ඇල්ප්ස් කඳු

සිංහල විශ්වකෝෂය වෙතින්
16:02, 21 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('යුරෝපයේ ප්‍රධාන කඳු පඞ්ක්තියක් වූ මෙය පිහිටි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

යුරෝපයේ ප්‍රධාන කඳු පඞ්ක්තියක් වූ මෙය පිහිටියේ දකුණු යුරෝපයේය. එය ලිගූරියානු මුහුදු වෙරළෙහි පිහිටි ප්‍රංස රිවියේරා පළාතෙහි සිට ඕස්ට්‍රියාව තෙක් කවාකාරව විහිදී ගොස් දෙකට බෙදෙයි. එයින් උතුරු ශාඛාව නැගෙනහිර ඕස්ට්‍රියාවේ ඩැනියුබ් තැනි තලාව දක්වා ද දකුණු ශාඛාව වයඹ දිග යුගෝස්ලාවියාව දක්වා ද විහිදෙයි. සැ. 650ක් පමණ දික් වූ ද සැ. 75-160ක් පළල් වූ ද ව.සැ. 80,000ක් පමණ විශාල වූ ද මේ කඳු පඞ්ක්තිය විවිධ නම්වලින් හැඳින්වෙන කුඩා කඳු වැටි කීපයකින් සමන්විතය.

ඛාදනය හේතු කොට ඇති වී තිබෙන ලක්ෂණ අනුව ඇල්ප්ස් කඳු ප්‍රධාන කොටස් තුනකට බෙදේ.

1. බටහිර ඇල්ප්ස්

ප්‍රංසයේ රිවියේරා වෙරළේ සිට සිම්ප්ලන් දුර්ගය දක්වා විහිදෙන කොටසයි. මැරිටයිම්-, ලිගුරියන්-, කොටියන්-, ග්‍රෙයන්-, ඩෝෆීනේ-, සැවෝයි-, සහ පෙනයින්-ඇල්ප්ස් මෙහි ප්‍රධාන කඳුවැටි වේ. යුරෝපයේ උස ම ශිඛරය වන මොන්ට් බ්ලාංක් (15,781’) මෙහි පිහිටියේය. මොන්ටෙ රෝසා (15,217’) මැටර්හෝන් (14,780’) බාර් ඩේසේක්රෑං (Barre des Ecrins 13,462’) ග්‍රාන් පාරාදීසෝ (Gran Paradiso 13,324’) වීසෝ (12,605’) සහ පූන්ටා ආර්ජෙන්ටේරා (10,814') වෙනත් උස් ශිඛරය. මොංස්නි (Mont Cenis), මහා සහ කුඩා සාන්ත බ'නාඩ් සහ සිම්ප්ලන් මෙහි තිබෙන දුර්ගය. ඩ්‍යුරාන්ස්, ඊසෙයාර් සහ රෝන් යන ගංගා ද පෝ ගඟෙහි ඉහළ අතු වන ඩෝරා බාල්ටේයා සහ ඩෝරා රිපාර්යා ද මේ කඳුකර කොටසට අයිතිය.

2. මධ්‍යම ඇල්ප්ස්

මෙම කොටස සිම්ප්ලන් සහ ආල්බ'ග් යන දුර්ග අතර විහිදේ. බර්නීස් -, ලිපොන්ටයින්- සහ රීෂන්-ඇල්ප්ස් මෙහි ප්‍රධාන කඳුවැටි වේ. ෆින්ස්ටරාර්හෝන් (14,026’), පිස්බ'නිනා (13,295’) සහ මොන්ටෙ ලෙයෝනෙ (11,684’) මෙහි ප්‍රධාන කඳු කුළුය. මෙහි සාන්ත ගොතාඩ්, ලෂ්බ'ග් ෆුර්කා, ෂ්ප්ලූගන්, ස්ටෙල්වියෝ, ආල්බ'ග් ආදි දුර්ග රාශියෙකි. ආර් සහ රයින් ද ලෙක් සහ ඉන් යන ඩැනියුබ් ගංගා අතු ද ආඩිඩා සහ ටිචීනෝ යන පෝ ගංගා අතු ද මෙම ප්‍රදේශයෙන් පටන් ගන්නා ප්‍රධාන ගංගා වේ.

3. නැගෙනහිර ඇල්ප්ස්

මෙම කොටස ආල්බ'ග් දුර්ගයෙන් නැගෙනහිර පිහිටි ෆොරාල්බ'ග්-, ටිරෝල්-, බැවේරියන්-, කාර්නික්-, ජුලියන්-, කාරාවාංකන්- සහ ඩිනැරික්-ඇල්ප්ස් යන වැටිවලින් සමන්විතයි. ග්‍රෝස් ග්ලොක්නර් (12,461’) සහ මාර්මෝලාඩා (10,965’) මෙහි ප්‍රධාන ශිඛර වන අතර එන්ස්, ඩ්‍රාවා සහ සාවා යන ඩැනියුබ් ගංගා අතු ද ආඩිජෙ සහ පියාවෙ යන පෝ ගංගා අතු ද මෙයින් පැන නඟී. බ්‍රෙනර් සහ සෙමරිං මෙහි ඇති ප්‍රධාන දුර්ගයි.

ඇල්ප්ස් කඳු පඞ්ක්තියෙහි නිර්මාණය ඉතා සංකීර්ණය. පුරාණයේ දී මොරොක්කෝවේ සිට හිමාලය දක්වා විහිදුණාවූ ‘ටෙතිස්’ නම් මුහුද දෙසට ‘පාවුණු’ මහාද්වීප දෙකකින් එහි පත්ලේ තැන්පත්ව තිබුණු (අංගාරධර-තෘතීයික) අවසාදිත පාෂාණ තට්ටු ඉලිප්පී, රැලි ගැසී ඉස්සීයෑමෙන් ඇල්ප්ස් කඳු ඇති වී යයි කල්පනා කරනු ලැබේ. හිරිගල්, වැලිගල් සහ ශල්ක ආදියෙන් සෑදුණු මේ තට්ටු අතර නයිස්, ග්රැනිට් සහ ශිස්ට් වැනි ආග්නේය සහ විපරීත පාෂාණ ද බොහෝ තැන්වල දක්නට ලැබේ. අධික පීඩනය නිසා හටගැනී තිබෙන නැපි, උලැඟි විභේද, උලැඟි තල ආදි භූ ලක්ෂණ බොහෝ තැන්වල වෙයි. භූ චලන සහ මතුපිට ඛාදනය නිසා ඇල්ප්ස් කඳුවල ස්වරූපය සම්පූර්ණයෙන් ම වාගේ වෙනස් වී ඇත. අයිස් යුගයේ දී මුළු ඇල්ප්ස් ප්‍රදේශය ම හිමෙන් වැසුණෙන්, එයින් නික්මුණු ග්ලැසියරවලින් සිදු වූ ඛාදනය හේතුකොටගෙන කඳු බෑවුම්වල ලොකු කුඩා විල් සිය ගණනින් හෑරී ගියේය. වයඹ බෑවුමෙහි පිහිටි ජිනීවා විල (ව.සැ. 225) මේ අතුරෙන් විශාලතමය. කොන්ස්ටන්ස්, නියුෂාටල්, සුරික්, මාද්ජෝරේ (Maggiore), ලුගානො, කෝමො සහ ගාර්දා අනෙක් වැදගත් ඇල්පයින් විල්ය. තවම පවතින ග්ලැසියර අතුරින් බර්නීස් ඇල්ප්ස් වැටියෙහි ඇති සැ. 16ක් දිගැති ඇලෙච් විශාලතම ග්ලැසියරයය.

ඇල්ප්ස් කඳු පඞ්ක්තියෙහි නොයෙක් වර්ගවල ඛනිජ බහුලව ඇතත් මේ ප්‍රදේශයේ ආකර කර්මාන්තය එතරම් දියුණු නැත. සාන්ත ගොතාඩ් කපොල්ලට නුදුරු ප්‍රදේශවලින් මැණික් ද ටිරෝල් ප්‍රදේශයෙන් රන් රිදී සහ තඹ ද සැවොයි සහ සාල්ස්බ'ග් යන ප්‍රදේශවලින් යකඩ ද දැනට ලබා ගනිත්. ලුණු සහ ගල්අඟුරු ද ඇල්පයින් ඛනිජ නිධි අතර තිබේ. මුහුදු මට්ටමේ සිට උස ප්‍රමාණය අනුව උෂ්ණත්වය වෙනස් වන නිසා කඳු බෑවුම්වල නොයෙක් වර්ගයේ වෘක්ෂලතාදිය තිරස් ව විහිදෙන කලාප වශයෙන් දක්නට ලැබේ. අඩි 4,000න් පහළ බෑවුම්වල පතනශීල වෘක්ෂ ලතාදිය ද එතැන් සිට අඩි 7,000 දක්වා කේතුධර වෘක්ෂලතාදිය ද ඉන් ඉහළ හිම සීමාව දක්වා ඇල්පයින් තෘණතලා ද වෙයි.

ඇල්පයින් ප්‍රදේශවල පිහිටීම අනුව ඒවායේ වර්ෂාපතනය අඩුවැඩි වේ. මධ්‍යධරණී මුහුදට මුහුණ ලා ඇති සමහර බෑවුම් ග්‍රීෂ්ම ඍතුවේ දී වියළි වුව ද සෙසු පෙදෙස්වල අවුරුද්ද පුරා ම වර්ෂාව ලැබේ. තුෂාරය සහ හිමපතනය ඉහළ බෑවුම්වල නිතර ඇති වේ.

ලෝකයේ අනෙක් නැමි කඳු පඞ්ක්ති මෙන් නොව භූගෝලීය පිහිටීම නිසා ඇල්ප්ස් කඳුවල බොහෝ පෙදෙස් මානව ඉතිහාසය හා සම්බන්ධ වී තිබේ. ඛනිජ සහ දැව ලබාගැනීමේ පහසුව නිසා ප්‍රාග්-ඓතිහාසික මිනිසුන් මෙහි විසූ බවට ද සාක්ෂි ඇත. පසු කාලයේ දී විල්වාසීහු ද නියුෂාටල් ආදි විල් ආශ්‍රිතව විසූහ. ඉතාලියට ට්‍යුටොනික්වරුන් පැමිණියේ (වර්තමාන) බ්‍රෙනර් කපොල්ල තුළිනි. රෝම යුගයේ දී ඇල්පයින් කපොලු හරහා මාර්ග ඉදිකරන ලදි. ජුලියස් සීසර් උතුර බලා ගියේ ද හැනිබල් දකුණ බලා ගියේ ද මේ තුළිනි. 1800 දී 40,000ක සෙනඟක් රැගෙන නැපෝලියන් ඉතාලියට බටුයේ මහා සාන්ත බ'නාඩ් දුර්ගයෙනි. මධ්‍යධරණී සහ මධ්‍යම යුරෝපීය ප්‍රදේශ අතර පිහිටි හෙයින් ඇල්ප්ස් ප්‍රදේශය වඩාත් වැදගත් ඓතිහාසික ප්‍රදේශයක් විය. මධ්‍යතන යුගයේ දී ප්‍රංස, ඕස්ට්‍රියානු සහ ස්විස් දේශපාලනයට ඇල්ප්ස් කඳු සම්බන්ධ විය. වර්තමානයේ දී ප්‍රංස සහ ඉතාලි දේශසීමාව ද බටහිර ඇල්ප්ස් කඳුවල ප්‍රධාන දිය බෙත්ම අනුව වැටී ඇත. ස්විට්සර්ලන්තය මුළුමනින් ම ඇල්ප්ස් කඳු සහ ඒ අතර පිහිටි සානු මත පිහිටා තිබේ. යුගෝස්ලාවියාව සහ ඕස්ට්‍රියාව නැගෙනහිර ඇල්ප්ස් කඳු ආශ්‍රිත රටවල්ය. ඇල්ප්ස් කඳු ප්‍රදේශයට ම විශේෂ වූ ආර්ථික ක්‍රමයක් එහි ජනයා අතර පවතී. කඳු අතර නිම්නවල වාසය කරන ඇල්පයින් ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය ගව, එළු, බැටළු ආදි සතුන් ඇතිකිරීමය. ඍතු අනුව උන්ගේ ගොදුරු බිම් මාරුකිරීම ඇල්පයින් එ‍ඬේරුන්ට විශේෂ වූ සිරිතකි. පහත් බිම්වල පිහිටි කුඩා ජනාවාසවල වැසියෝ ධාන්‍ය වර්ග, අර්තාපල් සහ එළවළු වැවීමෙහි ද යෙදෙති. දකුණට මුහුණ ලා විහිදෙන හෙයින් වැඩි සූර්යතාපයක් ලබන බෑවුම්වල මිදි ආදි පලතුරු වවනු ලැබේ.

ජලවිදුලි බලය දියුණු ඇල්පයින් ප්‍රදේශවල පිහිටි කුඩා ජනාවාසවල පවා එයින් මහත් ප්‍රයෝජන ගනු ලැබේ. අග්නිදිග ප්‍රංසයේ ද ස්විට්සර්ලන්තයේ ද පෝ නිම්නයේ ද කාර්මික දියුණුවට ජලවිදුලි බලය බෙහෙවින් උපකාරීව පවතී. දුම්රිය ගමනාගමනය කෙරෙන්නේ ද එමඟිනි.

මේ කඳුකරයෙහි ජනගහනය හැත්තෑ ලක්ෂයක් පමණ බව ගණන් බලා තිබේ. එයින් අඩක් පමණ ට්‍යුටොනික් වර්ගයට අයත් වෙති. වැඩි වශයෙන් භාවිත වන්නේ ජර්මන් සහ ඉතාලි භාෂාය.

ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන මේ කඳුකරයෙහි සංචාරක ව්‍යාපාරය ඉතා දියුණුය. සංචාරකයන්ගේ සුඛවිහරණය සහ විනෝදය සඳහා අවශ්‍ය සියලු අංගෝපාංග මේ රටවල ඇත. ඔවුන් සන්තර්පනය කිරීම ඒ වැසියන් දියුණු කරගෙන තිබෙන කලාවකි. විශේෂයෙන් ස්විට්සර්ලන්තය ‘යුරෝපයේ විනෝද භූමිය’ යනුවෙන් හැඳින්වේ. ප්‍රංසයේ ග්‍රෙනෝබල් සහ ෂමෝනී (Chamonix) ද ස්විට්සර්ලන්තයේ ලුස'න් සහ සාන්ත මෝරිට්ස් ද ඉතාලියේ කෝර්තේන්වෝවා ද වැදගත් දේශාටන මධ්‍යස්ථානය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්ප්ස්_කඳු&oldid=12017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි