ඇල්ජසීරාස් සම්මේලනය

සිංහල විශ්වකෝෂය වෙතින්
15:53, 14 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මොරොක්කෝවේ දේශපාලන තත්වය නිරාකරණය කරගැනීම සඳ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මොරොක්කෝවේ දේශපාලන තත්වය නිරාකරණය කරගැනීම සඳහා 1906 දී එවක ප්‍රධාන යුරෝපීය ජාතීන් පැවැත්වූ සම්මේලනයකි. මොරොක්කෝව පිළිබඳ ප්‍රශ්නය උද්ගත වූයේ ප්‍රංසය එහි ආරක්ෂිත රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ දැරීම හේතු කොටගෙනය. මොරොක්කෝව පිළිබඳව එවැනි තීරණයකට එළඹුණේ 1904 දී ප්‍රංසය සහ බ්‍රිතාන්‍යය අතර වූ රහස් ගිවිසුමකිනි. මෙයට ස්පාඤ්ඤයේ ද අනුමතිය ලැබිණි. මොරොක්කෝවේ තිබූ ජර්මන් අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් ජර්මන් අධිරාජයා මේ ක්‍රියාමාර්ගයට විරුද්ධ විය. මොරොක්කෝ රාජ්‍යයේ පරමාධිපත්‍යය පිළිගත් ජර්මන් අධිරාජයා ප්‍රංස පරමාර්ථයන්ට විරුද්ධව ක්‍රියා කිරීමට මොරොක්කෝවේ සුල්තාන්වරයා ද කැමැති කරවා ගත්තේය. මේ අයුරින් ප්‍රංසය සහ ජර්මනිය අතර පැනනැඟුණු අර්බුදය විසඳාගන්නා ලද්දේ ඇල්ජසීරාස් සම්මේලනයේ දීය.

ඇල්ජසීරාස් සම්මේලනය මොරොක්කෝ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වශයෙන් හැඳින්විය හැකිය. සම්මේලනයේ දී කරගන්නා ලද ගිවිසුමෙන් මොරොක්කෝ රාජ්‍යයේ ස්වෛරීභාවය පිළිගන්නා ලදි. එමෙන් ම 19 සියවස තුළ මොරොක්කෝවේ පැවති අයථා පාලනයේ අවසානයට ද ඉන් මඟ පෑදිණි. ආර්ථික කරුණු අතින් මොරොක්කෝව සෑම යුරෝපීය ජාතියකට ම විවෘතව තැබීමට තීරණය කරගන්නා ලදි. දේශීය පොලිස් හමුදාවක් ඇති කිරීමටත් එහි පාලනය ගෙන යාමටත් ප්‍රංසයට සහ ස්පාඤ්ඤයට අවසර ලැබිණි. මොරොක්කෝවේ යෝජිත ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීමේ බලය ලැබුණේත් මේ දෙජාතියට මය. ඇල්ජසීරාස් සම්මේලනයේ දී කරගන්නා ලද තීරණ අනුව මොරොක්කෝව පිළිබඳ දේශපාලන කටයුතුවල දී ප්‍රංසයට ප්‍රධාන තැනක් හිමි විය.

(සංස්කරණය: 1967)