ඔවිඩ්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:03, 20 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(පබ්ලියස් ඔවිඩියස් නාසෝ). (ක්‍රි.පූ. 43-ක්‍රි.ව. 18)...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(පබ්ලියස් ඔවිඩියස් නාසෝ). (ක්‍රි.පූ. 43-ක්‍රි.ව. 18). ලතින් කිවියෙකි. ක්‍රි.පූ. 43 දී ඉතාලියේ සුල්මෝ (වර්තමාන සුල්මෝනා) නගරයෙහි ධනවත් පවුලක උපත ලැබූ හෙතෙම පියාගේ කැමැත්ත පරිද්දෙන් රාජ්‍ය සේවයට ඇතුළු වීම සඳහා අවශ්‍ය වූ නීතිය හා අලංකාර ශාස්ත්‍රය හදාරා රජයේ සුළු තනතුරු කිහිපයක් ද දැරුවේය. එහෙත් ඔහුගේ එක ම අභිලාෂය වූයේ කිවියකු ලෙස තම ජීවිතය සාහිත්‍ය කටයුතුවලට කැප කිරීමයි. මේ නිසා අනාගත දේශපාලන ජීවිතයක් පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැර දැමූ හෙතෙම රෝමයෙහි සාහිත්‍යධරයන්ගේ ඇසුරට වැටී නව යොවුන් වියෙහි දී ම කිවියකු වශයෙන් සෑහෙන කීර්තියක් ඇති කරගත්තේය. ඉතා ජනප්‍රිය පුද්ගලයකු වූ හෙතෙම නොබෝ කලකින් ඔගස්ටස් අධිරාජයාගේ රාජසභාවට ද කැඳවන ලදි. හෙතෙම ළාබාල කාලයේ දී දෙවරක් විවාහ වූයේ වී නමුත් ඒ දෙවර ම විවාහයෙන් මඳ කලකට පසු භාර්යාව කෙරෙන් දික්කසාද වූයේය. එහෙත් පසුව වැන්දඹු කාන්තාවක හා සමඟ වූ තුන්වැනි විවාහය ඔහුගේ ජීවිතාන්තය දක්වා පැවැතිණි.

සමකාලීන ජේත්තුකාර සමාජයෙහි උසස් තැනක වැජැඹුණු ඔවිඩ් ක්‍රි.ව. 8 දී ඔගස්ටස් අධිරාජයාගේ නියෝගයෙන් කළු මුහුදේ ඩැනියුබ් ගංමුවදොර පිහිටි ටෝමිස් හෙවත් ටෝමි නම් පාළු නිසරු පෙදෙසකට පිටුවාසල් කරන ලදි. කවර කරුණක් නිසා එසේ කරන ලද්දේ ද යනු අවිනිශ්චිත වුව ද ඔහුගේ ම වචනයෙන් කියතොත් “කාව්‍යයක් හා ප්‍රමාද දෝෂයක්” ඊට හේතු වූයේය. ගැහැනුන් හා පිරිමින් වරදට පොලඹවාගැනීම පිළිබඳ අත්පොතක් වූත් ඔගස්ටස් අධිරාජයාගේ සුචරිතවාදී ප්‍රතිසංස්කරණ කටයුතුවලට තර්ජනයක් වූ හෙයින් ඔහුගේ උදහසට හේතු වූත් Ars Amatoria (කාම කලාව) නම් කෘතිය නිසැකින් ම එම කාව්‍යයයි. ඔගස්ටස් අධිරාජයාගේ මිනිබිරිය වූ ජූලියාගේ අයථා ප්‍රේම සම්බන්ධයක් ගැන ඔහු දත් යමක් අධිරාජයාට එළිදරවු නොකිරීම ඔහු අතින් සිදු වූ ප්‍රමාද දෝෂය යයි සාමාන්‍යයෙන් සිතනු ලැබේ. ඔගස්ටස් අධිරාජයා ජීවත්ව සිටි තාක් කල් හෙතෙම කවදා හෝ තමාට සමාව ලැබෙතැයි බලාපොරොත්තු ඇතිව සිටියේය. එහෙත් අධිරාජයාගේ අභාවයෙන් පසු බලාපොරොත්තු සුන් වීමෙන් උකටලීව කල් ගෙවූ ඔවිඩ් දස අවුරුදු විප්‍රවාසයක අවසානයෙහි ක්‍රි.ව. 18 දී කලුරිය කෙළේය.

ඔවිඩ්ගේ කාව්‍ය ශෘඞ්ගාර කාව්‍යය, දේවකථා කාව්‍යය, විප්‍රවාස කාව්‍යය යී කොටස් තුනකට බෙදිය හැකිය. පළමුවෙන් ම ඔහුට කිවියකු වශයෙන් ප්‍රසිද්ධියක් ලබා දුන්නේ Amores (පෙම්සබඳකම්) නම් ශෘඞ්ගාර කාව්‍යයයි. ස්වකීය ශෘඞ්ගාරාත්මක අනුභූතීන් වහල් කොටගෙන රචිත කෙටි කවි පන්ති 49කින් සැදුම් ලත් මේ කාව්‍යයෙන් කාන්තා චරිත කිහිපයක සංකලනයක් අයුරෙන් නිර්මාණය කරන ලද කොරින්නා නමැති කාමිනියක් උත්කර්ෂයෙන් වර්ණනා කරනු ලැබේ. තමන් කෙරෙන් වියෝ වූ ඔඩිසියස්, ජේසන්, ඊනියස් ආදි නායකයන් වෙත පෙනෙලොපී, මීඩියා, ඩයිඩෝ ආදි පුරාතන සුප්‍රකට නායිකාවන් විසින් යැවුණු කාල්පනික ලියුම් රැසක් ලෙස විප්‍රලම්භ ශෘඞ්ගාර රසයට මුල් තැන් දී රචනා කරන ලද Epistulae heroidum (නායිකාවන්ගෙන් ලියුම්) ඔහුගේ තවත් ශෘඞ්ගාර කාව්‍යයකි. යටකී Ars Amatoria (කාම කලාව) නම් කාව්‍යයෙන් රඟහල්, තරඟපිටි, කෙළිමඬුලු ආදි නොයෙක් තැන් පසුබිම් කොටගෙන සමකාලීන රෝමවරුන්ගේ කාමභෝගී ජීවිතයෙහි සිත්ගන්නාසුලු ජවනිකා හෙළිදරවු කරනු ලැබේ. රසික වූත් නර්මාලාපයෙන් අනූන වූත් එය අතීතයෙහි දී අතිශයින් ජනප්‍රිය කෘතියක් විය. ආචාරධර්මයන්ට හා ඔගස්ටස් අධිරාජයාගේ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට පටහැණි වුව ද එය එතරම් අසභ්‍ය කෘතියකැයි කිව නොහේ. මේ කාව්‍යයන් හේතු කොටගෙන ඔවිඩ් ශ්‍රේෂ්ඨතම සමකාලීන කිවියා වශයෙන් සැලැකෙන්නට වන.

ශෘඞ්ගාර කාව්‍යයන්ට අනතුරුව රචනා කරන ලද දේවකථා කාව්‍යවලින් ඔවිඩ්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වයෙහි පරිණත අවස්ථාව දැක්වෙයි. අනුපම කලා කුශලතාවකින් ගළපා සංග්‍රහ කරන ලද විශාල දේවකථා කාව්‍යයක් වූ Metamorphoses (රූපාන්තරීකරණ) ඔහුගේ විශිෂ්ටතම කෘතිය වශයෙන් සලකනු ලැබේ. ඔහුගේ කලාත්මක නිර්මාණ ශක්තියෙහි උපරිම අවස්ථාව පිළිබිඹු කරන එහි එන එක් එක් දේවකථාවකින් අතිමානුෂ රූපාන්තරීකරණයක් කියැවෙන හෙයින් පරිසමාප්ත වශයෙන් ඒ සියලු කථාවල එකමුතුබවක් දක්නට ඇත. අවුරුද්දේ ජනවාරි මාසයෙහි පටන් ජූනි මාසය දක්වා ඇති දින හා සම්බන්ධ දේවකථාත් ජනප්‍රවාද හා වැදගත් සිද්ධිත් දක්වමින් රචනා කරන ලද Fasti (රෝම උත්සව දිනදර්ශනය) අඩාළව පවත්නා දේවකථා කාව්‍යයකි.

පසු කාලයෙහි රචනා කරන ලද Tristia (ශෝකාලාප), Epistulae ex Ponto (කළු මුහුදින් ලියුම්) යන විප්‍රවාස කාව්‍ය දෙක ප්‍රධාන වශයෙන් ඉන් හෙළි වන ආත්මචරිතකථා තොරතුරු නිසා වැදගත් වෙයි. විප්‍රවාස සමයෙහි ඔවිඩ් ගත කළ දුක්බර ජීවිතය හා සමාව ඉල්ලා ඔහු කළ කන්නළවු විස්තර වන මේ කෘතිවලින් ඔහුගේ කවි ශක්තියෙහි පිරිහීමක් දක්නට ලැබේ. ඔහු රෝම නගරයෙහි ගත කළ අවසාන රාත්‍රිය Tristia කාව්‍යයෙහි ඉතා අනුවේදනීය ලෙස විස්තර වෙයි.

අලංකාර ශාස්ත්‍රය හා සාහිත්‍යය පිළිබඳ දැඩි පරිචිතියක් ද මනා කුශලතාවක් ද ඇතිව සිටි ඔවිඩ්ගේ භාෂා ශෛලිය තරමක් කෘත්‍රිමය, එහෙත් කමනීයය; වෘත්තාන්ත කථනය සුගමය, එහෙත් සාටෝපය. ගැඹුරු හැඟීම් ඇති කෙනකු නොවූ හෙයින් හෙතෙම දීර්ඝ වෘත්තාන්ත රචනා කිරීමෙහි අපොහොසත් විය. එහෙයින් ඔහුට මහා කාව්‍යයක් රචනා කළ නොහැකි වුව ද කෙටි කථාන්තර කීමෙහි ලා ඔහු දැක්වූයේ විශිෂ්ට නෛපුණ්‍යයකි. පාඨකයාගේ හැඟීම් නොකුප්වා ඔහුගේ රුචිය රඳවාගනිමින් සෑහෙන තරම් තාත්වික ලෙස ඔහු එම කථාන්තර ඉදිරිපත් කර ඇත. හෙතෙම සෑම කෘතියකින් ම පාඨකයාට විනෝදාස්වාදයක් ලබා දීම අපේක්ෂා කෙළේය. මේ හේතුවෙන් ඔහුගේ කෘති වර්ජිල් ආදීන්ගේ කෘති මෙන් ගැඹුරු නොවුව ද මධ්‍යතන කාලවල දී ඉතා ජනප්‍රිය වූයේය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔවිඩ්&oldid=11978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි