ඔමර් ඛය්යාම්

සිංහල විශ්වකෝෂය වෙතින්
11:53, 20 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1048-1123). පර්සියානු කවියෙකි, දාර්ශනිකයෙකි, ගණිත විද්‍යාඥයෙකි. ක්‍රි.ව. 1048 මැයි 18 වැනි දා නිශාපූර් නගරයෙහි උපන් මොහුගේ සම්පූර්ණ නාමය අබුල් එත් ඝියාත්උද්දීන් හකිම් ඔමර් ඉබ්න් ඉබ්රාහිම් ඛය්යාම් විය. මේ නමේ අග කොටස වන ‘ඉබ්න් ඉබ්රාහිම් ඛය්යාම්’ යන්නෙන් ඔහුගේ පියාගේ නාමයත් ජීවිකා වෘත්තියත් හෙළි වේ. “කූඩාරම් තනන්නකු වන ඉබ්රාහිම්ගේ පුත්‍ර” යනුයි එහි වචනාර්ථය. සිය පියා කූඩාරම් තනන්නකු වූ හෙයින් එම වෘත්තියේ නම ස්වකීය විරුදය ලෙස තෝරාගත්තා විය හැකිය. එහෙත් ඔමර් තෝරාගත් මේ විරුද නාමය පර්සියානු සාහිත්‍ය ලෝකයට අමුත්තක් නොවීය. ඔමර්ට වඩා අතිශයින් පූර්වතර ඛය්යාම් නමැති ගත්කරුවකු සිටි වග ඛතිබ් බඝදාදි ස්වකීය මහා ජීවනචරිත කෝෂයේ සඳහන් කරයි.

මේ කාලයේ නිශාපූර් නගරයේ ඉමාම් මොව්වක්එක් නමැති සුප්‍රකට මහා පඬිවරයෙක් විය. ඔමර් මූලික අධ්‍යාපනය ලැබුවේ ඔහුගෙනි. එම පඬිවරයාගෙන් ලබාගත හැකි තාක් ශාස්ත්‍ර උගත් ඔමර් ඉන් සෑහීමකට නොපැමිණියේ තව දුරටත් විද්‍යාධ්‍යයනය කරනු සඳහා බල්ඛ් නගරයට ගියේය. වර්තමාන ඇෆ්ඝනිස්තානයේ මශාර් ශරිෆ් නමින් හැඳින්වෙන මේ අතිපුරාණ නගරයෙහි එකල පිහිටි මහා විද්‍යාපීඨය ඉස්ලාමික ශාස්ත්‍රයන් ලොවට ප්‍රදානය කරන මහා කේන්ද්‍රස්ථානය විය. මෙහි දී ඔහුට සිත් වූ පරිද්දෙන් මනදොළ පුරවාගන්නට හැකි විය. ඔමර් එකල්හි මුස්ලිම් ලෝකයෙහි සම්භාවිත වූ සකල විද්‍යාශාස්ත්‍රයන්හි නෛපුණ්‍යය මෙහි දී ලබාගත්හයි චරිත කථාකාරයෝ කියති. එම විද්‍යා ශාස්ත්‍ර කෙරෙන් ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ ගණිත විද්‍යාව කෙරෙහිය. අවශේෂ විද්‍යා ශාස්ත්‍රයන්හි ලත් දැනුමින් සෑහීමකට පත් වුණ ද ගණිතයත් තදනුබද්ධ ශාස්ත්‍රත් කෙරෙහි දැනුම වඩාගැන්මෙහි තව තවත් උත්සුක වූ හේ එහි විශේෂ පර්යේෂණ කිරීමෙහි යෙදුණේය. මේ කාලයෙහි දී යැ ඔහු ස්වකීය ප්‍රථම ශාස්ත්‍රීය ග්‍රන්ථය ලියුවේ. වීජ ගණිතමය ප්‍රහේලිකාවක විසඳුම ගැන රචිත මේ ග්‍රන්ථය අද දකින්නට නැත. එකුන්විසි වියෙහි දී වර්ග මූල හා ඝන මූල සෙවීමේ ඉන්දියානු ක්‍රම ගැන ඉතා වැදගත් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලියුවේය. මේ ග්‍රන්ථය ද අද දක්නට නැත. එහෙත් ඔහු වීජ ගණිතය ගැන ලියූ මකාලාත් ඵිල් ගබ්ර් වල් මුකාබිලා නමැති මහා ප්‍රකරණයෙහි එම ග්‍රන්ථය සඳහන් වේ.

මෙකල ඉබ්න් අලක් සරියා නමැති ප්‍රභූවරයෙක් සමර්කංඩ් නගරයෙහි විසීය. එහි අධිකරණ නායක පදවිය දැරූ මේ ප්‍රභූවරයා ශාස්ත්‍රාභිවෘද්ධිකාමී පණ්ඩිතයෙක් විය. හෙතෙම ඔමර් ගැන අසන්නට ලැබී ඔහු තමා වෙත කැඳවා දැක හැඳිනගෙන මහත් ප්‍රසාද ද දී ඔහු කරන ශාස්ත්‍රීය කාර්යයනට හැම උදව්වක් ම දෙන්නට පිළින දී ඔහු බොඛාරාවේ පාලකයා වූ ඛකාන් ශම්ස් අල් මුල්ක් කුමාරයාට ද හඳුන්වා දුන්නේය. මේ අධිකරණ නායකයා වෙත තමාගේ කෘතඥතාව දක්වනු වස් තමා කේතුකයන් (conic sections) ගේ මාර්ගයෙන් වීජ ගණිත සමීකරණයන් විසඳීම පිළිබඳව කළ ග්‍රන්ථයක් ඔහුට පිදුවේය. එයින් මෙයින් ඔමර්ගේ කීර්තිය පර්සියානු අධිරාජයාගේ මහවාසලට ද පැතිරිණි. එදවස අධිරාජයා වූයේ මලික් ශාහ් නමැති බුද්ධිමත් නරදෙටුවෙකි. හේ ඔහු අගනුවරට කැඳවීය. එහි දී ඔමර්ට අධිරාජයාගේ මහා මන්ත්‍රී වූ නිශාම් අල් මුල්ක් මුණ ගැසිණි. එයට වසර කීපයකට පෙර නිශාපූර් නගරයේ ගුරු ගෙදර දී එකට අකුරු කළ කෙළියහළුවෝ දෙදෙනා ඔවුනොවුන් හඳුනාගත්හ. බග්දාද්හි නිශාමීය විශ්වවිද්‍යාලය පිහිටුවා මුස්ලිම් ලෝකයට මහත් සේවාවක් කළ මේ මහාමන්ත්‍රී සිය කෙළියහළුවාගේ මාර්ගයෙන් ද සිය රටට සේවාවක් කරන්නට සිතා ඔහුට ඉස්එහානයේ නවතින්නට ආරාධනය කොට ඔහුගේ නක්ෂත්‍ර විද්‍යා පර්යේෂණ කිරීමට සර්වාංග සම්පූර්ණ නිරීක්ෂණාගාරයක් ද තනවා දුන්නේය. ඔමර්ගේ සිත තුළ පැවති මහත් ආශාවක් එයින් පිරිමැසිණි. මේ කාලයේ ඔමර්ගේ වයස අවුරුදු විසි හයක් විය.

ජලාලි ලිත ඔමර් සකස් කළේ මේ පර්යේෂණාගාරයේ දී ය. අවුරුදු සැත්තෑ දහසකට ගැණ ඇති මේ ලිත අපූර්ව නිරවද්‍යතාවකින් යුක්ත යැ යනු තත්ත්වඥයන්ගේ මතයයි. දුරදර්ශකය නිපැදවෙන්නට ද කලින් මෙයට අවුරුදු නවසීයයකට පෙර හුදෙක් ගණිත ශාස්ත්‍ර මාර්ගයෙන් ම මෙබඳු ලිතක් සකස් කොට පිළියෙල කිරීම ඇත්තෙන් ම බුද්ධි ප්‍රාතිහාර්යයෙකි.

මාලික් ශාහ් රජතුමා ජීවත්ව සිටි තෙක් ඔමර්ට සාමයෙන් ස්වකීය පර්යේෂණ කරගෙන යන්නට ඉඩ ලැබිණි. වර්ෂ 1092 දී අධිරාජයා මළේය. ඉන් පසු මහවාසල ඇතිවුණු අවුල් වියවුල් නිසා ස්වකාර්යයට නැතක් බාධා ඇති වුවද, ඔමර් අප්‍රතිහත වීර්යයෙන් ස්වකීය ශාස්ත්‍රීය කාර්යයන් කරගෙන ගියේය. ඔහු කළ ශාස්ත්‍රීය කෘති අතුරෙන්-

මුසාධ්‍රත් කිතාබ් උක්ලිදස් (යූක්ලිඩ්ගේ අනුප්‍රමේයයෝ)

රිසාල අල් කව්න් වල් තක්ලීඒ (ඍෂ්ටිය හා විප්‍රලම්බය)

රිසාල ථි කුල්ලියාත්-එ-වයුද් (භවයේ සර්ව සාධාරණතා)

මශාන්-අල්-හිකම් (ඥාන තුලිතතාව)

ලවාකිම් අම්කින (කාලගුණ පූර්ව ප්‍රකාශනය)

යන ප්‍රකරණ වෙසෙසි තැනක් ගනී. ගණිතයෙහි, නක්ෂත්‍ර විද්‍යාවෙහි හා දර්ශනයෙහි විශිෂ්ට ඥානයක් තුබුණාක් මෙන් ම ඔමර්ට කුරානයෙහිත්, ඉස්ලාමික සම්ප්‍රදායෙහිත් මහත් දැනුමක් තිබිණි. ස්වභාවවිද්‍යාව, වෛද්‍යවිද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යය යනාදියෙහිත් ඔහුගේ දැනුම අනල්ප විය.

‘නිව්ටන්ගේ ද්විපද ප්‍රමේයය’ යන නමින් හැඳින්වෙන ප්‍රමේය සම්බන්ධ සූත්‍රය නිපදවනු ලැබුණේ පර්සියානු කවියකු ද දාර්ශනිකයකු ද ගණිතඥයකු ද වූ ඔමර් ඛය්යාම් විසිනැයි මොස්කව් නගරය අසල කොලොම්නා නම් ස්ථානයේ ආධ්‍යාපනික ආයතනයේ මහාචාර්ය බරීස් රොසෙන්ෆෙල්ට් මහතා ඉස්ලාමික දේශයන්හි ගණිත විද්‍යාවේ විකාසනය සම්බන්ධව පවත්වනු ලැබුණු සම්මන්ත්‍රණ සභාවක දී පැවසීය. මේ ප්‍රමේය දැක්වෙන ඔමර්ගේ ගණිත ප්‍රකරණය තවමත් ලැබී නැතත් මේ ගැන සඳහනක් ඔහුගේ අන්‍යතර කෘතියක ඇති වග ද හෙතෙම සඳහන් කළේය. එම සම්මන්ත්‍රණ සභාව අමතා කථා කළ ස්වේට්ලානා ක්‍රස්නෝවා නමැති තරුණ පර්යේෂිකාවක් මෙතෙක් කල් අඥාතව පැවති ඔමර්ගේ මූලික වීජ ගණිත ප්‍රකරණයක් මධ්‍යම ආසියාවේ පුස්තකාලයක ඇති වග ද හෙළි කළාය.

තෙළෙස් වැනි ශතකයේ වැජැඹි ශහ්රශූරි සුප්‍රකට ඉබන් සිනා (අවිසෙනා) නමැති වෛද්‍යවරයාගේ අනුගාමිකයකු වූ ඔමර් වහා කිපෙනසුලු, ආගන්තුක සත්කාරයෙහි මසුරු තැනැත්තකු වූහයි කියයි. එතෙක් අප්‍රකටව පැවති ඔමර්ගේ දාර්ශනික ග්‍රන්ථ දෙකක නම් ද හේ සඳහන් කරයි. සමකාලීන උගතකු වූ අල් ඝශාලි ඔමර් කෙරෙහි ප්‍රසාදයක් නොදැක්වූ බව පෙනේ. එයට හේතුව වූයේ ඔමර් ස්වාධීන දාර්ශනිකයකු වීමයි. 1223 දී ඔමර් ගැන ලියූ නජ්ම්-අල්-දින් රාශිඔහුඋත් කණ්ඨිත දාර්ශනිකයකු ලෙසටත් අදේවවාදියකු හා භෞතිකවාදියකු ලෙසටත් හඳුන්වයි. පශ්චාත්කාලීන සුඵිවරුන් ඔමර්ගේ ඇතැම් කියමන්වල බාහිර අර්ථය පමණක් සලකා, ඒ තමන්ගේ ධර්ම ග්‍රන්ථයන්හි ද ඇතුළත් කරගෙන ස්වකීය සම්මන්ත්‍රණ, සම්මේලන ආදියෙහි දී එම කියමන් ගැන සාකච්ඡා ද කරතත්, ඒ කියමන්වලින් ඉංගිත අර්ථය ඉස්ලාමික ධර්මයට ගොර සපුන්ගේ විස මෙන් හානිකර යයි ද ඒ දුෂ්ට චේතනාවෙන් ලියූ ඇනුම්පදයෙන් බර යයි ද 1248 දී පරලෝ ගිය අල් කිඵ්ති පවසන වග බ්‍රවුන් පඬිතුමා පවසයි.

ඔමර් ඛය්යාම්ගේ ඇතැම් රුබායියාත් පද්‍යයන්හි සැඟවුණු අරුත් ඇතත් ඔහුගේ නිබන්ධ කියවන සාමාන්‍ය පාඨකයා තුළ ඇති වන අදහස නම් ඔහු චාර්වාකිකයකු වූ වගත් පංචේන්ද්‍රියට හසු නොවන කිසිත් ඔහු නොඇදහූ වගත්ය. ඉපදීම හා මරණය ස්වභාව සිද්ධියක් ලෙස සැලකූ ඔහුට ආගම ධර්මයෙහි කියැවෙන මළවුන්ගෙන් නැඟිටීම අර්ථශූන්‍ය දෙයක් සේ පෙනිණි. ඔහු විසූයේ ආගමික නායකයන් තර්කානුකූලව ගැටලුවලට මුහුණ පා ඒ විසඳන්නට තැත් කළ සමයෙක නොවේ. ඒ නායකයන් එදා පැතූයේ මිථ්‍යා සංකල්පයන්ගේත් අවිද්‍යාවේත් පිහිටය. තත්කාල සමාජයේ පැවති එම කුහක වෘත්තිය කෙරෙහි ඔහු කොපමණ කළකිරුණා ද යත හොත් හෙතෙම එයට ස්වකීය ගද්‍ය පද්‍ය රචනා මාර්ගයෙන් නිර්දයව පහර දුන්නේය. ඔහුට වහා කිපෙනසුලු බවක් ද ස්නායු දුර්වලතාවක් ද තිබුණු වගත්, එ නිසා ඔහු බොහෝ විට නොඉවසිලිමත් බවක් හා නපුරු බවක් ද පෑ වගත් කියති. හුදෙක් තර්කය ම මත නඟාගත් ඔහුගේ දර්ශනයත් ඔහුට නිතර ගැටෙන්ට තුබුණු කුහක ලෝකයත් ගැන සිතන විට ඔහුගේ ඒ නොඉවසිල්ලත් නපුරු බවත් සහේතුක වූ බව පෙනේ.

ඛය්යාම්ගේ රුබායියාත් පද්‍යයන් අතුරෙන් ෆිට්ස්ජෙරල්ඩ්ගේ ඉංග්‍රීසි අනුවාදයට බොහෝ සෙයින් අනුකූලතාවක් දක්වන පද්‍ය දෙකක පරිවර්තනය මෙහි උදාහරණ වශයෙන් දක්වනු ලැබේ.


කිඩියර දෙත පහර දකුණට හෝ වමට

නිසියුර දිවෙයි පෙඳ හාහූවක් නොකොට

විසි කර දැමු හෙතෙම ඔබ මේ කෙළි බිමට

සැකහැර දනී! සුලමුල හෙ දනී යසට!


අසරන් සුනිල් නෙත් කැලුමැති සගෙහි වෙතී

මිදිපැන් සමඟ මී පැණි ගලතැයි ද යෙතී

අවුදින් එලොව එම රස විඳුම දොස නැතී

කිම දැන් මෙලොව එහි රස බැලුම ගැන තැතී?


රුබාඊ (බහු වචන රූපය-රුබාඉයාත්) යනු සිවුපද සතරෙකින් යුත් පද්‍ය විශේෂයකට පර්සියානු භාෂාවෙන් යෙදෙන නමකි. මෙහි පළමුවැනි, දෙවැනි හා සතරවැනි පාදයන්හි එළිසම වේ. මුල් පාද තුනකින් යම්කිසි අදහසක් විකාසනය කොට, එහි පිණ්ඩාර්ථය සතරවැනි පාදයෙන් පැවසේ. මේ සිව් වැනි පාදයේ වදන් වහර සරල වුවමනායැ; ඒ හැකි තාක් ලෙව් ලැකියට ළං වුවමනායැ. මේ රුබාඊ ඡන්දස හුදෙක් පර්සියානු ම වේ.

ඛය්යාම් අනුගමනය කළ පශ්චාත්කාලීන කවීහු ද ස්වකීය සිව්පද බන්ධනයන්හි ඔමර්ගේ අදහස්වලට සමාන අදහස් දැක්වූහ. එහෙත් මේ අනුගාමිකයන්ගෙන් ඇතැමෙක් ප්‍රතිභාහීන කුකවියෝ වූහ. ඔවුන්ගේ පද්‍ය රචනා රසයෙන් හා අර්ථයෙන් හීන වචන පඞ්ක්තියැ. මේ බුද්ධිහීනයනට ඒ මහා ගණිත ශාස්ත්‍රඥ දාර්ශනික කවියාගේ ප්‍රබන්ධයන්ගේ නියම අරුත් නොවැටහුණෙන් ඔවුන් ඔමර් සුරාවෙහිත් ස්ත්‍රී සමාගමෙහිත් ගිජු, ග්‍රාම්‍ය කාමභෝගියකු කොටගත් සේ පෙනේ. ඔව්හු බොහෝ විට තමන් අතට හසු වූ පිටපත් තමන්ට රිසි පරිදි වෙනස් කළා පමණක් නොවැ තමන්ගේ බන්ධනයනට ද එහි තැනක් දුන්හ. එහෙයින් මෙවන් කෘතියෙක පාඨාන්තර භේද පමණක් නොව ප්‍රක්ෂිප්ත ලෙස සැලකියැ යුතු පද්‍ය ද ඇතිවීම පුදුමයක් නොවේ. ෆිට්ස්ජෙරල්ඩ්ගේ ඉංග්‍රීසි අනුවාදයේ ඇත්තේ සිව්පද 110කි; එහෙත් නව ඉංග්‍රීසි පරිවර්තනයක් කළ රෝසන් නමැති ජර්මන් පඬිවරයාගේ අනුවාදයේ පද්‍ය සංඛ්‍යාව 382කි; තුන්වැනිව පරිවර්තනයක් කළ ජෝන් ජේන්ගේ අනුවාදයේ පද්‍ය 845කි. වර්ෂ 1530 දරන පැරිස් අත්පිටපතේ පද්‍ය 604කි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයායත්ත බොඩ්ලියන් පුස්තකාලයෙහි ඇති වර්ෂ 1460 දාතම දරන අත්පිටපතෙහි ඇත්තේ පද්‍ය 158ක් පමණකි. ඔමර් උපන් නගරය වූ නිශාපූර් නුවර මොහම්මත් අල්-කවාම් නමැති ලේඛකයකු විසින් 1259-60 දී තෝරා සංග්‍රහ කරන ලද ‘චෙස්ටර් බීටී’ (Chester Beatty) අත්පිටපතෙහි පද්‍ය 172ක් දක්නට ලැබේ. දැනට සොයාගෙන ඇති පැරණි ම අත්පිටපත වූ 1207 දී ඔමර්ගේ අභාවයෙන් අවුරුදු 84කට පසු ලියන ලද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අයත් අත්පිටපතෙහි ඇති පද්‍ය සංඛ්‍යාව 252කි. එය ද තෝරා සංග්‍රහ කරන ලද්දක් බව එහි ම සඳහන් වෙයි. ලෝකයේ ප්‍රාචීන ප්‍රතීචීන දෙකොටසෙහි ම පණ්ඩිතයන් ඔමර් ප්‍රබන්ධ කළ රුබායියාත් සංඛ්‍යාව නියම වශයෙන් තෝරාබේරාගන්නට තැත් කර ඇතත්, ඔවුන්ගේ ඒ ව්‍යායාමය මෙතෙක් සඵල වී නැත.

ඔමර් ඛය්යාම් මේ රුබායියාත් පද්‍ය සිය ජීවිත කාලය තුළ විවිධ අවස්ථාවල දී කළ ප්‍රබන්ධ බවට එම පද්‍ය ම සාක්ෂ්‍ය වේ. වර්තමාන පර්සියානු විචාරකයකු වන සදෙඝ හෙදයත් ඔමර් ඛය්යාම් ගැන මෙසේ පවසයි:

“සුවයෙහි මහත් විශ්වාසයක් ඔමර් තුළ තිබුණත් ඔහුගේ සුවය නාස්තික සංකල්පය හා මිශ්‍ර වූවකි. ඔහු විසින් වර්ණිත කුසුම්, රෑ කොවුලන්, මීවිත්, තණබිම්, කාමුක දර්ශන ආදි සියල්ල බාහිර අලංකාරයයැ; සිය දිවි නසා ගන්නට අදහස් කරන මිනිසා සිය සිරුරත්, වාස ගෘහයත් සැරසීමෙහි යෙදෙන්නාක් මෙනි. ඔහුගේ සතුට දුක් මුසුයි. සතුටු වමු! මේ ජීව රුධිරය බින්දුවෙන් බින්දුව ගලා කෙළවර වන්නට කලින් සතුටු වමු!... ඔහුගේ එ සතුට නිෂ්ඨාශූන්‍යතාවෙන් ද ප්‍රාර්ථනා භංගත්වයෙන් ද මිශ්‍ර වූවකි.”

තමාට පෙර සිටි කවියන් හැම දෙනා ම අබිබවා රුබාඊ ඡන්දසින් කළ මේ නිබන්ධයන් හැර ඔමර් ‘කිත’ නමැති රචනාවක්-එනම් කෙටි කවක්-ද කර ඇත. “නුවණත් මාත් ඊයේ රෑ කළ පිළිසඳරක්” යනුවෙන් පටන් ගන්නා මෙහි එවක සමාජයේ පැවති අයුතු අසාධාරණකම් ගැනත් වස්තු තණ්හාව ශාපයක් වන අයුරුත් සඳහන් වේ. නුවණ හා ඇතිවුණු එම පිළිසඳරෙහි දී අවිවාහකයකු වූ ඔමර් විවාහය පිළිබඳ නුවණගේ අදහස් නුවණගෙන් විමසයි. “සතියෙකි සතුට, වස් ගණනෙකි කරදරය” යනු යැ එම පැනයට නුවණ දෙන පිළිතුර. තමාගේ මරණය ගැන ඔමර් කල්තියා දැනගෙන සිටි වග චරිතකාරයෝ කියති. 1123 අවුරුද්දේ එක් දවසක් ඔමර් ඉබ්න් සිනාගේ ‘අල් ගඵා’ නමැති ප්‍රකරණය කියවනුයේ එහි ‘එක්කෙනා හා බොහෝ දෙනා’ යන පරිච්ඡේදයට පැමිණියේ පොත පසෙකින් තබා පූජකයන් ගෙන්වා සිය ධනය පවරා එදා දවස පෙහෙවසින් ගෙවා සන්ධ්‍යා වන්දනයෙහි දී හිස බිම ඔබා මෙසේ යැදීල: “දෙවියෙනි, ඔබ මට දුන් ශක්තිය මෙහෙයවා ඔබ හඳුනා ගන්නට තැත් කළෙමි. ඔබ වෙත පිවිසෙන්නට මට තිබුණු එක ම මග එය විණි. මගේ ප්‍රමාද කමන්න.” මේ වචන නිම වෙත් ම ඔහු මිය ගියේල.

(කර්තෘ: ඇස්.ඒ. ඉමාම්)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔමර්_ඛය්යාම්&oldid=11994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි