතුවේ දී උගේ පෙනුමට වෙනස් බැවින් ඌ එක ම විශේෂයට අයත් කුරුල්ලකු බව අඳුනා ගැනීම දුෂ්කරය. චරඩ්රියුස් ගණයට අයත් ඔලෙයියෝ මේ ඔලෙයියාට වඩා කුඩාය. චරඩ්රියුස් ලෙෂනෝල්ටි ලෙෂනෝල්ටි නමැති ඔලෙයියා පුත්තලම, යාපනය හා හම්බන්තොට වැනි වියළි පළාත්වල මුහුදු වෙරළට ආසන්න ප්‍රදේශවල දක්නට ලැබේ. චරඩ්රියුස් මොංගොලුස් අට්රිප්‍රොන්ස් නමැති ඔලෙයියා දිවයිනේ වියළි ප්‍රදේශයට සීමා වේ. චරඩ්රියුස් ඩුබියුස් කුරොනිකුස් නමැති ඔලෙයියා උතුරු පළාතේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළ ආසන්න පළාත්වල දක්නට ලැබේ.

ස්ක්වටරොලා ඔලෙයියා උතුරු පළාතේ වියළි ප්‍රදේශවල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද දක්නට ලැබේ. ඌ කරදිය ඇති තැන්වල ගැවසෙයි. අරෙනාරියා ඔලෙයියා වියළි ප්‍රදේශයෙහි මුහුදු වෙරළේ දක්නට ලැබේ. ගල් සහිත දූපත් ඌට හිතකරය.

මේ ඔලෙයියෝ සියල්ලෝ ම චරඩ්රිපෝමේස් (Charadriiformes) ගෝත්‍රයට අයත් වෙති. අරෙනාරියා ඔලෙයියා පමණක් ස්කොලොපකිඩෙ (Scolopacidae) කුලයට ද අනික් ඔලෙයියෝ චරඩ්රිඩේ (Charadridae) කුලයට ද අයත් වෙති.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔලෙයියා&oldid=11959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි